අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධානාගාර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 20 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(10) නියෝග කර තිබේ.
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින චාමර සම්පත්ට එරෙහි මෙම නඩුව අද මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවනු ලැබීය.
එහිදී සැකකාර චාමර සම්පත් දසනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ ලිඛිත ඇප ඉල්ලීමට අදාළව අල්ලස් කොමිසමේ විරෝධතා ලබන 17 වැනිදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, මන්ත්‍රීවරයාගේ හිටපු ලේකම්වරයා පෙර නඩු දිනයකදී කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ද පියවර ගෙන තිබේ.
අනතුරුව, චාමර සම්පත් දසනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ලබන 12 වනදා පැවැත්වෙන අයවැය කතාවට සහභාගී වීම සඳහා සිය සේවාදායකයා පාර්ලිමේන්තුවට යැවීමට නියෝගයක් ඉල්ලා ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ බන්ධනාගාරය තුළ බෝවන රෝගී තත්ත්වයක් පැවැතීම හේතුවෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකරන බවට බන්ධනාගාර බලධාරීන් දැනුම් දී ඇති බවයි.
කෙසේ වෙතත්, අදාළ ඉල්ලීම සිදුකරන දිනට තවදුරටත් කල් පවතින බැවින් ඒ පිළිබඳව පසුව සලකා බලා සුදුසු නියෝගයක් ලබා දෙන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
2022 සැප්තැම්බර් 08 වැනිදා සිට 2024 සැප්තැම්බර් 23 දක්වා කාලය තුළ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, නියමිත ක්‍රමවේදයෙන් බැහැරව සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 84 ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
