රංජන් ජයලාල්ගේ ‘කන බොන’ කතාව ගැන නලින්දගෙන් ප්‍රකාශයක්!

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන් විමර්ශනයක් සිදුකිරීමටත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ කිසිදු මහජන නියෝජිතයෙක් අල්ලස්, දූෂණ හෝ වංචාවලට සම්බන්ධ නොවන බවට තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී මාධ්‍යවේදීන් විසින්, කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විසින් සිදුකළ දෙසැම්බර් මාසයේදී නගර සභා සේවකයන්ට ලබාදෙන ත්‍යාග පාර්සල් සම්බන්ධ ප්‍රකාශය පිළිබඳව විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේ නගරාධිපතිවරයා එම ප්‍රකාශය මගින් කුමක් අදහස් කළේද යන්න පිළිබඳව පළමුව සම්පූර්ණ ප්‍රකාශය සලකා බැලිය යුතු බවයි.

එමෙන්ම අදාළ ප්‍රකාශයේ කොටසක් පමණක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, “කන බොන” යන ප්‍රකාශයෙන් පසුව ප්‍රචාරය ව්‍ය්‍ය් වීඩියෝව නතරවී ඇති බවත් ඉන් අනතුරුව ඔහු තවදුරටත් අදහස් දක්වා තිබුණේද යන්න සොයා බැලිය යුතු බවත් සඳහන් කළා.

“එතුමා මොකක්ද අදහස් කළේ කියලා මම දන්නේ නැහැ. සම්පූර්ණ කතාව අහන්න ඕනේ. කන බොන කෑල්ල කිව්වට පස්සේ වීඩියෝව කට් කරලා. මම බැලුවා එතනින් එහාට මොකක්ද කියන්නේ කියලා. එතනින් නතර වෙලා තිබුණා. කතාව තවදුරටත් දිගට ගිහින් ඇති. ඒ නිසා සම්පූර්ණ කතාව අහන්න ඕනේ” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

තවද ජාතික ජන බලවේගයේ කිසිදු මහජන නියෝජිතයකු අල්ලස්, දූෂණ හෝ වංචාවලට සම්බන්ධ නොවන බවත් එවැනි පැමිණිල්ලක් කිසියම් පාර්ශ්වයකින් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව විමර්ශනය කර පක්ෂ අභ්‍යන්තරයෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

එමෙන්ම තමන්ට අනුව ජාතික ජන බලවේගයේ කිසිදු නගරාධිපතිවරයකු හෝ සභාපතිවරයකු එවැනි පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස නොකරන බවද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ දේශපාලන බලය ලබාගැනීම සඳහා තමන් ඇතුළු පිරිස විවිධ කැපකිරීම් සිදුකර ඇති බැවින් එම ගමනට පටහැනිව මෙවැනි අපේක්ෂාවන් ඇතිකර ගැනීමේ තේරුමක් නොමැති බවයි.

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණේ පසුගිය නොවැම්බර් 08 වැනිදා මාලබේ, අරංගල ප්‍රදේශයේ පැවැති උත්සවයකදීයි.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ වත්මන් පාලනය යටතේ නගර සභාවලට සහ රාජ්‍ය ආයතනවලට දෙසැම්බර් මාසයේදී පෞද්ගලික ආයතනවලින් සාම්ප්‍රදායිකව ලැබුණු තෑගි පාර්සල් ලැබීම නතරවී ඇති බවට ඇතැම් පාර්ශ්ව තුළ මතයක් පවතින බවයි.

එම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පෞද්ගලික ආයතනවලින් නගර සභා සේවකයන්ට සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සේවකයන්ට දෙසැම්බර් මාසයේදී ඔවුන්ගේ නිෂ්පාදනවලින් යම් කොටසක් තෑගි වශයෙන් ලබාදෙන සිරිතක් පැවතියේ නම් එය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසද ඔහු ඉල්ලා තිබුණා.

“අපි ආවට පස්සේ දෙසැම්බර් මාසයේ තෑගි පාර්සල් එන්නේ නැහැ. දැන් ඉන්නේ කන බොන අය නෙමෙයි කියලා ඇතැමුන් හිතනවා. අපිත් හොඳට කන බොන මිනිස්සු. නගර සභාවට ගියාට පස්සේ කාලා තියෙන දේවල් අපි දන්නවා” යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කර තිබුණා.

එමෙන්ම තමන් ඇතුළු දේශපාලන කණ්ඩායම බලය ලබාගැනීම සඳහා විශාල කැපකිරීම් සිදුකළ බවත් වත්මන් පරපුරේ නගරාධිපතිවරුන්, අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දුක් විඳින අවසන් කණ්ඩායම බවට පත්විය යුතු බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා.

මෙම ප්‍රකාශයත් සමඟ රාජ්‍ය ආයතනවල සේවකයන් සහ මහජන නියෝජිතයන් පෞද්ගලික ආයතනවලින් තෑගි භාරගැනීමේ සුදුසුකම, එමඟින් ඇතිවිය හැකි වාසිදායක සම්බන්ධතා සහ රාජ්‍ය ආයතනවල තීරණ ගැනීමේදී ඇතිවිය හැකි ගැටුම් පිළිබඳවද සමාජයේ කතාබහක් මතුව තිබෙනවා.

මේ අතර නගරාධිපතිවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (10) දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා.

අල්ලස හා දූෂණයට එරෙහි පුරවැසි බලයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස එම පැමිණිල්ල මගින් ඉල්ලා ඇති බවද සඳහන්.

Author

Leave a Reply

Related Posts