වෝල්ටර් වයිට් ජූනියර්ට පණ පෙවූ ආර්.ජේ. මයිට් අභාවප්‍රාප්ත වෙයි!

‘බ්‍රේකිං බෑඩ්’ (Breaking Bad) කතාමාලාවෙන් අතිශය ජනප්‍රිය වූ නළු RJ Mitte වයස අවුරුදු 34 දී අභාවප්‍රාප්ත වෙයි

එම කතා මාලාවේ වෝල්ටර් වයිට් ජූනියර් (Walter White Jr) ගේ චරිතයට පණ පෙවූ, මෙන්ම ආබාධිත පුද්ගලයින්ගේ නියෝජනය වෙනුවෙන් පෙනී සිටි ඔහුගේ මරණයෙන් පසු බ්‍රයන් ක්‍රැන්ස්ටන් (Bryan Cranston) විසින් ඔහුව සිහිපත් කරනු ලැබුවේ ‘මගේ ආදරණීය පුතා’ ලෙසිනි.

Breaking Bad නළු RJ Mitte සිය වයස අවුරුදු 34 දී සඳුදා (12) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ නියෝජිතයින් විසින් තහවුරු කර තිබේ.

ඔහු ටෙක්සාස් ප්‍රාන්තයේ බ්‍රවුන්ස්විල් (Brownsville) හිදී මියගොස් ඇති අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැත.

“ආදරණීය රංගන ශිල්පියෙකු, පරිත්‍යාගශීලියෙකු මෙන්ම ආබාධිත අයිතිවාසිකම් වෙනුවෙන් දැඩිව පෙනී සිටි RJ Mitte ගේ ඛේදනීය අභාවය පිළිබඳව අපි දැඩි ශෝකයෙන් යුතුව දැනුම් දෙමු,” යනුවෙන් ඔහුගේ නියෝජිතයින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළහ. “සෙරෙබ්‍රල් පාල්සි (cerebral palsy) තත්ත්වය සමඟ ජීවත් වීමේ ඔහුගේම අත්දැකීම් තුළින්, ඔහු සිය රංගන චරිතයට සැබෑ ජීවයක් ලබා දුන් අතර ආබාධිතභාවය පිළිබඳ දැනුවත් කිරීම සඳහා විශාල වේදිකාවක් ගොඩනැගීය.”

බ්‍රවුන්ස්විල් පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ මරණය සම්බන්ධයෙන් කිසිදු අපරාධමය සැකයක් නොමැති බවත්, ඒ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක බවත්ය. මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව කැමරන් ප්‍රාන්තයේ සාම විනිසුරු සින්ඩි හිනෝජෝසා (Cyndi Hinojosa) ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවයට පවසා ඇත.

කාලීන රූපවාහිනී ඉතිහාසයේ හොඳම වැඩසටහනක් ලෙස නිරන්තරයෙන් ඇගයීමට ලක්වන AMC නාලිකාවේ ‘Breaking Bad’ කතාමාලාවේ කථාංග 56ක් සඳහා, වයස අවුරුදු 15 සිට ඔහු වෝල්ටර් වයිට් ජූනියර්ගේ චරිතයට පණ පෙවීය.

ඔහුගේ බ්‍රේකිං බෑඩ් චරිතය සේම, සැබෑ ජීවිතයේදීත් Mitte සෙරෙබ්‍රල් පාල්සි තත්ත්වයෙන් පෙළුණි. ආබාධිත චරිත රඟපාන ආබාධිත නළුවෙකු වීම පිළිබඳව 2015 දී ඔහු ‘ද ගාඩියන්’ පුවත්පතට අදහස් දක්වමින් මෙසේ පැවසීය:

“ඔබ අවදානම් භාර ගන්නවා වගේම ඔබට ලැබෙන්නේ මෙවැනි චරිත බවත් ඔබ පිළිගන්නවා. නමුත් වැදගත් වෙන්නේ ඔබ ඒ චරිත කොතරම් සාර්ථකව නිරූපණය කරනවාද යන්නයි – මිනිසුන් තුළ ඇති අභ්‍යන්තර ශක්තිය ඔබ පෙන්විය යුතුයි.”

ඔහුගේ මරණය පිළිබඳ පුවත සැලවීමත් සමඟම, Bryan Cranston ඇතුළු සම-නළු නිළියන් ඔහුට උපහාර දැක්වූහ. ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දීර්ඝ සටහනක් තබමින් ක්‍රැන්ස්ටන් මෙසේ පැවසීය:

“අද රාත්‍රියේ මේ සටහන තබන විට මම දැඩි කම්පනයකින් පසුවෙනවා. බ්‍රේකිං බෑඩ් හි මගේ ආදරණීය පුතා වන RJ Mitte මිය ගොස්. මට ඔහුව මුණගැසෙන විට ඔහුගේ වයස අවුරුදු 14 යි… සෙරෙබ්‍රල් පාල්සි තත්ත්වය සමඟ ඉපදුණත්, ඔහු කිසි විටෙකත් සිය අභියෝගය කිසිවකට නිදහසට කරුණක් කර ගත්තේ නැහැ. ඔහු අපහසු රූගත කිරීම් කාලසටහන්වලට දැඩි අධිෂ්ඨානයෙන් මුහුණ දුන්නා… ඔහුගේ ඒ සියලු හැකියාවන් සහ විභවයන් අහිමි වීම විශාල පාඩුවක්… මට ඔබව ගොඩක් දැනේවි පුතේ.”

ජෙසී පිංක්මන් (Jesse Pinkman) ගේ චරිතය නිරූපණය කළ ආරොන් පෝල් (Aaron Paul) සිය ප්‍රකාශයේ මෙසේ සඳහන් කළේය: “මට කරකියාගත හැකි දෙයක් නැහැ. මේ ආරංචියෙන් මගේ හදවත කැඩී ගියා. RJ, මම ඔබට ආදරෙයි මගේ මිතුර. අපිට ඔබව ගොඩක් අඩුවක් වේවි.”

වෝල්ට් ජූනියර්ගේ මාමා වන හැන්ක් ශ්‍රේඩර්ගේ (Hank Schrader) චරිතය නිරූපණය කළ ඩීන් නොරිස් (Dean Norris) සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ සටහන් කළේය: “RJ මගේ රූපවාහිනී පුතා නොවුණත්, රූගත කිරීම් අතරතුර මම නිතරම ඒ ළමයා ගැන සොයා බැලුවා. ඔහු ඉතාම කාරුණික තරුණයෙක්, ඒ වගේම අපිට ඔහුව ගොඩක් දැනේවි. මේක හදවත කම්පා කරවන පුවතක්, මට විශ්වාස කරන්නත් බැහැ. මාගේ සංවේගය ඔහුට සහ ඔහුගේ පවුලේ අයට එක් කරනවා.”

(ගාඩියන් වෙතින් උපුටා ගත්තකි.)

Author

Related Posts