මාළිමා නගරාධිපතිගේ ප්‍රකාශය අල්ලස් ඉල්ලීමක් – හඳුන්නෙත්ති කියයි

පසුගියදා කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය තරයේ හෙළා දකින බවත්, ජාතික ජන බලවේගයේ කිසිදු පාක්ෂිකයෙක්වත් එය පිළිගත යුතු නැති බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

ඊයේ (11) රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එම ප්‍රකාශය පැහැදිලිවම අල්ලස් ඉල්ලීමක් බවයි.

ඒක මොළේ අසනීපයක් නිසා කියපු කතාවක්

වැඩසටහන අතරතුර අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මෙසේද සඳහන් කළේය.

රන්ජන් ජයලාල් කඩුවෙල නගරාධිපතිවරයා කරපු ඒ ප්‍රකාශය අපි සම්පුර්ණයෙන්ම හෙළාදකිනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණවත්, ජාතික ජනබලවේගයවත්, අපේ පාක්ෂිකයෙක්වත්, හිතවතෙක්වත් පිළිගතයුතු ප්‍රකාශයක් නෙවෙයි. ඒක පුද්ගලිකවත් කල යුතු ප්‍රකාශයක් නොවෙයි. ඒක මොලේ අසනීපයක් හරි මොකක් හරි නිසා කියපු කතාවක්.

ලැබී තිබෙන ජනවරමේ විශේෂත්වය මැනවින් තේරුම් ගත යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මහජන නියෝජිතයන් ලෙස තමන්ව ජනතාව පත් කර ගත්තේ විශේෂ හේතුවක් මත බවද සිහිපත් කළේය.

ලැබිලා තියන ජනවරමේ විශේෂත්වය අපි තේරුම් ගන්න ඕන. අපි මහජන නියෝජිතයෝ හැටියට ජනතාව තෝරාගෙන තියෙන්නේ විශේෂ හේතුවක් නිසා. මොකක්ද විශේෂ හේතුව කලින් පැවතිච්ච ආණ්ඩු විසින් කරපු හොරකම් දූෂණ වංචා අල්ලස් පගාව පිටු දකින්න.

නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරනවා කියන්නේ පළවෙනියෙන්ම නීතිය අපට අදාලයි. එතකොට අපි කියනවා නම් කලින් ආණ්ඩු ඉද්දි ගෙනාපු හැම්පර්ස්, තෑගි බෝග අපිටත් දෙන්න කියලා, ඒක අල්ලස් ඉල්ලීමක්. ඒකට අනිවාර්යයෙන්ම පක්ෂයක් හැටියට විනය ක්‍රියාමාර්ග ගන්නවා. මේ වගේ ප්‍රකාශ ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේවත් අපේ කවුරුත් ගන්න ඕනත් නෑ, පිළිගන්න ඕනත් නෑ… යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පවසා සිටියේය.

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මාලඹේ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්, “දෙසැම්බර් මාසේ නගර සභාවේ සේවකයින්ට මොනවා හරි දෙනවා නම් තම නිෂ්පාදන කොටසක්, ඒක දෙන්න. අපිත් හොඳට කන බොන මිනිස්සු…” යනුවෙන් කළ ප්‍රකාශයක් මෙලෙස දැඩි කතාබහට ලක්ව තිබේ.

Author

Leave a Reply

Related Posts