හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිත බව පවසමින් ඇයගේ නීතිඥවරුන් අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටි අතර, එවැනි සැත්කමක් සිදුකිරීමට නියමිත බවට තොරතුරු නොමැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කළේය.
ඒ අනුව ශිරන්ති රාජපක්ෂට විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිතද යන්න පිළිබඳව නිශ්චිත වෛද්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබාදීම සඳහා නඩුව අද පස්වරු 2 දක්වා කල් තැබීය.
‘සිරිලිය සවිය’ සංවිධානයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, සැකකාරියගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළේය.
ශිරන්ති රාජපක්ෂ විමර්ශන සඳහා කැඳවූ අවස්ථාවේදීම රෝහල්ගත වූ බවත්, මුලින් හෘද රෝගී තත්ත්වයක් ගැන සඳහන් කළද පසුව අක්ෂි ආබාධයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය.
ඉන් අනතුරුව ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වී කිසිදු ගැටලුවකින් තොරව නැවත මෙරටට පැමිණි බවද පෙන්වා දුන් දිලීප පීරිස්, මෙම සිදුවීම් මාලාව ‘රංගනයක්’ ලෙස හඳුන්වමින් සැකකාරියට ඇප ලබාදීමට විරුද්ධ විය.
එහෙත් ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ප්‍රකාශ කළේ, තම සේවාදායිකාව මේ වන විට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර සිටින බවත්, ඇයට විවෘත හදවත් සැත්කමක් දැනටමත් සිදු කරමින් පවතින බවත්ය.
ඇප ලබාදීම සඳහා සුවිශේෂී කරුණු ලෙස සැලකිය හැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බව ඔහු අවධාරණය කළේය.
“මගේ වෘත්තීය ජීවිතයේ මේ තරම් සුවිශේෂී කාරණයක් ඉදිරිපත් කරන පළමුවැනි වතාව මේක. මේකත් සුවිශේෂී කාරණයක් විදියට භාරගත නොහැකි නම් සුවිශේෂී කරුණු පිළිබඳ පිටුව ඉරා දමන්න.”
යනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයේදී ප්‍රකාශ කළේය.
ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පිළිගන්නා නමුත් ඇයට විවෘත හදවත් සැත්කමක් කරමින් පවතින බවට තොරතුරු තම පාර්ශ්වය සතුව නොමැති බව පැවසීය.
එවැනි සැත්කමක් සඳහා සැබැවින්ම වෛද්‍ය නිර්දේශ ලබාදී තිබේද යන්න තහවුරු කරගත යුතු බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.
එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, “ඇය මරණයට පත්වෙනතුරුද බලා සිටින්නේ?” යනුවෙන් ප්‍රශ්න කළේය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පිළිගන්නා නමුත් විවෘත හදවත් සැත්කමක් සිදු කරමින් තිබෙනවාද යන්න සම්බන්ධයෙන් පාර්ශ්ව දෙක අතර පරස්පර කරුණු ඉදිරිපත් වන බව නිරීක්ෂණය කළේය. සැකකාරියව අධිකරණයට ඉදිරිපත් නොකර, රෝහල්ගත කිරීමෙන් පසු පැමිණිලි පාර්ශ්වය විසින් කරුණු ඉදිරිපත් කරන පසුබිමක පැමිණිල්ල මේ පිළිබද දැනුවත් වීමේ අවශ්‍යතාව මහේස්ත්‍රාත්වරයා සිහිපත් කළේය.
ඒ අනුව සැත්කමක් සිදු කරමින් සිටිනවාද යන්න පිළිබඳව අධිකරණය නිශ්චිතව දැනුවත් කරන ලෙස නියම කළේය.
මහේස්ත්‍රාත්වරයා නියෝගය ප්‍රකාශ කරමින් සිටියදී නැවත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා,
“ස්වාමීනි, විවෘත හදවත් සැත්කමක් කරන්න නියමිත බවත්, ඒ සඳහා සූදානම් කරමින් පවතින බවත් අපට පසුව උපදෙස් ලැබී තිබෙනවා.”
යනුවෙන් පැවසීය.
ඒ අනුව සැකකාරියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබාදීම සඳහා නඩුව පස්වරු 2ට යළි කැඳවීමට තීරණය කෙරිණි.
