කස්සප අත්අඩංගුවට

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස මාරාන්තික උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප ඇතුළු ස්වාමීන් වහන්සේලා තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජාංගනයේ සද්ධාරතන නමින් හඳුන්වාගන්නා පුද්ගලයාගේ නායකත්වයෙන් පැමිණි පිරිසක් සහ උපවාසයේ නිරතව සිටි භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයකින් අනතුරුව පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

බලංගොඩ කස්සප ඇතුළු භික්ෂූන් වහන්සේලා තෙනමක් විසින් රුවන්වැලි මහා සෑය අභියස ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (12) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වුණා.

එම අවස්ථාවේදී රාජාංගනයේ සද්ධාරතන නමින් හඳුන්වාගන්නා පුද්ගලයා ඇතුළු පිරිසක් උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණීමත් සමඟ දෙපාර්ශ්වය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා.

එම ගැටුම අතරතුර ඔහුගේ හිසට පොලු ප්‍රහාරයක් එල්ල වී තුවාල ලබා තිබෙනවා.

ගැටුමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් උපවාසය පැවැත්වූ අට්ටාලය ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමඟ නැවතත් එහි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබුණා.

අනතුරුව පූජ්‍ය බලංගොඩ කස්සප ඇතුළු තිදෙනා පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මට විරෝධය පළ කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබුණා.

අදාළ සංවර්ධන සැලැස්ම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ඉවත් කරගන්නා ලෙස බලකරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණා.

පසුව සිය ඉල්ලීම්වලට විසඳුමක් නොලැබීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තෙනමක් විරෝධතාව මාරාන්තික උපවාසයක් දක්වා දැඩි කිරීමට පියවර ගෙන තිබුණා.

මෙම විරෝධතාව සම්බන්ධයෙන් මීට පෙරද අධිකරණ නියෝග නිකුත් වී තිබූ අතර විරෝධතාව පැවැත්වෙන ස්ථානයෙන් ඉවත්වන ලෙස අධිකරණය නියෝග කළා.

එමෙන්ම ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සම්බන්ධ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා.

Author

Leave a Reply

Related Posts