වගකීම් විරහිත මාධ්‍ය වාර්තාකරණය හරහා හිංසනයට ලක්වූ දරුවන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීමෙන් ඔවුන් නැවත නැවතත් කම්පනයට පත්වන බවත් එවැනි තත්ත්වයකදී වෛද්‍ය හා ඖෂධ ප්රතිකාරවලින් පවා දරුවා යථා තත්ත්වයට පත් කිරීම අපහසු වන තරමට බරපතළ මානසික හා සමාජයීය හානියක් සිදුවන බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා.
මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඇය සඳහන් කළේ, දරුවෙකු හිංසනයට ලක්වූ පසු විෂාදය, කාංසාව, පසුකම්පන ආතති තත්ත්වය වැනි මානසික රෝග තත්ත්වයන් මෙන්ම ආත්ම අභිමානය බිඳවැටීම, පෞරුෂ වර්ධනය අඩාල වීම සහ දිගුකාලීන අන්තර් පුද්ගල සම්බන්ධතා ගැටලු ඇති විය හැකි බවයි.
මාධ්‍ය මගින් දරුවාගේ අනන්‍යතාව හෙළි කිරීම නිසා ඇතිවන සමාජ අපකීර්තිය සහ කොන් කිරීම හේතුවෙන් දරුවාට නැවත පාසල් යාමට නොහැකිවී අධ්‍යාපනය අඩාල වන අතර එය අනාගතයේදී රැකියා අහිමි වීමට සහ දිගුකාලීන ආර්ථික අපහසුතාවලට පවා මගපාදන බව ඇය සඳහන් කළා.
මාධ්‍ය මගින් සීමාව ඉක්මවා සිද්ධීන් වාර්තා කිරීම නිසා ඇතිවන ලැජ්ජාවට බියෙන් ඇතැම් දෙමව්පියන් සහ දරුවන් තමන්ට සිදුවන හිංසන වාර්තා නොකර සිටීමට පෙළඹෙන බවද වෛද්‍යවරිය පෙන්වාදුන්නා.
බොහෝ විට දරුවන් හිංසනයට ලක්වන්නේ දන්නා පරිසරවල සිටින හඳුනන පුද්ගලයන්ගෙන් බැවින් එලෙස වාර්තා නොකිරීමෙන් දරුවා නැවත නැවතත් හිංසනයට ලක්වන අතරම අපරාධකරු සමාජයේ නිදැල්ලේ සැරිසැරීම නිසා සෙසු දරුවන්ද අනාරක්ෂිත වන බව ඇය කියා සිටියා.
ඇය පවසන්නේ, ශ්‍රී ලංකාවේ නීතිය අනුව අපරාධ වගකීම පැවරෙන්නේ වයස අවුරුදු 14ට වැඩි දරුවන්ට වන බවත් අවුරුදු 12-14 අතර දරුවන්ගේ වගකීම විශේෂඥ කණ්ඩායමක් මගින් තීරණය කෙරෙන බවයි.
කෙසේ වෙතත් අධිකරණයෙන් වරදකරු කිරීමට පෙර යම් වරදකට සම්බන්ධවූ බවට සැකකෙරෙන දරුවෙකුගේ තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම එම දරුවාගේ මුළු ජීවිත කාලයටම බලපාන බව වෛද්‍යවරිය පැවසුවා.
එමෙන්ම ළමා සියදිවි නසාගැනීම් සීමාව ඉක්මවා වාර්තා කිරීමෙන් එය අනුකරණය කරමින් තවත් දරුවන් සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවක් පවතින බව ලෝකයේ පර්යේෂණවලින් තහවුරු වී ඇති බව පැවසූ වෛද්‍යවරිය සඳහන් කලේ, එවැනි සිදුවීම් වාර්තා කළ යුතු නිවැරදි ආකාරය නව මාර්ගෝපදේශ සංග්‍රහයේ පැහැදිලිව දක්වා ඇති බවයි.
එමෙන්ම දරුවන්ගේ බුද්ධිමය කුසලතා අවුරුදු 18ත් 25ත් අතර කාලය දක්වාම වර්ධනය වෙමින් පවතින බැවින් රියැලිටි වැඩසටහන් සහ වෙළඳ ප්‍රචාරණ කටයුතු වැනි වයසට නොගැළපෙන වැඩසටහන්වලට දරුවන් නිරාවරණය කිරීමෙන් ඔවුන්ගේ දිගුකාලීන පෞරුෂ හා මානසික සංවර්ධනයට ඍණාත්මක බලපෑම් එල්ල වන බවද වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළා.
