ශිරන්ති, නාමල් සහ යෝෂිත අද අධිකරණයට

ශිරන්ති, නාමල් සහ යෝෂිතට එරෙහිව පවතින ප්‍රධාන නඩු කිහිපයක් අද (13) දිනයේදී අධිකරණ හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

මේ අනුව ‘සිරිලිය සවිය’ සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාගෙන එම යන්ත්‍රය ලබා නොදී මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සහ දූෂණ චෝදනාවලට යටත්ව ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

පසුගිය 07 වන දින අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය අද (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. නමුත්, හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (12) දිනයේදී ඇය බන්ධනාගාර වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාරයෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරුණු අතර, මේ වන විට ඇය එහි ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 100ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවට අදාළ නාමල් රාජපක්ෂට එරෙහි නඩුවද අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. මෙම නඩුවට අදාළව පසුගිය සැප්තැම්බර් 29 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකාර නාමල් රාජපක්ෂ අද (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

නිසි අධ්‍යාපනික සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස බඳවාගෙන, ඉන්පසුව බ්‍රිතාන්‍යයේ විශේෂ පාඨමාලාවකට සහභාගි කරවා ගැනීම හරහා රජයට පාඩු සිදුකළේ යැයි කියන සිද්ධියට අදාළ යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව අද (13) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇත.

යෝෂිතට සහ කරන්නාගොඩට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනුකර ඇති මෙම නඩුව පසුගිය සැප්තැම්බර් 17 වෙනිදා විභාගයට ගත අවස්ථාවේදී නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් 13 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading