ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති සංශෝධන සිදුකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව කථානායකවරයා අද (නොවැම්බර් 12) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කළ සංශෝධන අතරින් සංශෝධන තුනක් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සිදු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් දැනුම් දී තිබෙන බවද කථානායකවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර ඇති අනෙකුත් සංශෝධන මෙසේය.
26 (2) වගන්තිය
මෙම වගන්තියට “අදාළ පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත” යන වචන ඇතුළත් කළ යුතු බව නිර්දේශ කර තිබේ.
ඒ අනුව, විමර්ශන කටයුතු සඳහා සැකකරුවෙකු තවදුරටත් පොලිස් භාරයේ රඳවා තැබීම අවශ්‍ය බවට සාධාරණ හේතු පවතින්නේ නම්, අදාළ පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත සහ ලිඛිතව හේතු සටහන් කිරීමෙන් අනතුරුව පැය 24 නොඉක්මවන කාලයක් සඳහා සැකකරු පොලිස් භාරයේ රඳවා තැබීමට මහේස්ත්රාත්වරයාට අවසර ලබාදිය හැකිය.
59 (5) වගන්තිය
ඵලදායී අධිකරණ අධීක්ෂණයක් සහතික කිරීම සඳහා මෙම වගන්තියේ සඳහන් “අභියාචනාධිකරණය” යන වචනය වෙනුවට “ශ්‍රේෂ්ඨාධිකරණය” යන වචනය ආදේශ කළ යුතු බව නිර්දේශ කර තිබේ.
60 (7) වගන්තිය
අනවශ්‍ය ප්රතිපාදනයක් ලෙස සැලකීම හේතුවෙන් මෙම වගන්තිය පනත් කෙටුම්පතෙන් ඉවත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇත.
66 (1) වගන්තිය
මෙම පනත යටතේ නිකුත් කරනු ලබන හෝ පනවනු ලබන විධායක නියෝග සහ විධාන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126, 140 හෝ 141 ව්‍යවස්ථා යටතේ ගොනුකරනු ලබන නඩු කටයුතුවලදී අභියෝගයට ලක්කළ හැකි බව පැහැදිලි වන පරිදි මෙම වගන්තිය නැවත සකස් කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර තිබේ.
