සතුරන්ට සමාව දී ස්වර්ගයට යන්න බැරි ජනාධිපතිවරයෙක්, තමන්ගේ ඩොලර් බිලියන තුන ගැන නොදන්නා ව්‍යාපාරිකයෙක්, සංක්‍රමණික මර්දනය වැඩි බව පිළිගෙන එහි මහ මොළකරුට උසස්වීමක් දෙන පාලකයෙක් සහ දෝෂාභියෝගයක් දිනවන්න තිබුණු අවස්ථාව මඟහැරගත් විපක්ෂයක්!
ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය අවසන් වී සතියක් ගතවීමටත් පෙර, වොෂින්ටනයේ දේශපාලනය සුපුරුදු ලෙසම රියැලිටි ප්‍රසංගයක් වාගේ වෛවර්ණ සිදුවීම් මාලාවකින් පිරී ගියේය. අලුත්ම විනෝදය දෝෂාභියෝගය අසාර්ථක වීමයි. නිල් රැල්ලක් කීවාට නිල් රැල්ලේ හෙග්සෙත් ගිලුණේ නැත. තවමත් ඔහු පිහිනයි.
මැතිවරණයෙන් දැවැන්ත පරාජයක් ලැබූ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමා එම පරාජයට වගකිව යුතු නැති බව කියමින් සිටියේය. එහෙත් ඔහුගේම පක්ෂයේ හිටපු ආධාරකරුවන්, දේශපාලන විචාරකයන් සහ ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රශ්න කිරීමට දැන් පටන් ගෙන තිබේ.
ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව චෝදනා අටකින් යුත් දෝෂාභියෝගයක් ඉදිරිපත් වුණේ ඔය අතරේය. එය ඉදිරිපත් කළේ විපක්ෂයේ ඩිමොක්රටික් මන්ත්‍රීවරයකු නොව, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේම තෝමස් මැසී විසිනි.
නමුත් ඩිමොක්රටික් පක්ෂයට එම දෝෂාභියෝගය ඉදිරියට ගෙන යෑමට තිබූ අවස්ථාව අහිමි වුණේ ඔවුන්ගේම මන්ත්‍රීවරුන් 11 දෙනකු ඡන්ද විමසීමට නොපැමිණීම නිසාය. තවමත් ඡන්දය දිනූ අලුත් කොංග්‍රසය නොව පරණ කොංග්‍රසයේ ධුර කාලය ක්‍රියාත්මක වුණත්, මේ දෝෂාභියෝගය ඉදිරියට ගෙනයෑමේ හැකියාව තිබුණි. මගහැරුණේ ඉතාම බොළද හේතු නිසාය. මන්ත්‍රීවරුන් ඡන්දයට නෑවිත් නිල් රැල්ලේ පළවැනි ක්‍රියාව අසාර්ථක විය.
මේ සියල්ල අතරතුර ට්‍රම්ප් CBS රූපවාහිනියේ 60 Minutes වැඩසටහනට සහභාගි වී තම ධනය, දූෂණ චෝදනා, යුද්ධය, සංක්‍රමණිකයන් සහ මරණයෙන් පසු තමන්ට සිදුවන දේ ගැනත් අදහස් පළ කළේය. මැරුණාම දෙව්ලොව යනවාදැයි ඇසු විට ඔහු දුන් උත්තරය අපූරුය.
නොවැම්බර් 3
2026 නොවැම්බර් 3 වැනිදා පැවැත්වුණේ ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයකුගේ සිව් අවුරුදු ධුර කාලයේ මැද පැවැත්වෙන මෙම මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ම, සෙනෙට් සභාවේ ආසනවලින් කොටසක් සහ ප්‍රාන්ත ආණ්ඩුකාර ධුර ඇතුළු තනතුරු ගණනාවක් සඳහා නියෝජිතයන් තෝරා ගැනේ. ඒ මැතිවරණයේදී ට්‍රම්ප් ලැබු අති දැවැන්ත පරාජය ගැන මුලින්ම පැහැදිළි කළේ හිතුවාට වඩා නිහතමානී මුත් තමන්ගේ නම බේරාගන්නා ස්වරයෙනි.
“පළමුවැනි කාරණය, මම ඡන්ද පත්‍රිකාවේ හිටියේ නැහැ.”
නොවැම්බර් 8 වැනිදා විකාශය වූ 60 Minutes සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කියා සිටියේය.
ඔහුගේ තර්කය වූයේ ජනතාව තමන්ට ආදරය කරන නමුත්, එම ජනප්‍රියත්වය වෙනත් රිපබ්ලිකන් අපේක්ෂකයන් වෙත මාරු කිරීමට නොහැකි වූ බවයි.
එවිට සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ රොස් ඩවුතට් ට්‍රම්ප්ට මතක් කළේ පරාජය වූ අපේක්ෂකයන්ගෙන් ඇතැම් අය තෝරාගෙන ඔවුන්ට සහාය දුන්නේ ද ට්‍රම්ප් විසින්ම බවයි.
ටෙක්සාස්හි කෙන් පැක්ස්ටන් සහ දකුණු කැරොලයිනාවේ ඩාර්ලීන් ග්රැහැම් ඊට උදාහරණ ලෙස ඉදිරිපත් විය. ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය අඩුවීමට හේතු වූ කරුණු මැතිවරණ ප්‍රතිඵලවලින් පමණක් නොව, ඔහුගේම සම්මුඛ සාකච්ඡාවෙන් ද අනාවරණය විය.
ඉරාන යුද්ධය: ජයග්‍රහණයක්ද, පරාජයට හේතුවක්ද?
මැතිවරණ පරාජය පිළිබඳව කතා කරමින් ට්‍රම්ප් වැරදි කිහිපයක් පිළිගත්තේය.
ජනතාව යුද්ධයට අකමැති වූ බවත්, පෙට්‍රල් මිල ඉහළ යෑම ගැන කෝපයෙන් සිටි බවත්, ඊශ්‍රායලය පිළිබඳ අප්‍රසාදය ද ඉහළ ගොස් තිබූ බවත් ඔහු පැවසීය.
2026 පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාර ආරම්භ කළහ. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය එම ප්‍රහාර සාධාරණීකරණය කළේය.
එහෙත් ඉරානයට එරෙහි යුද්ධය දිග්ගැස්සීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ප්‍රවාහනයට ඇති වූ බාධා, ජාත්‍යන්තර තෙල් මිල සහ ඇමෙරිකානු ආර්ථිකය සම්බන්ධ ගැටලු මතුවිය.
ට්‍රම්ප් මැතිවරණයට පෙර ජනතාවට ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ අනවශ්‍ය විදේශ යුද්ධවලින් ඇමෙරිකාව ඈත් කිරීමයි. එහෙත් දෙවැනි ධුර කාලයේදී ඔහුගේ පරිපාලනයම ඉරානයට එරෙහි විශාල හමුදා මෙහෙයුමකට සම්බන්ධ වීම, පක්ෂයේ ඇතැම් ආධාරකරුවන් අතර ද විරෝධතා ඇති කළේය.
60 Minutes සාකච්ඡාවේදී ට්‍රම්ප් තමන් යුද්ධය ජයගෙන ඇති බව කීය. ඉරානයේ න්‍යෂ්ටික බලය සුණුවිසුණු කළ බව කීය. එහෙත් යුද්ධය අවසන් කිරීමේ සම්පූර්ණ එකඟතාවක් තවමත් නොතිබූ අතර, ඉරාන ගැටුම ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයක් ලෙස පැවතිණි.
පෙට්‍රල් මිල ගැන කතා කරද්දී ට්‍රම්ප්, ඉරාන යුද්ධයට පෙර අයෝවා ප්‍රාන්තයේ පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 1.85 දක්වා පහත වැටී තිබූ බව කිය.
එහෙත් FactCheck.org ආයතනය කළ කරුණු පරීක්ෂාව අනුව එම ප්‍රකාශය නිවැරදි නොවේ. යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 වැනිදා අයෝවාහි සාමාන්‍ය පෙට්‍රල් මිල ඩොලර් 2.64ක් පමණ වූ අතර, නොවැම්බර් 9 වැනිදා වන විට ඇමෙරිකාවේ ජාතික සාමාන්‍යය ගැලුමකට ඩොලර් 4ක් පමණ විය.
“ICE”
ට්‍රම්ප්ගේ සම්මුඛ සාකච්ඡාවේ තවත් වැදගත් අවස්ථාවක් වූයේ සංක්‍රමණිකයන් පිළිබඳව ඔහු දැක්වූ අදහස්ය.
2024 මැතිවරණයේදී ට්‍රම්ප්ගේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ නීතිවිරෝධී සංක්‍රමණය වැළැක්වීම සහ ඇමෙරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් විශාල වශයෙන් පිටුවහල් කිරීමයි.
ඔහු බලයට පැමිණීමෙන් පසුව සංක්‍රමණ හා රේගු බලාත්මක කිරීමේ ආයතනය වන ICE ඇතුළු ෆෙඩරල් ආයතන මඟින් දැඩි අත්අඩංගුවට ගැනීම් සහ පිටුවහල් කිරීම් සිදුකළේය.
නමුත් මෙම ක්‍රියාමාර්ග අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට පමණක් සීමා නොවීය. රැකියාවල නිරත වූ, පවුල් සමඟ ජීවත් වූ සහ සරණාගතභාවය ඉල්ලා නීතිමය ක්‍රියාමාර්ගවල නිරත වූ පුද්ගලයන් ද අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවේචන මතුවිය.
මධ්‍යවාර මැතිවරණයෙන් පසුව පැවැති ඡන්දදායක සමීක්ෂණයකට අනුව ආසන්න වශයෙන් ඡන්දදායකයන් දස දෙනකුගෙන් හය දෙනකුම සංක්‍රමණ නීති ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව සීමාව ඉක්මවා ඇති බවට අදහස් දැක්වූහ.
60 Minutes වැඩසටහනේදී රොස් ඩවුතට් මෙම ප්රශ්නය සෘජුවම මතු කළේය.
ඩවුතට්: “ඔබේ පිටුවහල් කිරීමේ ප්‍රතිපත්තිය සීමාව ඉක්මවා ගියා කියලා හිතනවාද?”
ට්‍රම්ප්: “මම හිතන්නේ ඒක ඕනෑවට වඩා දැඩි වුණා.”
එපමණක් නොව, හෝටල් සේවිකාවන්, පිරිසිදු කිරීමේ සේවකයන් සහ වෙනත් රැකියාවල නිරත වූ පුද්ගලයන් රටින් පිටුවහල් කිරීම අමානුෂීය තත්ත්වයක් බව ද ඔහු පිළිගත්තේය.
ඩිමොක්රටික් පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති බව ප්‍රකාශ කළ ට්‍රම්ප්, සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද යම් එකඟතාවකට පැමිණීමට සූදානම් බව සඳහන් කළේය.
එහෙත් මෙම ප්‍රකාශ සිදුකර පැය කිහිපයකට පසුව ට්‍රම්ප් ගත් තීරණය එයට වඩා වෙනස් පණිවුඩයක් ලබා දුන්නේය.
එහෙත් 2026 නොවැම්බර් 6 වැනිදා ට්‍රම්ප් ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් වෙනුවට ස්ටීවන් මිලර් පත්කළේය.
ස්ටීවන් මිලර් යනු ට්‍රම්ප් පරිපාලනයේ සංක්‍රමණික මර්දන ප්‍රතිපත්ති සකස් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයාය.
2016 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සිට ට්‍රම්ප් සමඟ කටයුතු කළ මිලර්, ජනාධිපතිවරයාගේ දැඩි සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි උපදේශකයෙකි.
පැරණි කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් ට්‍රම්ප්ගේ දෙවැනි ජනාධිපතිවරණ ව්‍යාපාරය සංවිධානය කළ ප්‍රධාන පුද්ගලයන්ගෙන් කෙනෙකි. ඇය ට්‍රම්ප්ගේ පරිපාලනයට යම් විනයක් ගෙන ආ පුද්ගලයකු ලෙස සැලකුණි. එහෙත් ඇය වෙනුවට පත්කළ මිලර් ට්‍රම්ප්ගේ දෘඪ ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති දැඩි කැපවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධය.
ඩොලර් බිලියන තුනක් වැඩි වුණා! ඒ කොහොමද කියලා දන්නේ නැහැ!
60 Minutes සම්මුඛ සාකච්ඡාවේ වඩාත් අවධානයට ලක්වූ සංවාදයක් වූයේ ට්‍රම්ප්ගේ පෞද්ගලික ධනය පිළිබඳ ප්‍රශ්න කිරීමයි.
රොස් ඩවුතට්, Forbes සඟරාවේ ඇස්තමේන්තුවක් සඳහන් කරමින්, 2024දී නැවත ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසුව ට්‍රම්ප්ගේ ශුද්ධ වත්කම ආසන්න වශයෙන් ඩොලර් බිලියන තුනකින් වැඩිවී ඇති බව පැවසීය.
එවිට ට්‍රම්ප්ගේ මුල් ප්‍රතිචාරය වූයේ අනෙක් අයගේ ධනයත් වැඩිවී ඇති බවයි.
ඩවුතට්: “මගේ ශුද්ධ වත්කම නම් ඩොලර් බිලියන තුනකින් වැඩි වුණේ නැහැ.”
ට්‍රම්ප් එයට පිළිතුරු දුන්නේ කොටස් වෙළඳපොළේ ආයෝජනය කළ යුතුව තිබූ බව කියමිනි.
පසුව ඔහු තම ධනය පිළිබඳව මෙසේ පැවසීය.
“මට හිතුවාටත් වඩා ගොඩක් මුදල් තියෙනවා. ඒක වැඩි වෙලා කියලා මම හිතනවා. මම හරියටම දන්නේ නැහැ.”
රොස් ඩවුතට් සාකච්ඡාව ගෙන ගියේ ට්‍රම්ප් පවුලේ World Liberty Financial ක්‍රිප්ටෝ මුදල් සමාගම වෙතය.
ට්‍රම්ප්ගේ පුතකු එම සමාගම කළමනාකරණය කරන බව සඳහන් කළ විට ජනාධිපතිවරයා ඇසුවේ තවත් අපූරු ප්රශ්නයකි.
“අපි කතා කරන්නේ කොයි පුතා ගැනද?”
තමන් එම සමාගමේ සම හිමිකරුවකු බව ට්‍රම්ප් පිළිගත්තේය.
එම සමාගමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට සම්බන්ධ ආයෝජකයන්ගේ ආයෝජන තිබීම පිළිබඳව ද ඩවුතට් ප්‍රශ්න කළේය.
ඩවුතට්ගේ තර්කය වූයේ මෙම ව්‍යාපාරය බයිඩන් පවුලට සම්බන්ධ එකක් වූවා නම්, ට්‍රම්ප් එය දූෂණයක් බවට චෝදනා කිරීමට ඉඩ තිබූ බවයි.
ඊට ට්‍රම්ප් ලබාදුන් පිළිතුර වූයේ තමන් එම ව්‍යාපාරයේ කටයුතු පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.
“වෙනස මොකක්ද කියලා මම කියන්නම්. මොකද මම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ.”
2026 නොවැම්බර් 10 වැනිදා FactCheck.org නිකුත් කළ වාර්තාව සඳහන් කළේ ට්‍රම්ප්ගේ ධනය වැඩිවීමට ප්‍රධාන හේතුව කොටස් වෙළඳපොළේ වර්ධනය පමණක් නොවන බවයි. ඔහුගේ පවුලේ ක්‍රිප්ටෝ ව්‍යාපාර සහ වෙනත් වාණිජ ගනුදෙනු ඊට සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබේ.
2025 වසරේ පවුලේ ක්‍රිප්ටෝ ව්‍යාපාරවලින් පමණක් ඩොලර් බිලියන 1.4ක පමණ ආදායමක් ලැබී ඇති බව New York Times මූල්‍ය හෙළිදරව් කිරීම් පදනම් කරගෙන වාර්තා කර තිබිණි.
මෙම තත්ත්වය 2027දී බලයට පත්වන ඩිමොක්රටික් බහුතර කොංග්‍රසයේ විමර්ශන සඳහා ප්‍රධාන මාතෘකාවක් වීමට ඉඩ තිබේ.
ස්වර්ගයට යන්න කැමතියි! හැබැයි සතුරන්ට සමාව දෙන්නේ නැහැ!
සම්මුඛ සාකච්ඡාවේ අවසානයේ රොස් ඩවුතට් ට්‍රම්ප්ගෙන් ඇසූ ප්රශ්නය දේශපාලනය පිළිබඳව නොව, මරණය සහ ආගමික විශ්වාසය පිළිබඳවය.
මරණයෙන් පසුව තමන්ට සිදුවන්නේ කුමක්දැයි සිතන්නේදැයි ඇසූ විට, ට්‍රම්ප් මුලින්ම පැවසුවේ තමන් මියගිය පසුව ජනතාව තමන් මතක තබාගනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
එහෙත් ඩවුතට් විමසුවේ දේශපාලන උරුමය පිළිබඳව නොව, මරණයෙන් පසු තමන් යන්නේ කොතැනටද යන්න පිළිබඳවය.
ට්‍රම්ප්: “මම ආගමික පුද්ගලයෙක්. ඒ නිසා න්‍යායාත්මකව මම ස්වර්ගයට යනවා.”
ඩවුතට්: “ඔබ ස්වර්ගයට යනවා කියලා හිතනවාද?”
ට්‍රම්ප්: “මම එහෙම බලාපොරොත්තු වෙනවා. මට අපායට යන්න ඕන නැහැ.”
අනතුරුව ඩවුතට් ක්‍රිස්තියානි ආගමේ සතුරන්ට සමාව දීම පිළිබඳ ඉගැන්වීම මතු කළේය.
හිටපු FBI අධ්යක්ෂ ජේම්ස් කෝමි, හිටපු කථානායිකා නැන්සි පෙලෝසි සහ තමන් විවේචනය කළ වෙනත් දේශපාලන විරුද්ධවාදීන්ට සමාව දීම ස්වර්ගයට යෑමට අවශ්‍ය කොන්දේසියක් වූවා නම්, එය කිරීමට හැකිදැයි ඔහු ට්‍රම්ප්ගෙන් ඇසීය.
මෙහිදී ට්‍රම්ප් තම ඇතැම් විරුද්ධවාදීන් ද්වේෂසහගත සහ රටට හානිකර පුද්ගලයන් ලෙස සලකන බව පැවසීය.
ඩවුතට් දිගින් දිගටම ප්‍රශ්න කළ විට ට්‍රම්ප් අවසානයේ මෙසේ පිළිතුරු දුන්නේය.
“ඇත්තම කියනවා නම් මට බොහෝ විට ඒක කරන්න බැරි වෙයි. මොකද මම මගේ සමහර සතුරන්ට වෛර කරනවා. හැමදාමත් එහෙම කරාවි.”
හෙග්සෙත්ට එරෙහි දෝෂාභියෝගය: ට්‍රම්ප්ගේම පක්ෂයෙන් එල්ල වූ අභියෝගය
මේ අතර නොවැම්බර් 9 වැනිදා තෝමස් මැසී, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව චෝදනා අටක් ඇතුළත් දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කළේය.
මෙහි දේශපාලන වැදගත්කම වන්නේ මැසී ට්‍රම්ප්ගේම රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වීමයි.
මැසී වසර ගණනාවක සිට විදේශීය යුද්ධවලට ඇමෙරිකාව සම්බන්ධ වීමත්, ජනාධිපතිවරයා කොංග්‍රසයේ යුද බලතල ඉක්මවා කටයුතු කිරීමත් විවේචනය කළ රිපබ්ලිකන් දේශපාලනඥයෙකි.
ඔහුගේ නොවැම්බර් 9 දෝෂාභියෝග යෝජනාවේ පළමු චෝදනා තුනම 1973 යුද බලතල නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ය.
ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කිරීමට කොංග්‍රසයේ අනුමැතිය නොලැබීම, හමුදා ඉවත් කරගැනීම පිළිබඳ කොංග්‍රසයේ තීරණ නොසලකා හැරීම සහ දින 60ක මූලික කාලසීමාවත්, තවත් දින 30ක ඉවත් වීමේ කාලසීමාවත් ඉක්මවා හමුදා ක්‍රියාමාර්ග සිදුකිරීම එම චෝදනාවලට අයත් විය.
අනෙක් චෝදනා පහ – සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කිරීමට තිබූ ආරක්ෂණ ක්‍රමවේද නොසලකා හැරීම, කැරිබියානු සහ පැසිෆික් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කළ යාත්‍රාවල සිටි පුද්ගලයන්ට නීතිමය ක්‍රියාවලියකින් තොරව මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම, සෙනෙට් සභික මාක් කෙලීගේ ප්‍රකාශන නිදහසට එරෙහිව රාජ්‍ය බලය භාවිත කිරීම, වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමට සිදුකළ හමුදා මෙහෙයුම සහ යේමනයට එරෙහිව අවසරයකින් තොරව හමුදා ක්‍රියාමාර්ග සිදුකිරීම ඇතුළත්ය.
මුහුදේ යාත්‍රාවලට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 243 දෙනකු පමණ මියගොස් ඇති බවට මැසී සිය යෝජනාවෙන් චෝදනා කළේය.
මෙම චෝදනා සියල්ල තවමත් නීතිමය විභාගයකින් තහවුරු වූ කරුණු නොවේ. හෙග්සෙත් ඒවා ප්‍රතික්ෂේප කරමින් තම හමුදා නියෝග නීත්‍යනුකූල බව කියා සිටී.
නොවැම්බර් 10 වැනිදා පෙන්ටගනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු දෝෂාභියෝග උත්සාහය ප්‍රතික්ෂේප කළ අතර, ඉරාන යුද්ධය පිළිබඳ ඉතිහාසයේ අවසාන විනිශ්චය අද පවතින අදහස්වලට වඩා වෙනස් වනු ඇතැයි පැවසීය.
ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යුද්ධ ප්‍රකාශ කිරීමේ බලය කොංග්‍රසයට පැවරී තිබේ. ජනාධිපතිවරයා සන්නද්ධ හමුදාවල ප්‍රධාන අණදෙන නිලධාරියා වුවත්, කොංග්‍රසයේ අවසරයකින් තොරව දිගුකාලීන යුද මෙහෙයුම් සිදුකිරීම සම්බන්ධයෙන් නෛතික සීමා පවතී.
එසේ වුවද 1973 යුද බලතල නීතියේ ඇතැම් කොටස්වල ව්‍යවස්ථානුකූලභාවය සහ කොංග්‍රසයේ සමගාමී යෝජනාවක් මඟින් හමුදා ඉවත් කිරීම නෛතිකව අනිවාර්ය කළ හැකිද යන්න පිළිබඳ විවාද තිබේ.
ඡන්ද 11ක් නැතිවුණු දෝෂාභියෝගය!
2026 නොවැම්බර් 10 වැනිදා හෙග්සෙත්ට එරෙහි දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තීරණාත්මක ඡන්ද විමසීමක් පැවැත්විණි.
එහිදී රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව වූයේ හෙග්සෙත්ට එරෙහි චෝදනා සෘජුව සභාවේ සලකා බැලීම වෙනුවට අධිකරණ කටයුතු පිළිබඳ කාරක සභාව වෙත යොමු කිරීමයි.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 211ක් සහ විරුද්ධව ඡන්ද 204ක් ලැබුණි.
ඒ අනුව දෝෂාභියෝගය කාරක සභාව වෙත යොමු කෙරිණි.
මෙහි විශේෂත්වය වූයේ ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් 11 දෙනකු ඡන්ද විමසීමට නොපැමිණීමයි. රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් හත් දෙනකු ද නොපැමිණ සිටි අතර, කාරක සභාවට යොමු කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදුන් එකම රිපබ්ලිකන් මන්ත්‍රීවරයා තෝමස් මැසී විය.
ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් 11 දෙනාම අනෙක් ඩිමොක්රටික් සාමාජිකයන් මෙන් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ නම් ප්‍රතිඵලය 211ට 215ක් වීමට තිබිණි.
නොපැමිණි මන්ත්‍රීවරුන් අතර හිටපු කථානායිකා නැන්සි පෙලෝසි ද සිටියාය. ඇයගේ නියෝජිතයකු ප්‍රකාශ කළේ යුද විරුවන්ට ගෞරව දැක්වීමේ වැඩසටහනකට සහභාගි වීමට ඇය සැන් ෆ්රැන්සිස්කෝ වෙත ගොස් සිටි බවයි.
තවත් මන්ත්‍රීවරුන් වෛද්‍ය අවශ්‍යතා, පෞද්ගලික හදිසි අවස්ථා සහ වොෂින්ටනයේ රථවාහන තදබදය තමන්ගේ නොපැමිණීමට හේතු ලෙස ඉදිරිපත් කළහ.
ඒ අනුව වසර ගණනාවක් පුරා ඇමෙරිකාවේ යුද බලතල සහ ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නවලට අදාළ තීරණාත්මක ඡන්ද විමසීමක්, අවසානයේ මන්ත්‍රීවරුන්ගේ රථවාහන තදබදය පිළිබඳ ප්‍රවෘත්තියක් බවට පත්විය.
නොවැම්බර් 11 වැනිදා ඩිමොක්රටික් පක්ෂයේ පාර්ලිමේන්තු සංවිධායක කැතරින් ක්ලාක්, එම නොපැමිණීම් ඇමෙරිකානු ජනතාව අපේක්ෂාභංගත්වයට පත්කළ බව සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කළේය.
මේ අතර ට්‍රම්ප් හෙග්සෙත්ගේ දෝෂාභියෝග උත්සාහය පරාජය වී ඇති බව ප්‍රකාශ කරමින් එය තම ආරක්ෂක ලේකම්වරයාගේ නිදොස්භාවය තහවුරු වූ අවස්ථාවක් ලෙස හඳුන්වා දුන්නේය.
2027දී නව කොංග්‍රසය බලයට පත්වීමෙන් පසුව නැවත දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.
ඇමෙරිකානුවන්ගෙන් සියයට 71ක් ඉරාන යුද්ධය අවසන් කරන්නැයි ඉල්ලති
හෙග්සෙත් දෝෂාභියෝගය පිළිබඳව තවත් වැදගත් තොරතුරක් නොවැම්බර් 10 වැනිදා නිකුත් වූ Reuters/Ipsos මහජන මත විමසුමෙන් හෙළිවිය.
එම සමීක්ෂණය අනුව ඇමෙරිකානුවන්ගෙන් සියයට 71ක් ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමට නව කොංග්‍රසය නීතිමය පියවර ගත යුතු බව ප්‍රකාශ කළහ.
ඩිමොක්රටික් පක්ෂයේ ආධාරකරුවන්ගෙන් සියයට 93ක් සහ රිපබ්ලිකන් පක්ෂයේ ආධාරකරුවන්ගෙන් සියයට 51ක් එම ස්ථාවරයට සහාය දුන්හ.
2027දී ට්‍රම්ප්ට මුහුණදීමට සිදුවන්නේ කුමකටද?
2027 ජනවාරි 3 වැනිදා නව ඇමෙරිකානු කොංග්‍රසය ආරම්භ වීමට නියමිතය.
ඩිමොක්රටික් පක්ෂයට එහි සභා දෙකෙහිම බහුතර බලය ලැබීමත් සමඟ ට්‍රම්ප්ගේ පාලනයට පෙර නොතිබූ කොංග්රස් බලපෑමක් ඇතිවීමට හැකියාව පවතී.
විශේෂයෙන් ජනාධිපතිවරයාගේ පවුලේ ව්‍යාපාරික ගනුදෙනු, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා මෙහෙයුම්, සංක්‍රමණික අත්අඩංගුවට ගැනීම් සහ යුද්ධයේ වියදම් පිළිබඳ විමර්ශන සිදුකිරීමට නව බහුතරයට හැකිය.
කොංග්රස් කාරක සභාවලට ලේඛන ඉල්ලා සිටීමට, නිලධාරීන්ගෙන් සාක්ෂි කැඳවීමට සහ රාජ්‍ය ආයතනවල තීරණ විමර්ශනය කිරීමට විශාල බලතල තිබේ. එහෙත් දෝෂාභියෝගයක් සම්මත කිරීම විශ්වාසදායක නොවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සරල බහුතරයකින් දෝෂාභියෝග චෝදනා සම්මත කළ හැකි වුවත්, අදාළ නිලධාරියා ධුරයෙන් ඉවත් කිරීමට සෙනෙට් සභාවේ පැමිණ සිටින සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය වේ.
සෙනෙට් සභිකයන් සියලුදෙනාම සහභාගි වන අවස්ථාවක එය ඡන්ද 67කි.
එම නිසා ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් බහුතරය තිබීම පමණක් ධුරයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා රිපබ්ලිකන් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ද අවශ්‍ය විය හැකිය.
