එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා කෙටුම්පත් කර අවසන් බවත්, ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඔහුට එරෙහිව නඩු පැවරීමට අපේක්ෂා කරන බවත් නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අද (ඔක්තෝබර් 13) අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ සඳහා අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන අනුව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් අද හෝ හෙට දිනයේ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ අනුව නුදුරේදීම අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවත් නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
මෙම කරුණු අනුව නාමල් රාජපක්ෂ මහතා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන අවසන් දිනය අද විය හැකි බවද ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ප්රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් තර්ක කළේ, මෙම නඩුවට අදාළ නීතිමය විධිවිධාන අනුව නඩු විභාගය අවසන් වන තෙක් සැකකරු බන්ධනාගාරගත කර තැබීමට ප්රතිපාදන පවතින බැවින්, විමර්ශන අවසන් වී තිබීම පමණක් පදනම් කරගෙන ඇප ලබාදිය නොහැකි බවය.
මව සහ පියා රෝහලේ බව කියමින් ඇප ඉල්ලයි
මේ අතර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්රකාශ කළේ, ඔහුගේ මව සහ පියා දෙදෙනාම මේ වන විට රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටින බවය.
ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබන අතර, මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
සැකකරුගේ මව සහ පියා දෙදෙනාම එකවර රෝහල්ගතව සිටීම ඇප ලබාදීමට අදාළ සුවිශේෂී කරුණක් ලෙස සලකන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඊට අමතරව, නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් වී තිබීමද ඇප ලබාදීමේදී සුවිශේෂී කරුණක් ලෙස සැලකිල්ලට ගන්නා ලෙස විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටියහ.
විමර්ශන අවසන් වීම සුවිශේෂී කරුණක් නොවේ – මහේස්ත්රාත්
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා පෙන්වා දුන්නේ, විමර්ශන අවසන් වී තිබීම සුවිශේෂී කරුණක් ලෙස සලකා වෙනත් නඩුවලදී ඇප ලබාදී ඇති නමුත්, එම නඩු සහ මෙම නඩුව අතර පැහැදිලි වෙනසක් පවතින බවය.
වෙනත් නඩුවකදී විමර්ශන අවසන් වී තිබීම සුවිශේෂී කරුණක් ලෙස සලකා තිබුණේ, එම විමර්ශන සඳහා දීර්ඝ කාලයක් ගතවීම සැලකිල්ලට ගනිමින් බව මහේස්ත්රාත්වරයා පැහැදිලි කළේය.
එහෙත් මෙම නඩුවේදී පැමිණිල්ල ඉතා කඩිනමින් විමර්ශන අවසන් කර ඇති අතර, අධිචෝදනා සකස් කිරීමේ කටයුතුද මේ වන විට අවසන් කර තිබීම හේතුවෙන් එය වෙනස් තත්ත්වයක් බව මහේස්ත්රාත්වරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, මෙම නඩුවේදී විමර්ශන අවසන් වී තිබීම ඇප ලබාදීමට ප්රමාණවත් සුවිශේෂී කරුණක් ලෙස පිළිගත නොහැකි බව මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ප්රකාශ කළේය.
මව්පියන්ගේ රෝගී තත්ත්වය තහවුරු කිරීමට වෛද්ය වාර්තා නැහැ
නාමල් රාජපක්ෂ මහතාගේ මවගේ සහ පියාගේ රෝගී තත්ත්වයන් ඇප ලබාදීමට අදාළ සුවිශේෂී කරුණු ලෙස සලකන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන්ද මහේස්ත්රාත්වරයා විශේෂයෙන් කරුණු පැහැදිලි කළේය.
මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය රෝගාතුරව සිටින බවට විත්තියේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කළද, ඔවුන්ගේ සෞඛ්ය තත්ත්වයන් තහවුරු කරන කිසිදු වෛද්ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව මහේස්ත්රාත්වරයා සඳහන් කළේය.
මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදීද නාමල් රාජපක්ෂ මහතාගේ මවගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණද, එම අවස්ථාවේදීත් අදාළ රෝගී තත්ත්වය වෛද්ය සාක්ෂි මගින් තහවුරු කර නොතිබූ බව මහේස්ත්රාත්වරයා සිහිපත් කළේය.
නාමල් රාජපක්ෂ මහතාගේ මව සහ පියා රෝගාතුරව සිටින බවට පළ වූ මාධ්ය වාර්තා තමන්ද දැක ඇති බව මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේය.
එසේ වුවද, මාධ්ය වාර්තා පළ වී තිබීම පමණක් මත රෝගී තත්ත්වයක් නෛතික වශයෙන් තහවුරු වූ බවට නිගමනය කළ නොහැකි බවත්, ඒ සඳහා අදාළ වෛද්ය වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත්රාත්වරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව මවගේ සහ පියාගේ අසනීප තත්ත්වයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණුද, වෛද්ය සාක්ෂි නොමැති පසුබිමක ඇප ලබාදීමට ප්රමාණවත් සුවිශේෂී කරුණු ලෙස පිළිගත නොහැකි බව මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේය.
අධිචෝදනා කඩිනමින් ගොනු කරන්නැයි උපදෙස්
මේ අතර එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සකස් කර ඇති අධිචෝදනා කඩිනමින් ගොනු කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්රාත්වරයා පැමිණිලි පාර්ශ්වයට උපදෙස් ලබා දුන්නේය.
සැකකරුවකුට ඇප ඉල්ලා සිටීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කළ මහේස්ත්රාත්වරයා, මහේස්ත්රාත් අධිකරණයේදී හෝ ඉදිරියේදී නඩුව විභාග කිරීමට නියමිත ත්රිපුද්ගල මහාධිකරණය හමුවේදී හෝ ඇප ඉල්ලීමට අවස්ථාවක් නොලැබෙන තත්ත්වයක් ඇතිවීම සුදුසු නොවන බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව, විමර්ශන අවසන් කර ඇති මෙම නඩුවේ අධිචෝදනා ගොනු කිරීම තවදුරටත් ප්රමාද නොකළ යුතු බව මහේස්ත්රාත්වරයාගේ අවධානයට ලක්විය.
නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව, අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අධිචෝදනා යටතේ නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩු කටයුතු මහේස්ත්රාත් අධිකරණයෙන් ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවට ගෙනයාමට පැමිණිල්ල සූදානම් වෙමින් සිටී.
මේ අතර අද දිනයේදී මේ නඩුවේ පස්වැනි සැකකරු ලෙස බිස් සොලියුෂන් සමාගමද නම් කරන බව දැනුම් දෙන ලදී.
