2021දී පර්යන්තයේ මෙහෙයුම් සමාගමක කොටස් 49%ක් විදේශීය ආයෝජකයන්ට ලබාදීමට දැඩි විරෝධය පළ කළ ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ නායකයා, ජනාධිපතිවරයා ලෙස රාජ්‍ය අයිතිය රඳවාගෙන මෙහෙයුම් සඳහා පෞද්ගලික ආයෝජකයන් කැඳවන බව කියා තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ අයිතිය රජය සතුව තබාගනිමින්, එහි කළමනාකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයකු සම්බන්ධ කරගැනීමේ සැලැස්මක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 ඔක්තෝබර් 12 වැනිදා අනාවරණය කළේය.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේදී, වාණිජ මණ්ඩලයේ උප සභාපති බිඟුමාල් තේවරතන්ත්‍රි මහතා සමඟ පැවති විශේෂ සංවාදයකදී ජනාධිපතිවරයා මෙම කරුණු ඉදිරිපත් කර තිබේ.
ජනාධිපතිවරයාට අනුව නැගෙනහිර පර්යන්තය මේ වනවිට හසුරුවන බහාලුම් ප්‍රමාණය වාර්ෂිකව අඩි විස්සේ බහාලුම් සමක ඒකක ලක්ෂ පහක් පමණ වන අතර, පර්යන්තය සම්පූර්ණයෙන් සංවර්ධනය කර උපරිම කාර්යක්ෂමතාවයෙන් මෙහෙයවුවහොත් එය මිලියන 3.2ක් දක්වා ඉහළ නැංවිය හැකිය.
ජාත්‍යන්තර නාවික සමාගම් පහක් හෝ හයක් පමණ මෙම ව්‍යාපෘතිය සඳහා උනන්දුව පළකර ඇති බවද වාර්තා වේ. එහෙත් තෝරාගත් පෞද්ගලික ආයෝජකයකු, කොටස් බෙදීයන ආකාරය හෝ අවසන් ගිවිසුම් කොන්දේසි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.
ජනාධිපතිවරයාගේ මෙම අනාවරණය විශේෂ දේශපාලන වැදගත්කමක් උසුලන්නේ, මීට වසර පහකට පෙර නැගෙනහිර පර්යන්තය පෞද්ගලික ආයෝජන සහිත ඒකාබද්ධ මෙහෙයුමකට පැවරීමට එරෙහිව ඔහුගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි විරෝධතා ව්‍යාපාරයක් මෙහෙයවා තිබීම හේතුවෙනි.
එහෙනම් නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව අනුර පාරට බැස්සේ ඇයි?
2021 ජනවාරි 12 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට පැවරීමට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක් පැවැත්වීය.
එම විරෝධතාවට අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, කේ.ඩී. ලාල්කාන්ත සහ තිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයෝ සහභාගි වූහ.
විරෝධතාව අමතමින් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ රට පාලනය කරන පිරිස් ජාතික සම්පත් විකුණන තැරැව්කරුවන් බවයි.
“මේ රටේ අද ජීවත් වන ජනතාවටත්, තවමත් උපත නොලැබූ පරම්පරාවන්ටත් අයත් සම්පත් ආරක්ෂා කිරීමටයි අප මෙතැනට එක්ව සිටින්නේ.” කියා එදා ඔහු කීය.
එදා ලාල්කාන්ත ඉල්ලුවේ පර්යන්තයේ 100% රාජ්‍ය අයිතියයි
2021 ජනවාරි 14 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා නැගෙනහිර පර්යන්තයේ කොටස් 49%ක් ඉන්දියාවට ලබාදීමේ සැලැස්මට දැඩි විරෝධය පළකළේය.
ජනවාරි 13 වැනිදා වරාය වෘත්තීය සමිති නියෝජිතයන් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වූ බව සඳහන් කරමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
“49%ක් ඉන්දියාවට දෙනවා. වරාය අධිකාරියට ඉතිරි වන්නේ 51%යි. අප විරුද්ධ වන්නේ එයටයි. අප ඉල්ලන්නේ පර්යන්තයේ 100% අයිතිය වරාය අධිකාරිය සතුව තිබිය යුතු බවයි.”
එම මාධ්‍ය හමුවේදී ලාල්කාන්ත මහතා පවසා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ මෙම අරගලය අත් නොහරින බවයි.
මෙහි වැදගත්ම කරුණ වන්නේ එදා විරෝධතාව සීමාවූයේ නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන් විකිණීමට එරෙහිව පමණක් නොවීමයි. රාජ්‍ය අධිකාරියට බහුතර කොටස් ප්‍රමාණයක් ඉතිරි කරමින් පෞද්ගලික ආයෝජකයකුට සුළුතර කොටස් ප්‍රමාණයක් ලබාදීමටද ජවිපෙ විරුද්ධ විය.
“නැගෙනහිර පර්යන්තය නැතිවුණොත් කොළඹ වරායත් නැතිවෙනවා” — අනුර, 2021 ජනවාරි 30
2021 ජනවාරි 30 වැනිදා The Morning පුවත්පත වාර්තා කළේ නැගෙනහිර පර්යන්තය අහිමිවීම කොළඹ වරාය අහිමිවීමට සමාන බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ බවයි.
කොළඹ වරායේ වඩාත්ම උපායමාර්ගික සහ ලාභදායී පර්යන්තය නැගෙනහිර පර්යන්තය බව එහිදී පෙන්වාදුන් ඔහු, එහි කොටස් ඉන්දීය සමාගමකට පැවරීමට ආණ්ඩුව මහජනතාව නොමඟ යවමින් සිටින බවටද චෝදනා කළේය.
එම වාර්තාවට අනුව අනුර කුමාර දිසානායක මහතා පැවසූ තවත් ප්‍රකාශයක් මෙසේය.
“ජනතාව ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් පත් කළේ රටේ අයිතිකරුවන් ලෙස නොව, වසර පහකට එය භාරව කටයුතු කරන භාරකරුවන් ලෙසයි.”
ජවිපෙ වරාය සමිතියත් විදේශීය හවුල්කාරීත්වය ප්‍රතික්ෂේප කළ හැටි
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයද 2021දී නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම සංවර්ධනය කිරීමේ ස්ථාවරය දැරීය.
එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ජී. නිරෝෂන් මහතා 2021 ජනවාරි 24 වැනිදා පළවූ The Sunday Morning පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ විධිමත් මෙහෙයුම් සැලැස්මක් නොමැතිව පවා නැගෙනහිර පර්යන්තය ආදායම් උපයමින් සිටින බවයි.
නිසි ක්‍රමවේදයක් සකස් කළහොත් වඩාත් විශාල ආදායමක් උපයාගත හැකි බවත්, ඉන්දියාවේ සහාය නොමැතිව වරාය අධිකාරියේ ආදායමෙන්ම ඉදිරි වසර දෙක තුළ පර්යන්තය සංවර්ධනය කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි.
විරෝධතා මධ්‍යයේ 2021 පෙබරවාරි 1 වැනිදා එවකට අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙහෙයවන බව ප්‍රකාශ කළේය.
එදින පැවති කැබිනට් රැස්වීමේදී නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියට සම්පූර්ණයෙන් අයත් පර්යන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ තීරණය ගනු ලැබීය.
මෙම තීරණයෙන් පසු 2021 පෙබරවාරි 5 වැනිදා මාධ්‍ය හමුවක් පැවැත්වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා, පර්යන්තය රැකගැනීමේ ගෞරවය එවකට ආණ්ඩුවේ දේශපාලන පක්ෂවලට හිමි නොවන බව අවධාරණය කළේය. ඔහුගේ අදහස් අනුව, නැගෙනහිර පර්යන්තය පෞද්ගලික ආයෝජකයන්ට පැවරීම වැළැක්වීමේ සැබෑ කාර්යභාරය ඉටුකළේ වරාය වෘත්තීය සමිති, ජනතාව සහ අරගලයට සහාය දුන් පාර්ශ්වයන්ය.
එම තීරණයට එළැඹීමට මාස ගණනක් විරෝධතා පැවැත්වීමට සිදුවූයේ ඇයිදැයි ඔහු එවකට ආණ්ඩුවෙන් විමසා තිබුණි.
ඒ අනුව නැගෙනහිර පර්යන්තය රාජ්‍ය අධිකාරිය යටතේ තබාගැනීම 2021දී ජනතා විමුක්ති පෙරමුණ තමන් සහාය දුන් මහජන අරගලයක ජයග්‍රහණයක් ලෙස ඉදිරිපත් කළේය.
2019 මැයි මාසයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඇතිකරගත් එකඟතාව පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2019 මැයි 27 වැනිදා නිල නිවේදනයක් නිකුත් කර තිබුණි.
එහි සඳහන් වූයේ නැගෙනහිර පර්යන්තයේ 100% භෞතික අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවම පවතින බවයි.
කෙසේ වෙතත් පර්යන්තය මෙහෙයවන සමාගමේ කොටස්වලින් 51%ක් ශ්‍රී ලංකා පාර්ශ්වය සතුවද, ඉතිරි 49%ක් ඉන්දීය සහ ජපාන හවුල්කරුවන් සතුවද පැවතීමට යෝජනා වී තිබුණි.
එනම් 2021දී දැඩි විරෝධයට ලක්වූ සැලැස්ම සම්පූර්ණ පර්යන්තය විකිණීමේ එකක් නොව, පර්යන්තයේ භෞතික අයිතිය රජය සතුව තබාගෙන මෙහෙයුම් සමාගමට විදේශීය හවුල්කරුවන් සම්බන්ධ කිරීමේ ආකෘතියක්ද වූයේය.
මේ තත්ත්වය යටතේ 2026 ඔක්තෝබර් 12 ජනාධිපතිවරයා අනාවරණය කළ සැලැස්ම සහ එදා ප්‍රතික්ෂේප කළ ආකෘතිය අතර ඇති සමානකම් නොසලකා හැරිය නොහැකි තරම්ය.
වෙනසකට ඇත්තේ එදා විදේශීය හවුල්කරුවන්ට හිමිවීමට නියමිතව තිබූ කොටස් ප්‍රතිශතය 49%ක් ලෙස නිශ්චිතව දක්වා තිබූ අතර, වර්තමාන ආණ්ඩුව යෝජනා කරන පෞද්ගලික හවුල්කාරීත්වයේ කොටස් බෙදීම තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති වීම පමණි.
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වෙනුවෙන් වෙනම සමාගමක් පිහිටුවීමේ තීරණයක් මුලින්ම ගනු ලැබුවේ 2025 ජූලි 7 වැනිදාය.
එදින කැබිනට් මණ්ඩලය Colombo East Container Terminal (Private) Limited නමින් සීමිත වගකීම් සහිත සමාගමක් පිහිටුවීමට අනුමැතිය ලබාදී තිබුණි.
එහි විශේෂත්වය වන්නේ එම සමාගමේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පවතින බව කැබිනට් නිවේදනයේ පැහැදිලිව සඳහන් වීමයි.
ඒ අනුව එදා කැබිනට් මණ්ඩලය අනුමත කළේ පෞද්ගලික ආයෝජකයන්ට කොටස් ලබාදීමක් නොව, වරාය අධිකාරියට සම්පූර්ණයෙන් අයත් සමාගමක් මගින් පර්යන්තයේ මෙහෙයුම් සිදුකිරීමේ ආකෘතියකි.
කෙසේ වෙතත් වසරකට පසුව ජනාධිපතිවරයා පෞද්ගලික ආයෝජකයන්ට එම මෙහෙයුම් ක්‍රියාවලියට සම්බන්ධවීමේ අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බව අනාවරණය කර තිබේ.
2021දී ජනතා විමුක්ති පෙරමුණ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තර්ක මූලික වශයෙන් දෙකක් මත පදනම් විය.
පළමුවැන්න වන්නේ රටේ උපායමාර්ගික වශයෙන් වැදගත් වරාය සම්පතක පාලනය සහ මෙහෙයුම් වරාය අධිකාරිය යටතේම පැවතිය යුතු බවයි.
දෙවැන්න වන්නේ වරාය අධිකාරියට පර්යන්තය තම ආදායම් සහ මූල්‍ය හැකියාව මගින් සංවර්ධනය කළ හැකි බවයි.
දැන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්නේ පර්යන්තයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා පෞද්ගලික නාවික සමාගම්වල සහභාගිත්වය ලබාගැනීමේ සැලැස්මකි.
එදා වරාය අධිකාරියට තනිවම සංවර්ධනය කළ හැකි බව කී පර්යන්තය, දැන් පෞද්ගලික හවුල්කරුවකු නොමැතිව කාර්යක්ෂමව මෙහෙයවිය නොහැකිද?
2019 යෝජිත ආකෘතියේදීත් පර්යන්තයේ 100% භෞතික අයිතිය රජය සතුව තිබුණේ නම්, එදා එයට විරුද්ධ වීමට හේතු වූ ප්‍රතිපත්තිමය තර්ක දැන් වෙනස් වී තිබේද?
පෞද්ගලික ආයෝජනය මගින් පර්යන්තයේ ආදායම් සහ ධාරිතාව වැඩිකළ හැකි නම්, එම ආර්ථික වාසිය හා රාජ්‍ය ආදායම් අඩුවීමේ අවදානම අතර තුලනය තීරණය කරන්නේ කෙසේද?
