යෝෂිතට කොන්දේ අමාරුවක්, අධිකරණයට නොඑයි, නඩුව කල් යයි

අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 26 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (නොවැම්බර් 12) නියෝග කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද පස්වරු 1.30ට පැවැත්වීමට නියමිතව තිබුණද, උදෑසන නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට දන්වා ඇත්තේ සිය සේවාදායකයා කොන්ද ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පසුවන බැවින් අද දිනයේ අධිකරණයට පැමිණීමට නොහැකි බවයි.

මේ අතර, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දී ඇත්තේ අද දිනයේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කිරීමට අපේක්ෂා කළ බවයි.

පැමිණිල්ල වෙනුවෙන් තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු පමණක් කැඳවීමට ඉතිරිව ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

ඒ අනුව, ඉදිරි නඩු දිනයේදී එම සාක්ෂිකරුවන් තිදෙනා අධිකරණයට කැඳවීමට අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග නඩුවේ වැඩිදුර විභාගය ලබන 26 වැනිදා පැවැත්වීමට දින නියම කර ඇති අතර, එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට ද අවවාද කර ඇත.

රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කොටස් පහක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

Author

Leave a Reply

Related Posts