මූල්‍ය තීරණ ගැනීමේදී ප්‍රතිලාභ පමණක් නොව අවදානම් සහ ආර්ථික තත්ත්වයන් ගැනත් සැලකිලිමත් විය යුතුයි – මහ බැංකු අධිපති

මූල්‍ය තීරණ ගැනීමේදී අපේක්ෂිත ප්‍රතිලාභ පිළිබඳව පමණක් නොව ඒ හා බැඳුණු අවදානම්, අනාගත මූල්‍ය වගකීම් සහ වෙනස් වන ආර්ථික තත්ත්වයන් පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මූල්‍ය සාක්ෂරතාව පුද්ගල ආර්ථික සුරක්ෂිතතාවයට පමණක් නොව සමස්ත ආර්ථික ස්ථාවරත්වයට ද වැදගත් වන්නේ යැයිද ඒ මහතා කීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය ශාඛාව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිර පරිශ්‍රයේදී සංවිධානය කළ ‘FinLit Expo 2026’ මූල්‍ය සාක්ෂරතා ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් මහබංකු අධිපතිවරයා පසුගිය 11 දා මේ බව ප්‍රකාශ කළේය.

මූල්‍ය දැනුමෙන් සන්නද්ධ, ආර්ථික වශයෙන් වගකීම්සහගත පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් පැවැති මෙම ප්‍රදර්ශනය සඳහා විවිධ මූල්‍ය ආයතන හා සංවිධාන රැසක් එක්ව සිටියහ. විශ්වවිද්‍යාල ප්‍රජාවට මෙන්ම පාසල් සිසුන් ඇතුළු මහජනතාවට ද ඉතුරුම්, ආයෝජන, මූල්‍ය සේවා සහ මුදල් කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අවබෝධය ලබා ගැනීමට මෙහිදී අවස්ථාව සැලසිණි.

මුදල් කළමනාකරණය පිළිබඳ දැනුමට පමණක් සීමා නොවී අවිනිශ්චිත ආර්ථික තත්ත්වයන් හමුවේ නිවැරදි තීරණ ගැනීමටත් මූල්‍ය අවදානම් හඳුනාගෙන ඒවා සාර්ථකව කළමනාකරණය කිරීමටත් මූල්‍ය සාක්ෂරතා දැනුම අත්‍යවශ්‍යය බවද ඒ මහතා කීය.

මූල්‍ය තොරතුරුවල විශ්වසනීයත්වය තහවුරු කර ගැනීම, විවිධ මූල්‍ය සේවා සංසන්දනය කිරීම සහ අසාමාන්‍ය ප්‍රතිලාභ ලබාදෙන බවට කෙරෙන පොරොන්දු සම්බන්ධයෙන් විමසිලිමත් වීම ඉතාම වැදගත් යැයිද ඒ මහතා කීවේය.

මූල්‍ය ආයතන විසින් පාරිභෝගිකයන් වෙත පැහැදිලි, නිවැරදි සහ සංසන්දනය කළ හැකි තොරතුරු ලබාදිය යුතුයි. දැනුවත් මූල්‍ය තීරණ ගත හැකි පුරවැසියන් බිහිවීම තුළින් මූල්‍ය වෙළෙඳපොළේ වගවීම ඉහළ නැංවීමටත්, සමස්ත ආර්ථිකයේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමටත් හැකියාව ලැබෙන්නේ යැයිද හෙතෙම අවධාරණය කළේය.

ප්‍රදර්ශනයට සමගාමීව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර එමගින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මූල්‍ය සාක්ෂරතා කේන්ද්‍රයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරෙයි.

මෙම කේන්ද්‍රය හරහා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මෙන්ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද මූල්‍ය සාක්ෂරතා දැනුම ඉහළ නැංවීම, මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සිදුකිරීම සහ එමගින් ජනනය වන දැනුම හා පර්යේෂණ ප්‍රතිඵල රටේ ප්‍රගමනය උදෙසා දායක කර ගැනීම අපේක්ෂා කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Author

Leave a Reply

Related Posts