“ළමයා සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයේදී ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය” හඳුන්වා දී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්යක්ෂ, නීතිවේදී හා සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මිය පවසනවා.
වර්ෂයකට ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන පසුබිමක සයිබර් අවකාශය සහ පුරවැසි මාධ්‍යකරණය හරහා දරුවන්ට එල්ල වන නව අවදානම්වලින් ඔවුන් ආරක්ෂා කර සමස්ත පුරවැසි වගකීම තහවුරු කිරීම සඳහා මෙම මාර්ගෝපදේශ සංග්‍රහය හඳුන්වාදෙන බව ඇය සඳහන් කළා.
ඊයේ (09) දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය පෙන්වාදුන්නේ වර්තමානය වන විට ලිංගික අපයෝජන සහ ළමා කෲරත්වයට අමතරව සයිබර් අවකාශය තුළ දරුවන් අනාරක්ෂිත වීම, යොවුන් ගැබ්ගැනීම් සහ මත්ද්‍රව්‍ය පරිහරණය වැනි නව සමාජ ගැටලු ඉදිරියට පැමිණ ඇති බවයි.
එමෙන්ම වැඩිහිටියන්, වෘත්තිකයන් හෝ පොදු පුද්ගලයන් ලෙස පුරවැසි මාධ්‍යකරණයේ නිරත වීමේදී නොදැනුවත්කමින් සිදුවන වැරදි අවසානයේදී දරුවන්ගේ ආරක්ෂාවට දැඩි ලෙස බලපාන බවද ඇය අවධාරණය කළා.
මෙම නව ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය වසර 14ක දීර්ඝ උත්සාහයක අවසන් ප්‍රතිඵලයක් බව සඳහන් කළ මලල්ගොඩ මහත්මිය, 2012 වර්ෂයේදී ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් හඳුන්වා දුන් මාර්ගෝපදේශ අත්පොතෙන් ඔබ්බට යමින් වර්තමාන සමාජ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙය සම්පාදනය කර ඇති බව පැවසුවා.
ඒ අනුව පොදු සදාචාරාත්මක මූලධර්ම, අපයෝජන, අපචාර සහ අපරාධ වාර්තාකරණය, ළමා සියදිවි නසා ගැනීම් වාර්තාකරණය, ළමුන් විවිධ වැඩසටහන් සඳහා යොදා ගැනීම යනාදී ප්‍රධාන කාරණා හතරක් මූලික කරගනිමින් මෙම මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කර ඇති බව ශානිකා මලල්ගොඩ මහත්මිය පවසනවා.
1998 අංක 50 දරන පනත මගින් පිහිටුවන ලද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, 2019 වසරේදී ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වූ අතර 2025 වසර වන විට අංශ 10ක දායකත්වය යටතේ පස් අවුරුදු ක්‍රියාකාරී සැලසුමක්ද ඉදිරිපත් කර ඇති බව ඇය සඳහන් කළා.
එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වත්මන් සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති නෝකා රණසිංහ මහත්මියගේ නායකත්වයෙන් යුත් 17 දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් මගින් මෙම මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කර ඇති බව ඇය පෙන්වාදෙනවා.
ඒ සඳහා කැලණිය, කොළඹ සහ විවෘත විශ්වවිද්‍යාලවල විද්වතුන්, වෛද්‍ය විශේෂඥයින්, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, මාධ්‍යවේදීන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක අදහස් හා සහාය ලබාගත් බවද ශානිකා මලල්ගොඩ මහත්මිය වැඩිදුරටත් කියා සිටියා.
