රට තුළ ඵලදායී නොවන ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදාගනිමින් ග්‍රාමීය මට්ටමේ නව ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම සඳහා 2027 අයවැය මඟින් යෝජනා ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, රටේ පවතින ඵලදායී නොවන ඉඩම් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරමින් ඒවා ඵලදායී වගාවන් සඳහා යොදාගැනීමට මෙම යෝජනා හරහා අවධානය යොමු කර ඇති බවයි.
මෙම වැඩපිළිවෙළ තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රටේ නිෂ්පාදන ආර්ථිකය පුළුල් කිරීම අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.
එමෙන්ම රටේ ආර්ථිකය නිෂ්පාදන මත පදනම් වූ ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සඳහා මෙම අයවැය මඟින් අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
කෙසේවෙතත් ඵලදායී නොවන ඉඩම් වගා කටයුතු සඳහා යොදාගැනීම සහ කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙරද අදහස් දක්වා තිබුණා.
2026 නොවැම්බර් 2 වැනිදා පැවැති ජාතික බුද්ධිමතුන්ගේ සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපතිවරයා පෙන්වාදී තිබුණේ, රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 28%ක් පමණ කෘෂිකර්මාන්තයේ නිරත වුවද දළ දේශීය නිෂ්පාදිතයට එම ක්ෂේත්රයේ දායකත්වය 7%ක් පමණක් වන බවයි.
පවතින විවිධ නීතිමය සීමාවන් ඉඩම් නීති සහ කුඹුරු ඉඩම් සම්බන්ධ නීති හේතුවෙන් ගොවීන්ගේ නිෂ්පාදන හැකියාව සීමා වී ඇති බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.
කෘෂිකර්මාන්තයේ නිරත ශ්‍රමය වඩාත් ඵලදායී ශ්‍රමයක් බවට පරිවර්තනය කිරීමකින් තොරව එම ක්ෂේත්රයේ විශාල ඉදිරි පිම්මක් ලබාගත නොහැකි බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
