“රැස්වීමට ගැරඬියෙක් ඇවිත් – කෝ ඉතින් ජාතික ආරක්ෂාව?” තිස්ස අත්තනායක අසයි!

දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැස්වීම් පැවැත්වුවද අවම වශයෙන් රැස්වීම් භූමියට ඇතුළු වන ගැරඬියෙකු හෝ පාලනය කර ගැනීමට නොහැකි වූ පසුබිමක රටේ ජාතික ආරක්ෂාව තහවුරු වී ඇතැයි කෙසේවත් පැවසිය නොහැකි බව හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ආණ්ඩුව විසින් මෑතකදී බේරුවල සහ බුලත්සිංහල ප්‍රදේශවල ප්‍රධාන ප්‍රචාරක රැස්වීම් දෙකක් සංවිධානය කරනු ලැබු බවත් මේවා ජනතාවට ඉටු කළ පොරොන්දු මතක් කිරීමට හෝ ජනතාවාදී වැඩපිළිවෙළක් ජනගත කිරීමට ගත් උත්සාහයන් නොවන බවයි.

පසුගිය කාලය තුළ ආණ්ඩුවේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් පල්ලම් බහිනු ඇතැයි විවිධ මාධ්‍ය වාර්තා පවා පෙන්වා දී ඇති පසුබිමක මහජනතාව තුළ ඇති වී තිබෙන දැඩි කලකිරීමෙන් හා අඳෝනාවෙන් බේරී යළිත් පැරණි බොරු ජනතාව අතරට ගෙන යාමේ අසීරු උත්සාහයක ජනාධිපතිවරයා නිරතව සිටින බව තිස්ස අත්තනායක මහතා පවසනවා.

රැස්වීම් සංවිධානය කිරීමේදී ක්‍රියාත්මක කළ දැඩි ආරක්ෂක විධිවිධාන නිසා සාමාන්‍ය ජනතාවට සහ විශේෂයෙන්ම ධීවර ප්‍රජාවට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව අත්තනායක මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළා.

බේරුවල රැස්වීම වෙනුවෙන් සුපුරුදු පරිදි මුහුදු යන ධීවරයන්ට තම ධීවර වරායට ඇතුළු වීම පවා තහනම් කරමින් පොලිසිය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණු බව පැවසු ඔහු, දින ගණනල් මුහුදේ මසුන් අල්ලා ආපසු එන ධීවරයන්ට තම නිවෙස් වෙත හෝ වරායට ඇතුළු වීමට නොහැකි අයුරින් වරාය වසා දැමීම හරහා ආණ්ඩුව ජනතාව දැඩි අසීරුතාවකට පත් කර ඇති බවද එහිදි සඳහන් කළා.

කෙසේවෙතත් ඔහු පවසන්නේ, වත්මන් ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු වී ඇති බව ප්‍රකාශ කළද, දෛනිකව වාර්තා වන අපරාධ සහ වෙඩි තැබීම් මගින් එය මුසාවක් බව තහවුරු වන බවයි.

ඒ අනුව දැඩි ආරක්ෂක වළලු මධ්‍යයේ පැවති අදාළ රැස්වීම් භූමිය ඇතුළට ගැරඬියෙකු රිංගා සිදුවූ සිද්ධිය සඳහන් කරමින් තිස්ස අත්තනායක මහතා, “රැස්වීම් භූමිය ඇතුළට ගැරඬියෙක්වත් වළක්වාගන්න බැරි වුණා නම්, කොහෙද මෙතැන ජාතික ආරක්ෂාවක් ?” යනුවෙන් ප්‍රශ්න කර සිටිනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading