හිරුණිකාගේ අභියාචනය විභාගයට සභාපති විනිසුරු ඇතුළු විනිසුරුවන් තිදෙනෙක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නියම කර ඇති වසර තුනක සිරදඬුවමට අදාළ අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (නොවැම්බර් 11) නව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු හමුවේ අද මෙම පෙත්සම කැඳවනු ලැබ ඇත.

එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය දැනුම් දී ඇත්තේ, අදාළ අභියාචනා පෙත්සම තමන් ඇතුළු පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට තීරණය කර ඇති බවයි.

මෙම අභියාචනා පෙත්සමේ තීන්දුව ඊයේ (නොවැම්බර් 10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේයි.

කෙසේ වෙතත්, එදින නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු පී. කුමාරන් රත්නම් දැනුම් දී ඇත්තේ විනිසුරු මඩුල්ල අතර බෙදුණු තීන්දුවක් පවතින බවයි.

ඒ අනුව, සුදුසු විනිසුරු මඩුල්ලක් නම් කර අභියාචනය යළි සලකා බැලීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත පෙත්සම යොමු කරන බව ද එහිදී ප්‍රකාශ කර ඇත.

අද නව විනිසුරු මඩුල්ල නම් කිරීමෙන් අනතුරුව, අදාළ අභියාචනා පෙත්සම ජනවාරි 21 වැනිදා පස්වරු 1.30ට විභාගයට ගැනීමට දින නියම කර තිබේ.

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දින දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වැරදිකාරිය කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා දඩ නියම කර තිබුණු අතර, එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.

Author

Leave a Reply

Related Posts