ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම සඳහා දැනට පවතින නීති සහ ආයතනික ව්‍යුහයන් වෙනස් කරමින්, නව පනත් හඳුන්වා දීමටත්, පවතින පනත් රැසක් සංශෝධනය කිරීමටත් රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 වර්ෂය සඳහා වන අයවැය කතාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ඇතැම් නීති වසර සියයකටත් වඩා පැරණි බවත්, එම නීති සහ යල්පැනගිය ආයතනික ව්‍යුහයන් ආර්ථික පරිවර්තනයකට බාධාවක් වී ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
“කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නව ශක්තිමත් නීති රාමුවක් සහ ආයෝජන ව්‍යුහයක් අවශ්‍ය වෙනවා. සමහර නීති අවුරුදු සියයකට වඩා පරණයි. ඒ නිසා ආර්ථික පරිවර්තනයක් කරා ළඟා වීමට දෙපාවලට විලංගු දමා තිබෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
යල්පැනගිය නීති සහ ආයතන වර්තමාන අභියෝගවලට මුහුණ දිය හැකි පරිදි යළි සකස් කළ යුතු බවත්, පවතින තත්ත්වයට අනුරූප වන පරිදි ආයතන ප්‍රතිසංවිධානය කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඒ අනුව දැනටමත් සම්මත කර ඇති පනත් කිහිපයක්, නීතිපතිවරයාගේ නිෂ්කාශනය සඳහා යොමු කර ඇති පනත් කෙටුම්පත් සහ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව නීති පිළිබඳව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී විස්තර කළේය.
කඩා වැටුණු ව්‍යාපාර යළි ගොඩනැගීමට නව පනතක්
වසංගත, ස්වාභාවික ආපදා සහ ත්‍රස්තවාදය වැනි හේතු නිසා කඩා වැටුණු ව්‍යාපාර යළි ගොඩනැගීම සඳහා නීතිමය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
ඒ සඳහා 2026 අංක 12 දරන බේරාගැනීම, පුනරුත්ථාපනය සහ වස්තුභංගත්වය (සමාගම් සහ පුද්ගලයන්) පනත (Rescue, Rehabilitation and Insolvency (Corporate and Personal) Act, No. 12 of 2026) සම්මත කර ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම පනත මඟින් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන ව්‍යාපාර සහ පුද්ගලයන්ගේ ණය හා වස්තුභංගත්ව ගැටලු නිරාකරණය කිරීමටත්, නැවත පවත්වාගෙන යා හැකි ව්‍යාපාර ප්‍රතිසංවිධානය කිරීමටත් නීතිමය රාමුවක් සකසා තිබේ.
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමට නීති තුනක්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව සම්මත කර ඇති පනත් වන්නේ,
- 2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත (Prevention of Money Laundering (Amendment) Act).
- 2026 අංක 17 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත (Financial Transactions Reporting (Amendment) Act).
- 2026 අංක 18 දරන ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත (Convention on the Suppression of Terrorist Financing (Amendment) Act) යන පනත් තුනයි.
මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් පවතින නියාමන සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා මෙම සංශෝධන සිදුකර තිබේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වූ ජනතාව ආරක්ෂා කිරීමට නව අධිකාරියක්
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් විශාල පිරිසක් ණය උගුලක සිරවී සිටින බව ජනාධිපතිවරයා සිය කතාවේදී පෙන්වා දුන්නේය.
එම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් 2026 අංක 9 දරන ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරි පනත (Microfinance and Credit Regulatory Authority Act, No. 9 of 2026) සම්මත කර ඇති බව ඔහු සඳහන් කළේය.
එම පනත යටතේ ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පිහිටුවීමෙන් ණය ලබාදීමේ ව්‍යාපාරවල නිරතවන්නන්ට සහ ණය ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැලසීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරිත්වයට 2027 මුලදී නව පනතක්
රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා නීතිමය රාමුවක් සැකසීමට රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරිත්ව පනත් කෙටුම්පත (Public Private Partnership Bill) 2027 වසරේ මුල් භාගයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම පනත් කෙටුම්පත මඟින් රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති සඳහා නීතිමය හා ආයතනික පදනමක් සකස් කිරීමට අපේක්ෂිතය.
රජයට කොටස් හිමි සමාගම්වල පාලනයට නව සමාගමක්
රජයට කොටස් හිමි ව්‍යාපාර සහ සමාගම්වල පරිපාලනය සඳහා නව කළමනාකරණ සමාගමක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ නිෂ්කාශනය සඳහා යොමු කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත (Public Commercial Business Management Bill) යටතේ රාජ්‍ය ව්‍යවසාය පරිපාලනය සඳහා නව නීතිමය ව්‍යුහයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.
රජයට අයත් හෝ රජය කොටස් හිමිකාරිත්වය දරන සමාගම්වල පරිපාලනය එම නව ව්‍යුහයට යටත් කිරීම මෙහි අරමුණ බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි විය.
ආයෝජකයන්ගේ වත්කම් ආරක්ෂා කිරීමට නව පනතක්
ආයෝජකයන්ට අයත් ආයෝජන සහ වත්කම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත (Investment Protection Bill) නීතිපතිවරයාගේ නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙමඟින් ආයෝජන සුරක්ෂිතභාවය සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරයි.
කොළඹ වරාය නගර පනත සංශෝධනය කරයි
කොළඹ වරාය නගරයට ආයෝජන ආකර්ෂණය කිරීම සඳහා එම නගරයට අදාළ නීතිය සංශෝධනය කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව 2026 අංක 1 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා (සංශෝධන) පනත (Colombo Port City Economic Commission (Amendment) Act, No. 1 of 2026) සම්මත කර තිබේ.
වරාය නගරයේ ආයෝජන කටයුතු සඳහා පවතින නීතිමය රාමුව සංශෝධනය කිරීම මෙමඟින් සිදුකර ඇත.
රක්ෂණ වෘත්තීය ප්රමිතීන් සහ ජාතික සංඛ්‍යාලේඛන සඳහා නව නීති
වෘත්තීය රක්ෂණවේදීන්ගේ කාර්යයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වෘත්තීය රක්ෂණවේදීන්ගේ ආයතන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම, නිල සංඛ්‍යාලේඛන සකස් කිරීම සඳහා ජාතික සංඛ්‍යාලේඛන පනත් කෙටුම්පත (National Statistics Bill) සකස් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
රේගු ආඥාපනත 2027 මුල් භාගයේදී සංශෝධනයට
ව්‍යාපාරික කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම ආයතනයක් බවට පත්කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.
ඒ සඳහා රේගු ආඥාපනත (Customs Ordinance) සංශෝධනය කිරීමට නව නීති කෙටුම්පතක් සකස් කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.
එම සංශෝධිත පනත් කෙටුම්පත 2027 වසරේ මුල් භාගයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර රේගු දෙපාර්තමේන්තුවේ භාණ්ඩ නිෂ්කාශන කටයුතු සඳහා භාවිත කරන ‘කස්ටම්ස් ලෝන්ග් රූම්’ (Customs Long Room) ක්‍රියාවලිය 2026 ඔක්තෝබර් මාසයේ සිට ඩිජිටල්කරණය කර ඇති බවද ඔහු පැවසීය.
නිෂ්පාදන බදු සහන සම්බන්ධ නව පනතක්
නිෂ්පාදන බදු සහන සම්බන්ධයෙන් නව නීතිමය විධිවිධාන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අනවසර මූල්‍ය සමාගම්වලට එරෙහිව නීතිය ශක්තිමත් කරයි
ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත (Finance Business Act, No. 42 of 2011) සංශෝධනය කිරීමට නියමිත බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
අනවසර මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සහ එවැනි ආයතනවලට එරෙහිව නඩු පැවරීම සඳහා පවතින නීතිමය විධිවිධාන ශක්තිමත් කිරීම මෙම සංශෝධනයේ අරමුණ බව ඔහු පැවසීය.
ගිණුම්කරණ සහ විගණන ප්රමිතීන් වෙනුවෙන් නව පනතක්
ශ්‍රී ලංකාවේ ගිණුම්කරණය සම්බන්ධයෙන් විශාල ගැටලු පවතින බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී සඳහන් කළේය.
එම ගැටලු විසඳීම සහ ගිණුම්කරණ හා විගණන ප්රමිතීන් ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය වාර්තාකරණ නියාමන පනත් කෙටුම්පත (Financial Reporting Regulatory Bill) නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේය.
රාජ්‍ය දේපළ කළමනාකරණයට නව පනතක්
රාජ්‍ය දේපළ සහ වත්කම් නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය වත්කම් කළමනාකරණ පනතක් (Public Asset Management Act) හඳුන්වා දීමට නියමිත බවද ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය දේපළ කළමනාකරණයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඇතැම් රාජ්‍ය ගොඩනැගිලි පිහිටා ඇති ඉඩම්වල අයිතිය පවා අදාළ ආයතන සතුව නොමැති බවයි.
“සමහර ගොඩනැගිලි තියෙනවා, ඉඩම අයිති නැහැ. ඉඩම අයිති වෙන අයට.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මෙවැනි ගැටලු නිරාකරණය කරමින් රාජ්‍ය වත්කම් කළමනාකරණය සඳහා නව නීතිමය රාමුවක් සකස් කිරීමේ අරමුණින් අදාළ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කළේය.
කම්කරු නීතිත් වෙනස් කිරීමට විද්වත් කමිටුවක්
දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ කම්කරු නීති වර්තමාන සමාජ හා ආර්ථික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ සඳහා විද්වත් කමිටුවක් පත් කර ඇති බව ඔහු සඳහන් කළේය.
කම්කරුවන් සහ සේවායෝජකයන් අතර පවතින සම්බන්ධතාව නව ආර්ථික හා සමාජීය තත්ත්වයන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංවිධානය කරමින් නව නීති පද්ධතියක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
ඒ අනුව ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ සිට මූල්‍ය නියාමනය, ආයෝජන ආරක්ෂණය, රාජ්‍ය සමාගම් පරිපාලනය, රේගු කටයුතු, රාජ්‍ය දේපළ කළමනාකරණය සහ කම්කරු සබඳතා දක්වා ක්ෂේත්‍ර ගණනාවක නීති ප්‍රතිසංස්කරණ රජය විසින් සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයාගේ අයවැය ප්‍රකාශයෙන් අනාවරණය විය.
