මාරාන්තික උපවාසයේ ඉන්න බලංගොඩ කස්සපට වරෙන්තු

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නීත්‍යානුකූල අවසරයකින් තොරව බුද්ධ ප්‍රතිමාවක් තැම්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අද (11) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී නොසිටි බලංගොඩ කස්සප අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා වරෙන්තු නිකුත් කර තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී එහි දෙවන සැකකරු ලෙස නම් කර සිටින බලංගොඩ කස්සප හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකකරුවන් 14 දෙනෙකු අධිකරණයට නම් කර තිබේ. ඉන් සැකකරුවන් නව දෙනෙකුට හෙට (12) ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙසට අධිකරණය නියෝග කර ඇති අතර, නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන ජනවාරි 06 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

2025 නොවැම්බර් 16 වැනිදා ත්‍රිකුණාමලය කොටුව ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානය ආශ්‍රිතව ඉදිකිරීම් කටයුත්තක් සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් වෙරළ සංරක්ෂණ කලාපය තුළ අවසරයකින් තොරව ඉදිකිරීමක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ඊට එරෙහිව පියවර ගැනීමට කටයුතු කර තිබිණි. අදාළ ස්ථානයේ ඉදිකර තිබූ අවන්හලක් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන්ද බලධාරීන්ගේ අවධානය යොමුව තිබූ අතර, එම ඉදිකිරීම් ඉවත් කිරීමට ගත් උත්සාහයත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබිණි.

කෙසේ වෙතත්, විහාරස්ථානයට අයත් භූමියක ධර්මශාලාවක් හෝ දහම් පාසල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කටයුත්තක් සිදුකරන බවට විහාරස්ථාන පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් විය. එම පාර්ශ්වයේ අදහස වූයේ අදාළ භූමිය විහාරස්ථානයට වෙන්කර දී තිබූ බවයි. අනෙක් පාර්ශ්වයෙන් ඉදිරිපත් වූයේ වෙරළ සංරක්ෂණ නීති හා අවසරපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ඉදිකිරීම් සිදුකර ඇති බවට වූ චෝදනාවයි.

මෙම තත්ත්වය මධ්‍යයේ බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධතාවක නිරත වූ අතර, එහිදී බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමද සිදුවිය. බලධාරීන්ගේ ක්‍රියාමාර්ගවලට එරෙහිව ඇති වූ විරෝධතාව හේතුවෙන් පොලීසිය සහ විරෝධතාකරුවන් අතරද උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් මත පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිණි.

2026 ජනවාරි 14 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නමක් සහ තවත් පුද්ගලයන් පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. කෙසේ වෙතත්, 2026 පෙබරවාරි 11 වැනිදා අදාළ සැකකරුවන් දසදෙනාට මහාධිකරණය විසින් ඇප ලබාදීමට තීරණය කරන ලදී. ඒ අනුව රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහැරීමට නියෝග කෙරිණි.

Author

1 Comment

Leave a Reply

Related Posts