බුදුදහමයි, අරගලයයි මුසුකළ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ!

“අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ.”

2026 අගෝස්තු 18 වැනිදා රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වූ පුවත සැලවීමෙන් පසු ගායක ජයතිලක බණ්ඩාර සිය සමුගැනීමේ සටහන නිමා කළේ ඒ වචනවලිනි.

ඒ වචන අහම්බයක් නොවේ.

ඒවා සිද්ධාර්ථ හිමියන්ම ලියා, ගුණදාස කපුගේගේ හඬින් අපේ සමාජ මතකයට ඇතුළු කළ ගීයක වචනයි. සිද්ධාර්ත හිමිගේ ගීත අතරින් මෙන්ම බුදුන් අරබයා ගැයෙන ගීත අතරින් මගේ ප්‍රියතම ගීය එයයි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අගෝස්තු 18 වැනිදා අපවත් වූ රඹුකන සිද්ධාර්ථ හිමියන් ඒ වනවිට 76 වැනි වියේ පසුවූහ. අගෝස්තු 19 වැනිදා උන්වහන්සේගේ දේහය උන්වහන්සේ විහාරාධිපතිව වැඩසිටි වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාමයට රැගෙන යාමට නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කර තිබුණි.

නමුත් රඹුකන සිද්ධාර්ථ හිමිගේ නික්මීම ගැන කතා කරන විට “ප්‍රකට බෞද්ධ ගීත රචකයෙක් අපවත් වුණා” කියන වාක්‍යයෙන් ඒ ජීවිතය සාරාංශ කිරීමේ හැකියාවක් කිසිසේත්ම නැත. එහිමියන්ගේ ගීත කලාව ‘බෞද්ධ ගීත‘ කියන ධාරාව තුළ තැබීමත් එතරම්ම සුදුසු නැත.

උන්වහන්සේ ලියූ බෞද්ධ ගීතත් සාම්ප්‍රදායික අර්ථයෙන් “බැති ගී” පමණක් නොවේ.

බුදුන් සහ නිවන වැනි සංකල්ප වගේම යශෝධරා දේවිය සහ දෙව්රම් වෙහෙර වැනි බෞද්ධ සාහිත්‍යය මැදින් එහිමියන් දුටුවේ නූතන සමාජයයි. ඒ සමාජයේ නොයෙකුත් ආකාරවලින් තැලෙමින් පෙලෙමින් ජීවත් වූ මිනිසාව රඹුකන හිමියෝ දුටහ. එතැනින් නොනැවතී මනුස්සත්වය මෙන්ම සාමූහිකව අරගල කිරිම ගැන එහිමියෝ ගී ලිවූහ.

හාමතේ ඉන්න මිනිසා, දාගැබ හදලාත් ඒ දාගැබ අයිති නොවන කම්කරුවා, බණ කියන රටේ ආයුධ අතට දී යුද්ධයට යවන තරුණයා, අම්මා තාත්තා නැතිව දහදිය හෙලා බාල සහෝදරයන් හදාගන්න අක්කා, ප්‍රේමය අතරමග අහිමි කරගත් මිනිසා වැනි බොහෝ අය රඹුකන හිමියන් කතා කර තිබේ.

ඇත්තෙන්ම රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීතයේ සැබෑ විෂය ඒ මිනිසාය. පීඩිත මිනිසාය.

රඹුකනෙන් පැමිණි ආනන්ද ලියනගේ

1950 මැයි 22 වැනිදා මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ආසන්න රඹුකන ගමේ ලියනගේ සයිමන් සහ සෝබනහාමි ලියනගේ යුවළට දාව උපන් ආනන්ද ලියනගේ පවුලේ දරුවන් හත්දෙනාගෙන් වැඩිමලා විය. 1963 ජූලි 22 වැනිදා වැලිව ගංගාතිලක විහාරයේදී “රඹුකන සිද්ධාර්ථ” නමින් පැවිදි වූ ඔහු පසුව ගාල්ලේ හෙට්ඨාචල පිරිවෙන සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන ඇතුළු ආයතනවලින් අධ්‍යාපනය ලැබීය. කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ ගෞරව උපාධියක් ලබාගත් අතර ජනසන්නිවේදනයද අනු විෂයක් ලෙස හැදෑරීය.

මේ අධ්‍යාපන පසුබිම සිද්ධාර්ථ හිමියන්ගේ ගීතය තේරුම් ගැනීමට වැදගත්ය.

එහිමියන්ගේ එක් පාදයක් තිබුණේ පිරිවෙනේ. අනෙක් පාදය තිබුණේ නූතන ජනමාධ්‍ය ලෝකයේය.

උන්වහන්සේ කෙටි කාලයක් සිළුමිණ සහ නවයුගය වැනි ලේක්හවුස් ප්‍රකාශනවල ස්වේච්ඡා පදනමෙන් කටයුතු කර තිබුණි. එහිදී එඩ්මන්ඩ් රණසිංහ, දයාසේන ගුණසිංහ, සෝමවීර සේනානායක, එඩ්වින් ආරියදාස සහ ගාමිණී සුමනසේකර වැනි පුවත්පත් හා බුද්ධිමය ලෝකයේ චරිත ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණු බවද එම සටහන කියයි.

ඒ නිසා සිද්ධාර්ථ හිමියන්ගේ කාව්‍ය භාෂාව හැදුණේ ත්‍රිපිටකය කියවීමෙන් පමණක් නොවේ.

පිරිවෙන්, පත්තර, ගුවන්විදුලි, අරගල කාරයන්, සමාජ ශෝධකයයන්, ගොවියන් සහ කම්කරුවන් යනාදී බොහෝ පිරිස් එහිමියන්ට බලපා ඇත.

සාහිත්‍යමය වශයෙන් මහගම සේකර, ඩෝල්ටන් අල්විස් සහ ඒ පරම්පරාවේ ගී පද රචකයන් තමන්ට බලපෑ බව සිද්ධාර්ථ හිමියන් පිළිබඳ පැරණි සම්මුඛ ලිපිවල සඳහන් වෙයි.

උන්වහන්සේ සේකර තේ බොන හැටිත්, සිගරට්ටුව උරන හැටිත්, ඒ කලාකරුවන් ඇඳ පැළඳ සිටි ආකාරයත් තරුණ වියේ උනන්දුවෙන් බලා සිටි බව පසුකාලීනව සිහිපත් කළ බවටද මතක සටහන් තිබේ. ඒ සේකර වාගේ සිගරැට් බොන්නට නොවේ. සේකරගේ දර්ශනයෙන් ආභාසය ලබන්නටය.

ගුවන්විදුලියෙන් ඇරඹුණු ගමන

රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ පළමු ගුවන්විදුලි සරල ගීතය ලෙස සඳහන් වන්නේ 1976දී දයාරත්න රණතුංග වෙනුවෙන් රචනා කළ “කල්ප කාල ගත වන තුරු” ගීතයයි.

1976 කියන්නේ ලංකාවේ ගීත කර්මාන්තය අද වගේ YouTube, Spotify හෝ streaming platform මත පදනම් වූ කාලයක් නොවේ.

ගීතයකට ජාතික ජීවිතයක් ලැබීමට ප්‍රධාන දොරටුව ගුවන්විදුලියයි.

ගී පද රචකයා, සංගීතඥයා, ශ්‍රේණිගත ගායකයා සහ ගුවන්විදුලි නිෂ්පාදකයා එකට බැඳුණු පද්ධතියක් තුළින් ගීතය ශ්‍රාවකයා වෙත ගියේය.

සිද්ධාර්ථ හිමියන් පළමුවෙන් ඇතුළු වූයේ ගුවන්විදුලි සරල ගී සංගීත මාදිලියටය.

එයින් දශකයකට පමණ පසු කැසට් පටය හරහා විවිධාකාර රෙකෝඩ් ලේබල් ප්‍රචලිත වෙද්දී රඹුකන හිමියන්ද එයට සම්බන්ධ විය.

ඇත්තෙන්ම එහිමියන් කේන්ද්‍ර කරගත් ගීත ඇල්බම් නිර්මාණය කිරීමටත් කටයුතු කෙරිනි.

1986දී සංසාරේ අපි නමින් පළමු ගී සංග්‍රහය ප්‍රකාශයට පත් විය. 1987දී ඒ නමින්ම කැසට් පටය නිකුත් විය. සිංග්ලංකා ලේබලයෙන් එය නිකුත් විය.

පසුව,

ගම්මානේ අපි,
සමනල කන්ද,
සංසාරේ ගී යාතිකා,
බුදු අමා වැස්ස,
සංසාර චාරිකා

වැනි කැසට් සහ සංයුක්ත තැටි පෙළක් රහිමියන්ගේ නමින් බිහිවෙයි. බොහොමයක් සිංග්ලංකා ලේබලයෙනි.

පද රචකයා කේන්ද්‍ර කරගත් ගීත ඇල්බම් එතරම් ප්‍රමාණයක් සිදු කිරීම සියලු රචකයන් ලබන වාසනාවක් නොවේ.

එපමණක් නොව ගුණදාස කපුගේ, වික්ටර් රත්නායක, මාලනී බුලත්සිංහල, ටී.එම්. ජයරත්න, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය, කරුණාරත්න දිවුල්ගනේ සහ තවත් හඬ ගණනාවක් ඔස්සේ එවැනි ගීත එකතු සමාජගත කිරීමත් විශේෂය.

අසූවේ අග

සිද්ධාර්ථ හිමියන්ගේ දේශපාලන වැදගත්කම හොඳින්ම පේන්නේ ගීතයක පද තුළ පමණක් නොවේ.

කලාකරුවන්ගේ ජීවිතවලට උන්වහන්සේ මැදිහත් වූ ආකාරය තුළය.

1990 වසර මෙහිදී තීරණාත්මකයි.

රජරට සේවයේ පාලකයා දක්වා පැමිණ සිටි ගුණදාස කපුගේට 1990 ජනවාරි 29 වැනිදා අනිවාර්ය නිවාඩු ලබා දී ඔහුගේ ගීතද තහනම් කරන ලදී. ජයතිලක බණ්ඩාර ලියා ඇති මතක සටහනක් අනුව ජනවාරි 30 වැනිදා ඔහු, කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ තිදෙනාම වැඩ තහනමකට ලක්වූහ. තවත් පසුකාලීන සටහනක්ද එම ජනවාරි 30 දිනය තිදෙනා සම්බන්ධයෙන්ම සටහන් කරයි.

එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ තිබූ භීෂණකාරී දේශපාලන වාතාවරණය, 1987–89 කැරැල්ල මර්දනයෙන් ඉතිරි වූ තුවාල සහ රාජ්‍ය ගුවන්විදුලියේ දේශපාලන පාලනය මේ සියල්ල ඒ සිද්ධියේ පසුබිමයි.

ජයතිලක බණ්ඩාර කියන ආකාරයට රැකියා අහිමි වූ කපුගේ, දිවුල්ගනේ සහ තමන්ට නවාතැන් සහ සංගීත කටයුතු සඳහා සිද්ධාර්ථ හිමියන් තම කුටිය අසල කාමරයක් ලබාදී තිබුණි. කෑම බීම දී තිබුණි. දරුවන්ගේ වියදම් සඳහා පවා මුදල් ලබාදී තිබුණි.

රාජ්‍ය බලය කලාකරුවාගේ රැකියාව කපන විට, ආගමික ආයතනයේ තමන්ට තිබූ කුඩා අවකාශය විරුද්ධ මතයට ආරක්ෂිත අවකාශයක් බවට පත් කළ භික්ෂුවකගේ කතාවක් රඹුකන සිද්ධාර්ථ හිමියන්ට ඇත්තේ එලෙසය.

“සමනල කන්ද”

ජයතිලක බණ්ඩාර සිය සටහනේ විශේෂයෙන් සඳහන් කරන්නේ සමනල කන්ද කැසට් පටයයි.

තමන් ඇතුළු පීඩාවට පත් ශිල්පීන්ට එහි ගී ගැයීමට සිද්ධාර්ථ හිමියන් අවස්ථාව ලබාදුන් බව ඔහු කියයි. තවත් ගායිකාවක වූ ජානකී සුමිත්‍රා දිසානායකද තමන්ට එම කැසට් පටය සඳහා ගීයක් ගැයීමට සිද්ධාර්ථ හිමියන් අවස්ථාව ලබාදුන් බව වෙනම සම්මුඛ සාකච්ඡාවක සිහිපත් කර තිබේ. එහිමියන් ප්‍රධාන ධාරාවේ පතල වූ ගායක ගායිකාවන් මෙන්ම නවක ගායක ගායිකාවන් සමගද වැඩ කර ඇති අයුරු එලෙසින් පෙනේ.

ඒ නිසා සිද්ධාර්ථ හිමියන් cassette industry එක භාවිත කළේ වෙළෙඳ භාණ්ඩයක් හදන්න විතරක් නොවේ.

කම්පන — ගීයෙන් බණ සහ ගීයෙන් විප්ලවය හමුවන තැන

කපුගේ රජරට හැර කොළඹට පැමිණි පසු රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ මඟපෙන්වීමෙන් කම්පන ප්‍රසංගය නිර්මාණය කිරීමට අවකාශය ලැබුණු බව කපුගේ පිළිබඳ ඉතිහාස සටහන් පැහැදිලිවම කියයි.

පළමු කම්පන ප්‍රසංගය 1990 අගෝස්තු 25 වැනිදා පැවැත්වුණු අතර සුචරිත ගම්ලත්, ඊ.එම්.ඩී. උපාලි, කරුණාරත්න දිවුල්ගනේ සහ ජයතිලක බණ්ඩාර ආදීන් එම නිර්මාණ පරිසරයේ සිටියහ. ජනප්‍රතිචාරය නිසා අගෝස්තු 26 සහ 27 දිනවලද ප්‍රසංග පැවැත්වීමට සිදුවූ බව වාර්තා වේ.

ජයතිලක බණ්ඩාරගේ කියන්නේ කම්පන නිර්මාණයට සහ එය රටපුරා ගෙනයාමට සිද්ධාර්ථ හිමියන් මුදල් පමණක් නොව බුද්ධිමය සහායද ලබාදුන් බවයි.

සිද්ධාර්ථ හිමියන්ගේ නිර්මාණ ජීවිතයේ විස්මිතම තැනක් පේන්නේ මෙතැනදීය.

එක් පැත්තකින් “ගීයෙන් බණ කියන හාමුදුරුවෝ.”

අනෙක් පැත්තෙන් ගුණදාස කපුගේ.

කපුගේගේ ගීතයේ මධ්‍යයේ සිටින්නේ කම්කරුවා, පීඩිතයා, යුද්ධයෙන් හා රාජ්‍ය ප්‍රචණ්ඩත්වයෙන් තැලුණු මිනිසා, පන්තිය සහ සමාජ අසාධාරණයයි.

එක පැත්තකින් ධර්මය. අනෙක් පැත්තෙන් අරගලය.

නමුත් සිද්ධාර්ථ හිමියන්ගේ ලෝකයේ ඒ දෙක විරුද්ධ පාර්ශ්ව දෙකක් වුණේ නැහැ.

කරුණාවෙන් තොර බුදුදහමකට අර්ථයක් නැති නම්, අසාධාරණයට එරෙහිවීමත් කරුණාවේම දේශපාලන ස්වරූපයක් බවට පත්වෙනවා.

ඒ නිසා ගීයෙන් බණ කීම සහ ගීයෙන් සටන් කිරීම එකම වේදිකාවක හමුවෙයි.

සිද්ධාර්ථ හිමියන්ගේ බෞද්ධ ගීතය — භක්තියෙන් මනුෂ්‍ය අත්දැකීමට

රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ බෞද්ධ ගීත හුදු ආගමික උද්දීපනයක් ඇතිකරන බැති ගී ලෙස කියවීම මටත් අසම්පූර්ණය. එහිමියන්ගේ වැදගත්ම කාව්‍යමය ක්‍රියාව වුණේ බෞද්ධ සාහිත්‍යයේ විශාල, දුරස්ථ, පූජනීය රූප එදිනෙදා මිනිස් අත්දැකීමේ ප්‍රමාණයට ගෙන ඒමයි.

“බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති” කියන්නේ ඒකට හොඳම උදාහරණයකි.  දෙව්රම් වෙහෙර කියන්නේ වසර දෙදහස් පන්සියයකට එහා ඉතිහාසයක ආගමික ස්ථානයකි.  

නමුත් සිද්ධාර්ථ හිමියන් එය ඉතිහාස පොතක තබන්නේ නැත. දෙව්රම් වෙහෙර අපි කලින් ගොස් ඇති හුරුපුරුදු තැනක් බවට පත් කරයි.  අපි කලින් දුටු මිනිසෙකු වගේ බුදුන්ව යළි හදුන්වාදීමට කටයුතු කරයි.

“ඒ කාලේ අපිත් එතැන ඉන්න ඇති” කියන තරමට බුදුන්ව අපට සමීප කරවයි.

යශෝධරා සහ “නිවී පහන් විය උදෑසනක් සේ”

කරුණාරත්න දිවුල්ගනේ ගයන “ලා දළු බෝපත්” තුළ සිද්ධාර්ථ හිමියන් කරන්නේ වෙනත් ආකාරයකට බුදුන්ව අපට සමීප කරවීමකි. එහිමියන් යශෝධරාවගේ වේදනාව නූතන පවුලක ගැහැණියකගේ වේදනාවක් හා සමපාතව හදුන්වාදෙයි.

යශෝධරා පුරාවෘත්තීය කාන්තාවක් විදිහට නොව, තමන් ආදරය කළ මිනිසා හැරගිය පසු එය දරාගන්නා කාන්තාවක් විදිහට අපට දැනෙන්නට සලස්වයි. එච්.එම්. ජයවර්ධනගේ සංගීතය සහ දිවුල්ගනේගේ මෘදු, තැන්පත් හඬ ඒ පදවලට පුදුම සංවේදීත්වයක් දෙයි. ගීතයේ අවසානයේ එන “නිවී පහන් විය උදෑසනක් සේ” යන රූපකය අතිශය ප්‍රබල කාව්‍යමය ශක්තියකින් පිරී පවතී.

ගුණදාස කපුගේ ගයන “පිහිටක් නැති සරණක් නැති” ගීය මා කල්පනා කරන හැටියට සිංහලෙන් බිහිව ඇති බුදුන් පිළිබද ප්‍රබලම ගීයයි. මෙහි ශ්‍රද්ධාව යනු අහිමිවීමකි, කාංසාවකි.

මේ ගීය ලියැවුණේ 1989 කාලයේය. භීෂණය, මිනීමැරුම්, ජනවාර්ගික යුද්ධ මෙන්ම සදාචාර කඩාවැටීම් දරුණුවට දක්නට ලැබුණු කාලයකි. තෙරුවන් සරණ ගිය සැබෑ බෞද්ධයෙකුට කෙතරම් අසරණකමක් දැනෙන්නට ඕනෑද? කෙතරම් සරණක් නැති බවක් දැනෙන්න ඕනෑ කාලයක්ද?

වංගීස සුමනසේකර මේ ගීතය ගැන ලියූ සටහනක පෙන්වා දෙන්නේ බෞද්ධ විමුක්තියේ අති විශාලත්වය හමුවේ ඇති වන සාංදෘෂ්ටික චකිතයක් ලෙස මෙය හදුන්වා තිබේ.

වංගීසගේ කියවාගැනීමට සීයට සීයක් මා එකග නොවුණත්, මට අනුව මේක විශ්වාසය ඇතුළේ සිට විශ්වාසයේ අසීරුම ප්‍රශ්නය අහන ගීයකි. අසීරුම සමයක භක්තිය තියාගන්නේ කෙලෙසද?

භක්තිය නොමැති ගීයක් වෙනුවට එය භක්තියෙන් පිරි ගීයක් ලෙස මට හැගෙයි. තවදුරටත් බුදුන්ව විශ්වාස කළ හැකිද? සැකයත්, බියත්, අසරණකමත් ඇතුළු කළ පසු ආගමික කලාවකට මනුෂ්‍යත්වය එකතු වෙයි. මෙවැනි කලාකෘති බටහිර නිතර දකින්නට ලැබුණත්, මෙරට බොහෝ බෞද්ධ සාහිත්‍යමය කෘතිවල ඇත්තේ රටේ ජනතාවගේ පීඩාව, ප්‍රශ්න අමතක කොට ශ්‍රද්ධාව රචනා කිරිමකි.

රඹුක්කන හිමියන් කෙළින්ම ශ්‍රද්ධාව සමාජය එක්ක බද්ධ කිරීමට පෙර කී ගීයෙන් සමත් විය.

සිද්ධාර්ථ හිමියන් බෞද්ධකම ලෙස ව්‍යාජ ලෙස පවත්වාගෙන යන වත් පිළිවෙත් ප්‍රශ්න කරයි.

“බුදු බණ කිව්වත් නිරන්තරේ” කියන ගීයේ විමසන සරල පැනය වන්නේ ‘බුදු බණ කිව්වත් නිරන්තරේ, බුදු බණ ඇසුවත් නිරන්තරේ- ගති ගුණ අතින් අපි තවමාත් වනන්තරේ‘ යන්නයි. බණ ඇසුවත්, බණ කිව්වත් මනුස්සයා වෙනස් වී නැත්නම් කුමකටද? ඒ ආගමික පැවැත්ම එසේ නම් ව්‍යාජයක් නේද?

එහෙනම් බණ අහන එකම බෞද්ධකමක්ද? යන්න හාමුදුරුවන් ප්‍රශ්න කරයි.

වෙසක් තොරන්, දන්සැල් සහ වෙස්සන්තර–සිරිසඟබෝ වැනි පුරාණ පරිත්‍යාගී රජවරුන්ගේ රූප යොදා සිද්ධාර්ථ හිමියන් කරන තවත් විවේචනයත් මේකයි.

ඇත්තටම බෞද්ධකම තුළ තිබෙන අපෙන් දුරස් වූ සහ අපට අත්පත් කරගන්න අමාරු හැගීම් වෙනුවට අප තුළම තිබෙන, අප තුළම වර්ධනය කරගන්න පුලුවන් ගති ලක්ෂණවලට සිද්ධාර්ථ හිමි අවධානය යොමු කර ඇත.

වෙසක් ලබනවා තොරන් බඳිනවා තැන තැන දන්සල් ඉදිවෙනවා…..

වෙස්සන්තර රජු සිරිසඟබෝ රජු ආයෙත් සිරිලක රජ වෙනවා….

යැයි එහිමියන් ලියා ඇත්තේ ඒ නිසාය. එහිමියන් කියන්නේ මේ වෙස්සන්තරලා සහ සිරිසගබෝලා රජ පුටුවෙන් වෙසක් ඉවරවෙද්දී බැස යන බවය. ඒ කියන්නේ මිනිස්සුන්ට දන් දීම පෝයට මතක් වුණාට එයින් පසු අමතක වෙන බවය. සංදර්ශනාත්මක බෞද්ධ පැවතුම් එහිමියන්ගේ ප්‍රශ්න කිරීමට ලක් වන්නේ එලෙසය.

සිද්ධාර්ථ හිමියන්ගේ සමාජ දේශපාලනික බොදු ගී අතර මටත් අතිවිශිෂ්ට නිර්මාණයක් වන්නේ “පන්සලේ පල්ලියේ” ය.

එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී ගයන මේ ගීයේ පද සිද්ධාර්ථ හිමියන්ගේය; තනුව ගුණදාස කපුගේගේය.

අප සාමාන්‍යයෙන් දාගැබක් දකින්නේ රජුගේ නමින්ය. මෙම ගීතය ආරම්භ වන්නේ කම්කරු තේමාවක් රැගත් සංගීත ඛණ්ඩයකිනි. “සාදුකින් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියව්” යන ගීතයේ රිද්මය වදන් නොමැතිව වුවද පසුබිම් සංගීතයක් ලෙස ගීතය පුරා රැව්දෙයි. අනතුරුව පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ විචිත්‍රවත් පද රචනය අපට ශ්‍රවණය වේ. මෙම දැවැන්ත දාගැබ් නිර්මාණය වූයේ කම්කරුවන්ගේ ශ්‍රම ශක්තියෙන් බවත්, අප වන්දනාමාන කරන්නේ එම ශ්‍රමිකයන්ගේ අප්‍රතිහත ධෛර්යයට බවත් ඉන් කියැවේ. එහිදී සමාජ සාධාරණත්වය සහ කම්කරු අයිතිවාසිකම්, බෞද්ධ සංකල්ප සමඟ අතිශය මනරම් ලෙස බද්ධ කොට ඇත.

යුද්ධය සහ බෞද්ධ දර්ශනය රෝහණ වීරසිංහයන්ගේ සංගීත නිර්මාණයක් වන “බණ කියන රටක්” ගීතය ද එවැනිම විශිෂ්ට නිර්මාණයකි. බෞද්ධ දර්ශනය සහ යුද්ධය අතර පවතින පරස්පරතාව එයින් මනාව නිරූපණය වේ.

“පිං පුරන හිතක් – පව් නොදුටු අතක් යුධ බිමට ගියේ කෙලෙසා”

“සාමයට මගක් – යුද බිමට මලක් ගෙනියන්න කෙනෙක් නැතිදා”

මෙම පද මාලාව යුද්ධය උත්කර්ෂයට නැංවූ සමාජයකට එරෙහිව නැගුණු ප්‍රබල මතවාදයක් වූ අතර, එහි ගැබ්ව ඇති සත්‍යය අප දීර්ඝ කාලයක් මුළුල්ලේ අත්දුටු යථාර්ථයයි. පීඩිත ජනතාව යුධ සෙබලා බවට හැරවීම සදහා බෞද්ධකම අවභාවිත කළ කාලයක සිද්ධාර්ථ හිමියන්ට තිබුණු ප්‍රශ්නය වුණේ මේ තරම් බණ කියන රටක් යුධ බිමක් වුණේ කෙලෙසද යන්නයි.

කම්කරු පන්ති විඥානය කම්කරු ජනතාව පිළිබඳව කතා කිරීමේදී ප්‍රේමසිරි කේමදාස සංගීතයට ටී. එම්. ජයරත්න ගායනා කරන “අව්වට වැස්සට හුරු මිනිසුන්නේ” ගීතය අද්විතීය නිර්මාණයකි. කේමදාස යනු නිරන්තරයෙන්ම කම්කරු පන්ති විඥානය සමඟ බැඳුණු සංගීතවේදියෙකි. ටී. එම්. ජයරත්නගේ හඬ ඊට මුසුවීමෙන්, එය කම්කරුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬනගන ප්‍රබල හඬක් බවට පත්විය. බැලූ බැල්මට විප්ලවීය ස්වරූපයක් නොපෙන්වූවද, ඉතා සියුම් සහ කලාත්මක ලෙස පන්ති සවිඥානිකත්වය මෙම ගීතය තුළ ගැබ්ව ඇත.

ප්‍රේමය සහ මානව දයාව පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ප්‍රේම ගීත බහුතරයක් හුදු ශෘංගාරය මත පමණක් පදනම් වූ ඒවා නොවේ. බුදුදහම තුළින් මෙන්ම ප්‍රේමය තුළින් ද උන්වහන්සේ පොදු මනුෂ්‍යත්වය පිළිබඳ කතිකාවක් ගොඩනැගීමට උත්සාහ කරති. එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී ගායනා කරන “මේ ප්‍රේම කතා නවතා” ගීතය ද ප්‍රේමය සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ගැඹුරු කියවීමකි:

“මේ ප්‍රේම කතා නවතා මොහොතක්‌ අපි අවට බලමු ඇස්‌ ඇරලා.. නැති බැරිකම්‌ හතර අතේ.. පාවෙනවා සුළඟ වගේ”

එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන “මේ ඉර හඳ යට” ගීතය ද ඒ හා සමානවම මනුෂ්‍යත්වය සහ මානව සබඳතා පිරිහීම පිළිබඳ සාකච්ඡා කරන අනගි නිර්මාණයකි.

“මේ ඉර හඳ යට හමු වී ආදරයෙන් කථා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ…”

මෙය හුදු පෞද්ගලික විරහවකින් ඔබ්බට ගිය, පොදු සමාජ අත්දැකීමක් නිරූපණය කරයි. එය යළිත් සාමූහිකත්වය පිළිබඳ මතක් කිරීමක් කරන බැවින් එහි යම් විප්ලවීය ස්වරූපයක් ද පවතී. පීඩිත පන්තියට එකට එක්වන්නැයි යෝජනා කරන හිමිනමක ලෙස, සිද්ධාර්ථ හිමියන් නිරන්තරයෙන්ම සමාජ සාමූහිකත්වයේ අගය පෙන්වා දී ඇත.

සහෝදර ප්‍රේමයේ අසිරිය එදිනෙදා මනුෂ්‍ය අත්දැකීම් ස්පර්ශ කරන අනෙක් අපූරු ගීතය වන්නේ “අක්කණ්ඩියේ” නමැති ගීතයයි. ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ, මව්පියන් නොමැති පසුබිමක සිය බාල සහෝදරියන් හදා වඩා ගන්නා වැඩිමහල් සොහොයුරියකගේ අසීමිත සෙනෙහස එමඟින් අතිශය සංවේදී ලෙසත්, යථාර්ථවාදී ලෙසත් නිරූපණය කර ඇත.

සිද්ධාර්ථ හිමියන්ගේ අවසන් කටයුතු කෙරෙන මොහොතේ. එහිමියන්ගේ ගී පද රචනා අතරින් බොහෝ දෙනෙකු පාවිච්චි කරන්නේ ‘අපි අසරණ වෙලා වගේ යන කොටසය. ජයතිලක බණ්ඩාර ලිවේද ඒ කොටසය.

සිද්ධාර්ථ හිමියන් කීවේ ‘මම අසරණ වෙලා‘ කියා නොවේ. එහිමියන් කීවේ ‘අපි‘ අසරණ වෙලා යනුවෙනි. තනි පුද්ගලභාවය වෙනුවට සාමූහිකත්වය සමග නිරන්තරයෙන් බෞද්ධ සංකල්ප ගැටගැසීමට එහිමියන් පෙළඹුණි. කෙසේ වෙතත් මා එහිමියන්ගෙන් සමුගන්නා සටහන අවසන් කරන්නේ එහිමියන්ගේ වෙනත් පද හතරකිනි.

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ

දෑතේ විරියෙනි රටවල් නැගුනේ

ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්

මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ!

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading