කාවන්තිස්ස ඇතා ඝාතන නඩුවට අදාළ විමර්ශන පොදු දේපල පනත යටතේ පැවැත්වීමට නියෝග

කාවන්තිස්ස ඇතා වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනා ලබන 25 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොදු දේපල පනත යටතේ මෙම විමර්ශන පැවැත්වීමටත් මහව මහේස්ත්‍රාත්වරිය අද (11) නියෝග කළාය.

අදාළ නඩුව අද දින මහව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අතර, එහිදී වනජීවී නිලධාරීන් විසින් කාවන්තිස්ස ඇතාගේ මරණයට අදාළ වැඩිදුර විමර්ශන වාර්තාවක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයේ නිරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මෙම නඩු විභාගයේදී කරුණු දක්වමින් සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් ඔවුන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර, ඒ අනුව කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරිය, මෙම ඇතාගේ මියයාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ පොදු දේපළ පනත යටතේ මෙහෙයවිය යුතු බවට නිරීක්ෂණය වන බව විවෘත අධිකරණයේදී සඳහන් කළාය.

කෙසේ වෙතත්, වනජීවී නිලධාරීන් හෝ පැමිණිකාර පාර්ශ්වය විසින් මෙම විමර්ශන පොදු දේපළ පනත යටතේ සිදු කරන බවට අද දින හෝ මීට පෙර අධිකරණයට කිසිදු දැනුවත් කිරීමක් කර නොතිබිණි.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් වනජීවී නිලධාරීන්ට නියෝග කරමින් කියා සිටියේ, මෙම පැමිණිල්ලට අදාළව පොදු දේපළ පනත යටතේ විමර්ශන පවත්වා විශේෂ වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එමෙන්ම, සැකකරුවන්ගේ ඇප ඉල්ලීමද මෙහිදී ප්‍රතික්ෂේප කෙරිණි.

මීට අමතරව, මෙම සිද්ධියට අදාළව පැමිණිල්ල මෙහෙයවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය පතන ලෙසද මහේස්ත්‍රාත්වරිය වනජීවී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නාය. ඒ අනුව, සැකකරුවන් දෙදෙනා ලබන 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.

Author

Leave a Reply

Related Posts