පාතාල වෙඩි තැබීම් මරණ 17ක් සහ තුවාල ලැබූවන් 18ක්!

ශ්‍රී ලංකාව තුළ මේ වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ හා පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ යැයි සැක කෙරෙන වෙඩි තැබීමේ සිද්ධීන් 34ක් වාර්තා වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ, මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ප්‍රතිවිරුද්ධ අපරාධ කල්ලි අතර පවතින ගැටුම් මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බව විමර්ශන මගින් අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.

පසුගිය සති අන්තය තුළ බොරලැස්ගමුව සහ කොස්ගොඩ යන ප්‍රදේශවලින් නවතම වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වීමත් සමඟ ආරක්ෂක අංශ මේ වන විට අවධානයක් යොමු කර තිබෙනවා.

සැප්තැම්බර් 4 වැනිදා රාත්‍රියේ බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ පිහිටි නිවසකදී 74 හැවිරිදි අයෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

මූලික පරීක්ෂණවලට අනුව යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් භාවිතා කර මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබුණූ බව පොලිසිය සඳහන් කළා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා ‘කොස් මල්ලි’ නම් සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මුදල් එකතු කරන්නෙකු ලෙස කටයුතු කළ අයෙකුගේ පියා බවත් අපරාධකරුවන්ගේ සැබෑ ඉලක්කය වී ඇත්තේ ඔහුගේ පුත්‍රයා බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබුණා.

මෙම අපරාධය පසුපස ‘දෙහිවල සැන්ඩෝ’ නමැති සංවිධානාත්මක අපරාධකරු සිටින බවට පොලිසිය සැක පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් සැප්තැම්බර් 5 වැනි සෙනසුරාදා මහරගම පොලිසිය විසින් පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙල්යායක අතහැර දමා තිබූ අපරාධයට භාවිතා කළ බවට සැක කෙරෙන යතුරුපැදිය සොයා ගනු ලැබුවා.

මේ අතර ඊයේ අලුයම කොස්ගොඩ පොලිස් වසමෙන්ද වෙඩි තැබීමේ තවත් උත්සාහයක් වාර්තා වුණා.

මියගිය කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස්ගොඩ තාරක’ගේ ඥාතියෙකු මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බව පොලිසිය කියා සිටියා.

නාඳුනන තුවක්කුකරුවෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් අදාළ පුද්ගලයාට වෙඩි තැබීමට උත්සාහ කළද, සැකකරු වෙඩි තැබීමට තැත් කළ අවස්ථා දෙකේදීම ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති බව පොලිසිය සඳහන් කළා.

ඉන් අනතුරුව තුවක්කුකරු එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

මීට පෙර මේ වසරේ ජූලි මස අවසාන වන විට මෙරටින් වෙඩි තැබීමේ සිද්ධීන් 22ක් වාර්තා වී තිබූ අතර, විශේෂයෙන්ම ජූලි 11 සහ ජූලි 25 අතරසැකකටයුතු සති දෙකක කාලය තුළ පමණක් මෙරට විවිධ ප්‍රදේශවලින් වෙඩි තැබීම් 10ක් වාර්තා වී නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා..

විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයන් මෙරට සිටින ප්‍රතිවාදීන් බිය වැද්දීමට සහ බලය පෙන්වීමට ඥාතීන් හෝ ආසන්න පුද්ගලයින් ඉලක්ක කරගනිමින් මෙම කොන්ත්‍රාත් ඝාතන මෙහෙයවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර අනාවරණ කර තිබුණා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading