ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් දැනට යෝජිත කර්තෘ භාග ගාස්තු ක්‍රමවේදය යළි සමාලෝචනය කිරීමට තීරණය කර ඇත.
පසුගිය සති කිහිපය පුරා විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද අදහස්, යෝජනා සහ චෝදනා සාවධානව සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව ACPOSL ආයතනය ඊයේ (12) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම සමාලෝචන ක්‍රියාවලිය හේතුවෙන්, 2026 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ACPOSL වාර්ෂික මහා සභා රැස්වීම (AGM) දක්වා සියලුම බලපත්‍ර කරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. කෙසේ වෙතත්, මෙම තාවකාලික අත්හිටුවීම මගින් ACPOSL සතු අයිතිවාසිකම්, නෛතික ප්‍රතිකර්ම හෝ නෛතික ස්ථාවරත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන බව ද එම ආයතනය අවධාරණය කරයි.
මෑත කාලයේ සිදු වූ සිදුවීම් සහ මාධ්‍ය හමු අතරතුර සිදු වූ ප්‍රකාශයන් හේතුවෙන් යම් පාර්ශ්වයකට හෝ ජනතාවට අපහසුතාවක් හෝ සිත් රිදවීමක් සිදු වූයේ නම් ඒ පිළිබඳව සිය කනගාටුව සහ කණස්සල්ල පළ කරන බව ACPOSL නිවේදනය කරයි.
සංගීත නිර්මාණකරුවන් සහ ප්‍රකාශකයන් උදෙසා සාධාරණ, විනිවිදභාවයෙන් යුත් සහ තිරසර පද්ධතියක් ගොඩනැගීම තම මුලපිරීමේ එකම අභිප්‍රාය වූ බවත්, එම කැපවීම ඉදිරියටත් වෙනස් නොවන බවත් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
වත්මන් ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වකරුවන් සමඟ විධිමත් සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට ACPOSL ආයතනය සූදානම් වේ. එම සාකච්ඡාවලින් අනතුරුව සකස් කෙරෙන සංශෝධිත ගාස්තු රාමුව එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමේදී සාමාජික අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර, අවශ්‍ය අනුමැතීන් සහ නෛතික ක්‍රියාපටිපාටීන් සම්පූර්ණ කිරීමෙන් පසුව එය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට ද කටයුතු යොදනු ඇත. අන්‍යෝන්‍ය සංවාදය සහ විනිවිදභාවය තුළින් විශ්වාසය යළි ගොඩනැගිය හැකි බව විශ්වාස කරන ACPOSL ආයතනය, නිර්මාණකරුවන්, උත්සව සංවිධායකයන්, පරිශ්‍ර හිමිකරුවන් ඇතුළු සමස්ත ක්ෂේත්‍රයේම සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව පවසා තිබේ.


