උදේ පත්තර වැඩසටහන්වලින් කරන අතිශයෝක්ති වර්ණනා නිසා දරුවන් යළි අපචාරයට! පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය වෙයි

පුවත්පත්වල පළවන පුවත් උදෑසන නාලිකා මගින් අතිශයෝක්තිගත ලෙස වර්ණනා කර ඉදිරිපත් කිරීම හේතුවෙන් වින්දිත දරුවාට නැවත වරක් එම අපචාරමය සිද්ධියට මුහුණ පෑමට සිදුවන බවත් වර්තමාන මාධ්‍ය ප්‍රවණතාවලට අනුගත වන පරිදි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මේ වන විට සංශෝධනය වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් ආචාර්ය නිරෝෂන් තම්බවිට මහතා පවසනවා.

රජයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හඳුන්වා දෙන මෙම නව වැඩපිළිවෙළ හුදෙක් මාර්ගෝපදේශ සංග්‍රහයකට වඩා දරුවන් සම්බන්ධ වාර්තාකරණයේදී මානව ධර්මතා ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පෙන්වා දෙන වැදගත් පියවරක් ලෙස තමන් දකින බවයි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යනු මානව ධර්මතා ආරක්ෂා කරන ජනතා ආයතනයක් බව පෙන්වාදුන් කොමසාරිස්වරයා, මුද්‍රිත මාධ්‍ය සඳහා 1981 වසරේදී හඳුන්වා දුන් ආචාරධර්ම සංග්‍රහය යටතේ දෛනිකව පුවත්පත් වාර්තා විමර්ශනය කරන බව කියා සිටියා.

එහි වගන්ති 11 අතරින් 2(ඊ) වගන්තිය, 5 වගන්තිය සහ විශේෂයෙන් දරුවන් වෙනුවෙන් වෙන්වී ඇති 6 වන වගන්තිය කාලානුරූපීව යාවත්කාලීන විය යුතු බවද නිරෝෂන් තම්බවිට මහතා සඳහන් කළා.

කිසියම් පුද්ගලයෙකුට අගතියක්, අපහාසයක් හෝ අයුක්තිසහගත ප්‍රකාශයක් පළවූ විට නෛතික ක්‍රියාමාර්ගවලට නොගොස් සාකච්ඡා මට්ටමින් පුවත්පත් කතුවරුන් දැනුවත් කර නිවැරදි වාර්තාකරණයකට යොමු කිරීමට මණ්ඩලය නිරන්තරයෙන් උත්සාහ කරන බව ඔහු පැවසුවා.

එමෙන්ම පසුගිය දිනවල දරුවන් මියයෑම්, අපචාර සහ අපරාධමය සිදුවීම් කිහිපයක්ම වාර්තාවූ බව පැවසූ ආචාර්ය තම්බවිට මහතා, පුවත්පත් මණ්ඩල ආචාරධර්ම සංග්‍රහය හෝ පනත පිළිබඳව පමණක් නොව මවක් හෝ පියෙක් ලෙස සිතා දරුවන් සම්බන්ධ කාරණා වාර්තා කරන ලෙස පුවත්පත් කතුවරුන්ගෙන් ඉල්ලා සිටියා.

ඔහු පවසන්නේ, යම් පුවතක් වාර්තා කිරීමට පෙර එය කොතරම් සුදුසුද, කාලෝචිතද, එමගින් දරුවාට ඇතිවන කම්පනය කුමක්ද සහ දරුවාගේ සමීපතම ඥාතීන්ට හා සමාජයට එය දැනෙන්නේ කෙසේද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.

ඒ අනුව මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ රටේ පවතින එකම නෛතික ආයතනය ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙළට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද ආචාර්ය නිරෝෂන් තම්බවිට මහතා වැඩිදුරටත් කියා සිටියා.

Author

Leave a Reply

Related Posts