බාල ඖෂධ මිළදී ගැනීමේ නඩුවට (SC/FR/65/2023) අදාළව 2026 මාර්තු 27 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ සඳහන් නියෝගවලට අනුකූල වීමට අපොහොසත් වීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු සභාපතිවරයා සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂවරයාට එරෙහිව, අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් (SC/Contempt/09/2026) ආරම්භ කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
මෙම අධිකරණයට අපහාස කිරීමේ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට ගෙවන ලෙස නියෝග කළ මුදල් ගෙවීමට එකී වගඋත්තරකරුවන් පස්දෙනා අපොහොසත් වීම හේතුවෙනි. SC/FR/65/2023 නඩුවේ තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75 ක මුදලක් රජයට ගෙවන ලෙස නියෝග කළ අතර, අනෙක් වගඋත්තරකරුවන් හතරදෙනාට එක් අයෙකුට රුපියල් මිලියන 50 බැගින් රජයට ගෙවන ලෙස නියෝග කරන ලදී.
අදාළ ක්‍රියාපටිපාටීන් මඟහැර හදිසි පදනමක් මත මෙලෙස ඖෂධ මිළදී ගැනීමේ අවශ්‍යතාවයක් තිබූ බව තහවුරු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත්, පෞද්ගලික සැපයුම්කරුගෙන් මෙම මිළදී ගැනීම් සිදුකිරීමට පහසුකම් සැලසීමේදී අදාළ වගඋත්තරකරුවන් දැනුවත්වම ප්‍රසම්පාදන සම්මතයන් උල්ලංඝනය කර ඇති බවත් අධිකරණ තීන්දුවේ සඳහන් විය. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති නීතියේ සමාන ආරක්ෂාව ලැබීමේ මූලික අයිතිවාසිකම වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බව අධිකරණය විසින් තීන්දු කරන ලදී.
අධිකරණ තීන්දුවෙන් පසුව, අදාළ ගෙවීම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය වගඋත්තරකරුවන් විසින් ඉටු කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තහවුරු කර ගැනීමෙන් අනතුරුව, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව යටතේ TISL ආයතනය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියමිත කාලයක් ලබා දී නොමැති පසුබිමක, එකී ගෙවීම් වහාම සිදු කළ යුතුව තිබූ බව TISL ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයට කළ සිය පෙත්සම මගින් පෙන්වා දෙයි. එබැවින් මෙම ගෙවීම් නොකර සිටීම අධිකරණ තීන්දුව සචේතනිකව නොතකා හැරීමක් බව බව TISL ආයතනය සැල කර සිටී.
මෙම වගඋත්තරකරුවන් පස්දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිශ්චිත නියෝග පිළිපැදීමට අපොහොසත් වීම, නොසලකා හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව පෙත්සම මගින් චෝදනා කර සිටියි. එමෙන්ම, මෙම දිගින් දිගටම සිදුවන නියෝග නොසලකා හැරීම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලධාරීත්වය අගෞරවයට හෝ නොතැකීමකට ලක් කර ඇති බවටද වැඩිදුරටත් චෝදනා කෙරේ.
එබැවින් මෙම අදාළ හැසිරීම පිළිබඳව අවධානය යොමු කර නීත්‍යානුකූලව සුදුසු පියවර ගන්නා ලෙස TISL ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කිරීම නීතියේ ආධිපත්‍යයට සහ ව්‍යවස්ථාපිත වගවීමට මූලික වන බව TISL ආයතනය විශ්වාස කරයි. රටේ උත්තරීතර අධිකරණය විසින් ලබා දෙන තීන්දුවක් ක්‍රියාත්මක කළ යුතු අතර, රජය වෙත මුදල් ගෙවීමට කරන ලද නියෝග නීත්‍යානුකූල සාධාරණීකරණයකින් තොරව මග හැරීමට නොහැකි බව TISL ආයතනය පෙන්වා දේ.
