හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා විසින් 2026 ඔක්තෝබර් 12 වැනිදා කොළඹදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට දඩුවම් ලබාදුන් අභියාචනාධිකරණ තීන්දුව ඍජුවම අභියෝගයට ලක් කර තිබේ. ඔහු ඍජුවම එම තීන්දුව වැරදි බව ප්‍රකාශ කර ඇති අතර එම තීන්දුව එවකට අභියාචනාධිකරණයේ සභාපති ප්‍රීති පද්මන් සුරසේන ලබාදුන් එකක් වීමත්, ඔහු මේ වෙද්දී අගවිනිසුරුවරයා වීමත් නිසා සාකච්ඡාවට ලක් කිරීමට වටිනා කරුණක් බවට පත්ව තිබේ. සරත් එන්. සිල්වාද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස මීට පෙර කටයුතු කර ඇත.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධානය කළ බුද්ධ ශාසනය හා සිංහල බෞද්ධ උරුමය සුරැකීම පිළිබඳ සමුළුවක් අමතමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවය.
ඔහුගේ ප්‍රකාශයේ මූලික නෛතික තර්කය වූයේ අධිකරණයට අපහාස කිරීමේ වරද සඳහා නීතියෙන් නියම කර ඇති උපරිම සිරදඬුවම මාස 18ක් වන අතර, අභියාචනාධිකරණය වසර හයක සිරදඬුවමක් නියම කිරීම එම සීමාව ඉක්මවා යාමක් වන බවයි.
හිටපු අගවිනිසුරුවරයා මෙසේ ප්‍රකාශ කර තිබිණි.
“දැන් මේකේ නීතිමය තත්ත්වය මොකක්ද? උසාවියට අපහාස කිරීමේ දඬුවම් තියෙනවා, එතන දෙන්න පුළුවන් මාස 18යි. දැන් මෙතන ප්‍රීති පද්මන් සූරසේන දීලා තියෙනවා අවුරුදු 6ක්. නීතියෙන් තියෙන්නේ මාස 18යි.”
මෙම ප්‍රකාශය නෛතික වශයෙන් විමසා බැලීමේදී මූලික ප්‍රශ්න තුනක් මතුවේ.
පළමුව, අධිකරණයට අපහාස කිරීම සඳහා මාස 18ක සිරදඬුවම් සීමාවක් පවතින්නේ කුමන නීතිමය ප්‍රතිපාදනයක් යටතේද?
දෙවනුව, එම සීමාව මහේස්ත්‍රාත් අධිකරණයට පමණක් අදාළ වන්නක්ද, නැතහොත් අභියාචනාධිකරණයටද අදාළ වන්නක්ද?
තෙවනුව, අභියාචනාධිකරණයට වසර හයක සිරදඬුවමක් නියම කිරීමේ නෛතික බලය තිබුණද, එම දඬුවමේ සාධාරණත්වය හා සමානුපාතිකත්වය පිළිබඳව වෙනම ප්‍රශ්න මතු කළ හැකිද?
දේශපාලන අර්ථකථන නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන, පාර්ලිමේන්තුව පනවා ඇති නීතිය සහ අධිකරණ විසින් දැනටමත් ලබාදී ඇති තීන්දු විශ්ලේෂණය කිරීම තුළින් නෛතික වශයෙන් මෙම ප්‍රකාශය සලකා බැලිය යුතුය.
මාස 18ක සීමාවේ සැබෑ නීතිමය පදනම
ශ්‍රී ලංකාවේ අධිකරණවලට අපහාස කිරීම සම්බන්ධයෙන් දැන් පවතින නීතිය 2024 දී බලාත්මක වූවකි. (ඒ ගැන පසුව කියන්නෙමු.) එහෙත්, මේ තීන්දුවට අදාලව ක්‍රියාත්මක වූ එක් ප්‍රදාන නීතියක් වන්නේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත (Judicature Act, No. 2 of 1978) ය.
මෙම පනතේ 55(1) වගන්තිය මඟින් මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු පහළ අධිකරණවලට තම අධිකාරිය සහ කාර්යක්ෂමතාව ආරක්ෂා කිරීම සඳහා අධිකරණයට අපහාස කිරීමේ වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ විශේෂ බලය ලබා දී තිබේ.
දඬුවම් නියම කිරීමේ බලතල විස්තර කරන්නේ එහි 55(2) වගන්තියෙනි.
විශේෂයෙන් 55(2)(b) වගන්තියේ සඳහන් වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයකට අධිකරණ අපහාසයක් සඳහා මාස 18 නොඉක්මවන සරල හෝ බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ හැකි බවයි.
එහි මුල් ඉංග්‍රීසි නීති පාඨයේ අදාළ කොටස මෙසේය.
“…imprisonment either simple or rigorous, for a period not exceeding eighteen months.”
මෙම ප්‍රතිපාදනය අනුව මාස 18ක උපරිම සීමාවක් ඇති බවට හිටපු අගවිනිසුරුවරයා කළත්, ඒ සීමාව ඇත්තේ අභියාචනාධිකරණයට නොවේ.
අධිකරණ සංවිධාන පනතේ 55(2)(b) වගන්තියෙන් විධිමත්ව සීමා කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු එහි නම් කර ඇති අධිකරණවල දඬුවම් නියම කිරීමේ බලයයි.
එම වගන්තියෙන් අභියාචනාධිකරණයට නියම කළ හැකි දඬුවම් සඳහා මාස 18ක සීමාවක් කිසිසේත්ම පනවා නැත. ඒ අනුව දඩුවම නීතිවිරෝධී බවට කරන මූලිකම තර්කය කිසිදු පදනමක් නොමැති තර්කයකි.
මහේස්ත්‍රාත් අධිකරණයක දඬුවම් නියම කිරීමේ බලය සහ අභියාචනාධිකරණයක දඬුවම් නියම කිරීමේ බලය එකිනෙකට වෙනස් මූලාශ්‍රවලින් උද්ගත වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බලය
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය උසස් වාර්තා අධිකරණ (Superior Courts of Record) වේ.
එම තත්ත්වය යටතේ තමන්ගේ අධිකරණයට කරන අපහාසයක් සම්බන්ධයෙන් සිරදඬුවම්, දඩ හෝ ඒ දෙකම නියම කිරීමේ බලය මෙම අධිකරණවලට හිමිවේ.
මෙහි වැදගත්ම ප්‍රතිපාදනය වන්නේ අභියාචනාධිකරණයට ලබාදී ඇති බලය තමන්ගේ අධිකරණයට කරන අපහාසවලට පමණක් සීමා නොවීමයි.
105(3) ව්‍යවස්ථාවේ දෙවැනි වාක්‍යයෙන් පැහැදිලිව සඳහන් කරන්නේ අභියාචනාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1)(c) යටතේ සඳහන් අනෙකුත් අධිකරණ, විනිශ්චය සභා සහ ආයතනවලට කරන අපහාස සම්බන්ධයෙන්ද දඬුවම් නියම කිරීමේ බලය ඇති බවයි.
එම අනෙකුත් අධිකරණ යන සංකල්පයට මහේස්ත්‍රාත් අධිකරණද ඇතුළත් වේ.
මේ අනුව 105(3) ව්‍යවස්ථාවෙන් අභියාචනාධිකරණයට පැවරී ඇති බලය ස්වකීය අධිකරණයට කරන අපහාසයක් සඳහා පමණක් භාවිත කළ හැකි සීමිත බලයක් නොවේ.
එය අනෙකුත් අධිකරණවල යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ආරක්ෂා කිරීමටද භාවිත කළ හැකි ව්‍යවස්ථාමය බලයකි.
තවත් වැදගත් කරුණක් වන්නේ මෙම ව්‍යවස්ථාවේ අග ඇති ප්‍රතිපාදනයයි. එමඟින් අනෙකුත් අධිකරණවලට තමන්ගේ අධිකරණයට කරන අපහාස සම්බන්ධයෙන් දඬුවම් කිරීමට නීතියෙන් ලබාදී ඇති බලතල ආරක්ෂා කරයි.
එයින් මතුවන අර්ථය වන්නේ පහළ අධිකරණයටත් අභියාචනාධිකරණයටත් ඇතැම් අධිකරණ අපහාස සම්බන්ධයෙන් සමගාමී බලයක් (concurrent jurisdiction) පැවතිය හැකි බවය.
එම නිසා මහේස්ත්‍රාත් අධිකරණයට දඬුවමක් නියම කළ හැකි වීම, එම සිදුවීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බලය අහෝසි වීමට හේතුවක් නොවේ.
1980 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව: Regent International Hotels Ltd. v. Cyril Gardiner and Others
මේ පිළිබඳව වැදගත් පූර්ව නඩු තීන්දුවක් වන්නේ Regent International Hotels Ltd. v. Cyril Gardiner and Others, (1978–79–80) 1 Sri LR 278 ය.
1980 මාර්තු 12 වැනිදා ප්‍රකාශයට පත්කළ මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදුන්නේ සී. ජේ. සමරකෝන්, ඉස්මයිල් සහ වනසුන්දර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලකි.
මෙම නඩුවට පදනම් වූයේ දිසා අධිකරණයක් නිකුත් කළ තහනම් නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් ඇතිවූ අධිකරණ අපහාස චෝදනාය.
එහිදී අභියාචනාධිකරණයට අනෙක් අධිකරණයකට කරන අපහාසයක් විභාග කිරීමේ බලය ඇත්දැයි ප්‍රශ්න කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ 105(3) ව්‍යවස්ථාව යටතේ අභියාචනාධිකරණයට එම බලය ඇති බවයි.
එම තීන්දුවේ 286 වැනි පිටුවේදී සභාපති විනිසුරු සමරකෝන් මහතා උසස් වාර්තා අධිකරණවල බලය පිළිබඳව පැහැදිලි කර තිබේ.
එහි නීතිමය හරය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට අධිකරණ ශාලාව තුළ හෝ ඉන් පිටත සිදුවන අධිකරණ අපහාස සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ඇති බවයි.
මෙහිදී in facie curiae යනු අධිකරණය ඉදිරියේ සිදුවන අපහාසයයි. Ex facie curiae යනු අධිකරණ ශාලාවෙන් පිටත සිදුවන නමුත් අධිකරණයේ අධිකාරියට හෝ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බලපාන අපහාසයයි.
මෙම තීන්දුවේ වැදගත්කම වන්නේ අභියාචනාධිකරණයට අනෙක් අධිකරණයකට කරන අපහාසයක් සම්බන්ධයෙන් බලය පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාවෙන්ම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබීමය.
ඥානසාර හිමියන්ගේ සිද්ධියට අදාළව එහි නෛතික වැදගත්කම පැහැදිලිය. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවූ බවට චෝදනා කරන අධිකරණ අපහාසය අභියාචනාධිකරණය විසින් විභාග කිරීමට බාධාවක් ඇති බව 105(3) ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ නැත.
2018 ඥානසාර නඩුවේදී මේ ප්‍රශ්නය දැනටමත් විභාග කර තිබුණි
මෙම නෛතික විවාදයේ තවත් වැදගත් කරුණක් වන්නේ සරත් එන්. සිල්වා මතුකරන ආකාරයේ බලතල පිළිබඳ ප්‍රශ්නයක් ඥානසාර හිමියන්ගේ නඩුවේදී දැනටමත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබීමය. එම තර්කය විමසා, අභියාචනාධිකරණය එයට අදාලව තීන්දුවක් ලබා දී තිබීමය.
Galagodaaththe Gnanasara – CA (CC) Application No. 04/2016, 2018 අගෝස්තු 8 වැනිදා ලබාදුන් තීන්දුවේ 37 සිට 44 දක්වා පිටුවල මෙම නීතිමය තර්කය විස්තර කර තිබේ.
ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාගේ තර්කය වූයේ අධිකරණ සංවිධාන පනතේ 55(1) වගන්තියට අයත් කරුණු සම්බන්ධයෙන් අභියාචනාධිකරණය 105(3) ව්‍යවස්ථාව යටතේ තම බලය ක්‍රියාත්මක නොකළ යුතු බවයි.
එම තර්කය නීතිමය වශයෙන් වැදගත් වන්නේ එයින් මතුවන ප්‍රශ්නය මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් තිබේද යන්න පමණක් නොවන නිසාය.
ඉන් මතුවන්නේ සාමාන්‍ය පනතකින් ලබාදී ඇති බලයක් හේතුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අභියාචනාධිකරණයට පවරා ඇති බලය සීමා වේද යන්නයි.
අභියාචනාධිකරණය එම තර්කය ප්‍රතික්ෂේප කළේය.
තීන්දුවේ 44 වැනි පිටුවේ අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ 105(3) ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති බලයක් වන අතර එය සාමාන්‍ය නීති ප්‍රතිපාදනයකින් අඩු කළ නොහැකි බවය.
මෙහි නීතිමය තර්කය වඩාත් පැහැදිලි කිරීමට අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ තවත් තීන්දු දෙකක් භාවිත කළේය.
Atapattu v. People’s Bank: සාමාන්‍ය පනතකට ව්‍යවස්ථාමය බලය සීමා කළ හැකිද?
ඥානසාර හිමියන්ගේ තීන්දුවේදී අභියාචනාධිකරණය උපුටා දක්වා ඇති වැදගත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකි Atapattu and Others v. People’s Bank and Others, [1997] 1 Sri LR 208.
1996 දෙසැම්බර් 19 වැනිදා තීන්දු කර, 1997 නීති වාර්තාවල පළවූ මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයකට පැවරී ඇති බලය සාමාන්‍ය පනතක ප්‍රතිපාදන හේතුවෙන් සීමා විය හැකිද යන ප්‍රශ්නයයි.
මෙම නඩුවේදී සාකච්ඡා වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 ව්‍යවස්ථාව යටතේ අභියාචනාධිකරණයට ඇති රිට් ආඥා නිකුත් කිරීමේ බලයයි.
විනිසුරු මාර්ක් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ නීතිමය විග්‍රහයේ වැදගත් අදහසක් වූයේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන අධිකරණ බලයක් සාමාන්‍ය නීතියක ප්‍රතිපාදන මඟින් අහිමි කිරීමට උත්සාහ කරන විට ව්‍යවස්ථාමය බලයට ප්‍රමුඛත්වය දිය යුතු බවයි.
තීන්දුවේ 222 වැනි පිටුවේ සඳහන් වන එම අදහස ඥානසාර හිමියන්ගේ තීන්දුවේ 42–43 පිටුවලද උපුටා දක්වා ඇත.
Weragama නඩුව: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වචනවල නෛතික වැදගත්කම
අභියාචනාධිකරණය උපුටා දක්වා ඇති අනෙක් නඩුව වන්නේ Weragama v. Eksath Lanka Wathu Kamkaru Samithiya and Others, [1994] 1 Sri LR 293 ය.
1994 ඔක්තෝබර් 28 වැනිදා තීන්දු කළ මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලුවේ පළාත් මහාධිකරණවලට ඇති රිට් අධිකරණ බලය සහ අභියාචනාධිකරණයේ බලතල අතර සම්බන්ධතාවයි.
මෙහිදී විනිසුරු මාර්ක් ප්‍රනාන්දු මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 138 ව්‍යවස්ථාව පිළිබඳව අදහස් දක්වා තිබේ.
එහි වැදගත්ම කරුණ වන්නේ 138 ව්‍යවස්ථාවට යොදා ඇති නීතිමය භාෂාව අනුව එම බලය පාර්ලිමේන්තුවේ නීතියකට යටත් විය හැකි බවයි.
මෙයින් මතුවන නීතිමය ප්‍රශ්නය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති සෑම අධිකරණ බලයකම සීමාව තීරණය කිරීමේදී අදාළ ව්‍යවස්ථාවේ භාවිත කර ඇති නිශ්චිත වචන සැලකිල්ලට ගත යුතු වීමය.
උදාහරණයක් ලෙස subject to any law යන වචන යොදා ඇති ව්‍යවස්ථාවක අර්ථය සහ එවැනි සීමාකාරී වචන නොමැති ව්‍යවස්ථාවක අර්ථය එකම නොවිය හැකිය.
2018 ඥානසාර තීන්දුවේ අභියාචනාධිකරණය පෙන්වා දුන්නේ 105(3) ව්‍යවස්ථාව තුළ එහි බලය සාමාන්‍ය නීතියකට යටත් කරන එවැනි ප්‍රතිපාදනයක් නොමැති බවයි.
ඒ අනුව අධිකරණ සංවිධාන පනතේ 55 වගන්තියෙන් 105(3) ව්‍යවස්ථාව යටතේ ඇති බලය අඩු කළ නොහැකි බවට නිගමනය කෙරිණි.
විත්තිය ඉදිරිපත් කළ ප්‍රතිවිරුද්ධ නඩු තීන්දු
මෙහිදී අධිකරණයේ බලය සීමා කළ යුතු බවට විත්තිය ඉදිරිපත් කළ නීතිමය මූලාශ්‍ර නොසලකා හැරිය නොහැකිය.
ඥානසාර හිමියන්ගේ නඩුවේදී මනෝහර ද සිල්වා ජනාධිපති නීතිඥවරයා Hendrick Appuhamy v. John Appuhamy, 69 NLR 29 සහ Mansoor and Another v. O.I.C. Avissawella Police and Another, [1991] 2 Sri LR 75 යන නඩු තීන්දු උපුටා දක්වා තිබේ.
මෙම නඩු දෙකේ නීතිමය හරය වූයේ විශේෂ පනතකින් කිසියම් අයිතියක් සහ එය ක්‍රියාත්මක කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් ලබාදී ඇත්නම්, සාමාන්‍ය ක්‍රමවේදයක් වෙනුවට එම විශේෂ ක්‍රමවේදය භාවිත කළ යුතු බවයි.
මෙය lex specialis derogat legi generali යන නීතිමය මූලධර්මයට සම්බන්ධ තර්කයකි.
මෙම නඩු දෙකේම කරුණු සම්බන්ධ වී තිබුණේ කෘෂිකාර්මික ඉඩම් සහ අඳ ගොවීන්ගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේ නීතිමය ක්‍රමවේදයන්ටය.
විශේෂත්වයක් වන්නේ Mansoor නඩුවේ තීන්දුව ලබාදී ඇත්තේ එවකට අභියාචනාධිකරණ විනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් වීමය.
කෙසේ වෙතත්, ඥානසාර හිමියන්ගේ නඩුවේදී අභියාචනාධිකරණය මෙම නඩු තීන්දු දෙක වෙන්කර හඳුනාගත්තේය.
එම නඩුවලදී විමසා බැලුණේ සාමාන්‍ය නීතියක් සහ විශේෂ නීතියක් අතර සම්බන්ධතාවයි.
නමුත් ඥානසාර නඩුවේදී මතුව තිබුණේ සාමාන්‍ය පනතක ප්‍රතිපාදනයක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සෘජුව ලබාදී ඇති බලයක් අතර සම්බන්ධතාවයි. නීතිමය වශයෙන් මේ දෙක එකම තත්ත්වයක් නොවන බව එහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව Hendrick Appuhamy සහ Mansoor නඩු තීන්දුවල මූලධර්ම 105(3) ව්‍යවස්ථාවෙන් පැවරී ඇති අභියාචනාධිකරණ බලය සීමා කිරීම සඳහා සෘජුව යොදාගත නොහැකි බව 2018 අභියාචනාධිකරණය තීරණය කළේය.
2016දී පද්මන් සුරසේන අභියාචනාධිකරණයේ සභාපතිවරයා වූවාද?
හිටපු අගවිනිසුරුවරයාගේ ප්‍රකාශයේ තවත් පරීක්ෂා කළ යුතු කරුණක් තිබේ.
ඔහු සඳහන් කරන්නේ හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයේ සභාපති පී. පද්මන් සුරසේන මහතාට ලිපියක් යොමු කළ බවයි. එහෙත් එවකට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායකගේ ලිපියේ දිනය 2016 මාර්තු 18 වැනිදාය. ඒ අනුව එවකට අභියාචනාධිකරණයේ සභාපතිවරයා වුයේ ප්‍රීති පද්මන් සූරසේන නොවේ. විජිත් මලල්ගොඩ මහතාය. පී. පද්මන් සුරසේන මහතා එම ධුරයට පත්වූයේ 2018 ජනවාරි 15 වැනිදාය. ඒ අනුව මෙය ඍජුවම සූරසේන විනිසුරුතුමා වෙත යොමු කළ ලිපියක් බව පැවසීම බරපතල දෝෂ සහගත කතාවකි.
මහේස්ත්‍රාත්වරයාගේ ලිපිය නිසාම දඬුවම නියම වුණාද?
හිටපු අගවිනිසුරුවරයාගේ ප්‍රකාශයේ තවත් වැදගත් තර්කයක් වන්නේ මහේස්ත්‍රාත්වරයාට බරපතළ දඬුවමක් ලබාදීමට බලය නොතිබූ බැවින් වැඩි දඬුවමක් ලබාගැනීමට සිදුවීම අභියාචනාධිකරණයට යොමු කළ බවයි.
එහෙත් ඥානසාර හිමියන්ගේ නඩුවේදී නීතිපතිවරයා මැදිහත්වීම, චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම, එය විත්තිකරුට ලබාදීම, විත්තියේ මූලික විරෝධතා සලකා බැලීම, සාක්ෂිකරුවන් විභාග කිරීම සහ හරස් ප්‍රශ්න කිරීම් සිදුව තිබේ. හෝමාගම මහේස්ත්‍රාත්වරයාගේ ලිපිය මත පදනම්ව දඩුවමක් ලබා දී නොමැත.
අභියාචනාධිකරණයේදී විත්තිකරුට තමන් වෙනුවෙන් සාක්ෂි ලබාදීමට සහ සාක්ෂිකරුවන් කැඳවීමට අවස්ථාව හිමිවිය.
අභියාචනාධිකරණය සිය තීන්දුවේදී සාක්ෂි සම්බන්ධයෙන් වෙන වෙනම විග්‍රහ කර සාධාරණ සැකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු වී ඇති බව තීරණය කළේය.
මේ නිසා මහේස්ත්‍රාත්වරයා විසින් ලිපියක් යොමු කිරීමෙන්ම සිරදඬුවම ස්වයංක්‍රීයව නියම වූ බව ප්‍රකාශ කළ නොහැකිය.
වසර හයක සිරදඬුවම සාධාරණද?
මෙම නඩුව පිළිබඳ නෛතික විමර්ශනයේ වැදගත්ම සීමාව මෙතැනදී හඳුනාගත යුතුය.
අධිකරණයකට යම් දඬුවමක් නියම කිරීමට බලය තිබීමෙන් එම දඬුවම සැමවිටම සාධාරණ හෝ සමානුපාතික වන බව අදහස් නොවේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට දීර්ඝ සිර දඩුවම් ලබා දීම පිළිබද අප දීර්ඝ කාලයක් තිස්සේ විවේචනාතත්මකව අදහස් පළ කර තිබේ. විශේෂයෙන්ම රන්ජන් රාමනායකට ලැබුණු නඩු තීන්දුව හමුවේ විශාල ලෙස මේ ගැන සාකච්ඡාවක් ඇති විය.
2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට. හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබද පනත 2024 සිට ක්‍රියාත්මක වන අතර, අප කළින් කතා කළ නෛතික තත්වයට වඩා අධිකරණයකට අපහාස කිරීම පිළිබද නෛතික තත්වය දැන් වෙනස්ය.
එම පනතේ 6(3) වගන්තියෙන් අභියාචනාධිකරණයට අනෙකුත් මුල් අවස්ථා අධිකරණවලට කරන අපහාස සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ බලය පැහැදිලිව පිළිගෙන තිබේ.
එසේම 10(1)(a) වගන්තිය අනුව මුල් අවස්ථා අධිකරණයකින් කරන යොමු කිරීමක් මත අභියාචනාධිකරණයට අධිකරණ අපහාසයක් සම්බන්ධයෙන් කටයුතු ආරම්භ කළ හැකිය.
ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා හතරක් ඔප්පු වූ බව තීරණය කළ අභියාචනාධිකරණය, පළමු චෝදනාවට වසර හතරක්, දෙවැනි චෝදනාවට වසර හතරක්, තුන්වැනි චෝදනාවට වසර හයක් සහ සිව්වැනි චෝදනාවට වසර පහක් බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
එම දඬුවම් හතර එකවර ගෙවී යාමට නියම කළ නිසා ක්‍රියාත්මක වන උපරිම කාලය වසර හයකි.
මෙහිදී අධිකරණය විසින් සලකා බැලූ කරුණු අතර ඥානසාර හිමියන් අධිකරණයට අවසරයකින් තොරව කතා කිරීම, දැනටමත් ලබාදී තිබූ නියෝගයක් වෙනස් කරවා ගැනීමට උත්සාහ කිරීම, මහේස්ත්‍රාත්වරයාගේ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම සහ රජයේ නීතිඥවරයාට අපහාස කිරීම ඇතුළත් විය. එමෙන්ම ඔහු සමාව නොඉල්ලීමද දඬුවම තීරණය කිරීමේදී සැලකිල්ලට ගෙන තිබේ.
එහෙත් මේ තරම් දීර්ඝ සිර දඩුවමක් නියම කිරීම සුදුසුද? එසේ නොවේ නම් අධිකරණ අපහාසයකදී සංකේතාත්මකව දඩුවමක් නියම කිරීම සුදුසුද? එය සාකච්ඡා කළ යුතු කරුණකි.
මේ ගැන කතා කිරීමේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් උපුටා දැක්විය යුතුය.
ඒ නඩුව In Re: Prashant Bhushan and Another, Suo Motu Contempt Petition (Criminal) No. 1 of 2020 ය.
ප්‍රශාන්ත් භූෂන් විසින් 2020 ජුනි මාසයේදී සමාජ මාධ්‍යයේ පළ කළ ප්‍රකාශ දෙකක් මෙම නඩුවට පදනම් විය.
එක් ප්‍රකාශයකින් ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ පසුගිය අගවිනිසුරුවරුන්ගේ කාර්යභාරය විවේචනය කර තිබිණි.
අනෙක් ප්‍රකාශය එවකට අගවිනිසුරු එස්. ඒ. බොබ්ඩේ මහතා යතුරුපැදියක වාඩි වී සිටින ඡායාරූපයක් සහ අධිකරණය සාමාන්‍ය ජනතාවට ප්‍රවේශ වීම පිළිබඳ විවේචනයක් සම්බන්ධවය.
2020 අගෝස්තු 14 වැනිදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය භූෂන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු කළේය.
එහෙත් ඔහු සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
තමන් සත්‍ය බව විශ්වාස කරන ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීම හෝ අවංක නොවන සමාවක් ඉල්ලීම තමන්ගේ හෘදයසාක්ෂියට එරෙහි ක්‍රියාවක් වන බව ඔහුගේ ස්ථාවරය විය.
මෙම තත්ත්වය යටතේද ශ්‍රේෂ්ඨාධිකරණය සිරදඬුවමක් නියම කළේ නැත.
අරුණ මිශ්‍රා, බී. ආර්. ගවායි සහ ක්‍රිෂ්ණ මුරාරි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල 2020 අගෝස්තු 31 වැනිදා ඔහුට රුපියලක දඩයක් නියම කළේය.
සැප්තැම්බර් 15 වැනිදාට පෙර දඩය නොගෙවුවහොත් මාස තුනක සරල සිරදඬුවමක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ වසර තුනක් නීති වෘත්තියේ යෙදීම තහනම් කිරීමක් බලපැවැත්වෙන බවද එම නියෝගයේ සඳහන් විය.
භූෂන් දඩය ගෙවා දැමීය.
මෙහි වැදගත්ම කොටස වන්නේ තීන්දුවේ 92 වැනි ඡේදයයි.
එහි විනිසුරුවරුන් ප්‍රකාශ කළේ දැඩි දඬුවමක් නියම කිරීම වෙනුවට උදාරභාවය පෙන්වමින් සංකේතාත්මක දඩයක් නියම කරන බවය.
“instead of imposing any severe punishment”
එනම් බරපතළ දඬුවමක් නියම කිරීම වෙනුවට, යන වචන තීන්දුවේ ඇතුළත් විය.
මෙම නඩුවේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය භූෂන්ගේ හැසිරීම අනුමත කළේ නැත. එය බරපතළ වරදක් බව ප්‍රකාශ කළේය. එහෙත් එම බරපතළකමට ප්‍රතිචාර දැක්වීම සඳහා දීර්ඝ සිරදඬුවමක් අත්‍යවශ්‍ය බව නිගමනය නොකළේය. ඒ අනුව භූෂන් වරදකරුවා වුණත්, ඔහුට නියම කළේ සංකේතාත්මක දඩුවමක් පමණි.
මෙය අධිකරණ අපහාස නීතිය පිළිබඳව ප්‍රබල දාර්ශනික සාකච්ඡාවකට වැදගත් තීන්දුවක් ලෙස සැලකිය හැක.
අධිකරණයක බලය පෙන්වීමට එම අධිකරණයට නියම කළ හැකි බරපතළම දඬුවම නියම කිරීම අවශ්‍ය නොවේ. ඇතැම් අවස්ථාවල වඩාත් සංයමයෙන් යුතු දඬුවමක් නියම කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය වඩාත් හොඳින් ආරක්ෂා කළ හැකිය.
අධිකරණයට අපහාස කිරීමේ බලය සාමාන්‍ය අපරාධ නීතියේ දඬුවම් කිරීමේ බලයෙන් යම් ආකාරයකට වෙනස්ය.
මිනීමැරුමක්, කොල්ලකෑමක් හෝ ශාරීරික හිංසනයක් වැනි සාමාන්‍ය අපරාධයකදී දඬුවම නියම කිරීමේදී පුද්ගලයන්ට සහ සමාජයට සිදුකර ඇති හානිය ප්‍රධාන සාධකයක් වේ.
අධිකරණ අපහාසයකදී ආරක්ෂා කිරීමට උත්සාහ කරන්නේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියයි.
ඒ නිසා මෙම වරද සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ මූලික අරමුණ විය යුත්තේ අධිකරණය ස්වාධීනව සහ බාධාවකින් තොරව ක්‍රියාත්මක විය හැකි තත්ත්වය ආරක්ෂා කිරීමයි.
එහි අරමුණ කිසිසේත්ම විනිසුරුවරයකුගේ පුද්ගලික අභිමානය ආරක්ෂා කිරීම හෝ අපහාස කළ පුද්ගලයාට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නොවිය යුතුය.
මෙහිදී දඬුවම් කිරීමේ මූලධර්මයක් වන සමානුපාතිකත්වය (proportionality) ප්‍රධාන තැනක් ගනී.
සමානුපාතිකත්වයේ මූලික අදහස වන්නේ රාජ්‍ය බලය භාවිත කිරීමේදී අපේක්ෂිත නීත්‍යනුකූල අරමුණට අවශ්‍ය ප්‍රමාණයට පමණක් පුද්ගල අයිතිවාසිකම් සීමා කළ යුතු බවය.
එම මූලධර්මය අධිකරණ අපහාසය සම්බන්ධයෙන් යෙදීමේදී ප්‍රශ්න කිහිපයක් මතුවේ.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ආරක්ෂා කිරීම නීත්‍යනුකූල අරමුණක් බවට විවාදයක් නැත.
එහෙත් එම අරමුණ ඉටුකිරීමට සිරදඬුවම අත්‍යවශ්‍යද?
අවවාදයක්, දඩයක්, නිල වශයෙන් වරදකරු කිරීමක් හෝ වෙනත් අඩු බරපතළ ප්‍රතිචාරයක් ප්‍රමාණවත් නොවන්නේ ඇයි?
සිරගත කිරීමෙන් අධිකරණයේ අධිකාරිය ආරක්ෂා කිරීමේ අමතර ප්‍රතිලාභයට සාපේක්ෂව පුද්ගලයාගේ නිදහසට සිදුවන හානිය අධික නොවන්නේද?
මෙන්න මේ කාරණා ගැන කල්පනා කිරීමේදී අප වැනි අයට ගලගොඩඅත්තේ ඥාණසාර හිමි වැනි අයෙකුට වඩා රන්ජන් රාමනායක වැනි කෙනෙක්ව හිතේ තියාගෙන කල්පනා කිරීම පහසු වනු ඇත.
ප්‍රශාන්ත් භූෂන්ගේ නඩුවටත් පෙර ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මූලධර්මය පැහැදිලි කර තිබේ.
එම තීන්දුව In Re: S. Mulgaokar, (1978) 3 SCC 339 ය.
1978 පෙබරවාරි 21 වැනිදා ලබාදුන් මෙම තීන්දුවේදී ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ පළවූ අධිකරණය විවේචනය කරන ලිපියක් සම්බන්ධයෙන් අධිකරණ අපහාස ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රශ්නය සලකා බැලිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේ එම ක්‍රියාමාර්ග ඉදිරියට නොගෙන අත්හැර දැමීය.
මෙහිදී විනිසුරු වී. ආර්. ක්‍රිෂ්ණ අයියර් මහතා ඉදිරිපත් කළ නෛතික විග්‍රහය අදටත් ඉතා වැදගත්ය.
අධිකරණයට අපහාස කිරීමේ බලය ඉතා පුළුල් වුවද, එම බලය සෑම අවස්ථාවකම භාවිත කළ යුතු නැති බව ඔහු පෙන්වා දුන්නේය.
එහිදී ඔහු භාවිත කළ මතකයේ රැඳෙන ප්‍රකාශයකි:
“the key word is ‘justice’, not ‘judge'”
එනම් මෙහි ප්‍රධාන වචනය යුක්තිය මිස විනිසුරුවරයා නොවන බවයි.
මෙම අදහසට අනුව අධිකරණ අපහාස නීතියේ පදනම වන්නේ විනිසුරුවරයාගේ පුද්ගලික ආරක්ෂාව නොව, මහජනතාවට බාධාවකින් තොරව යුක්තිය ඉටුකිරීම සහතික කිරීමය.
එබැවින් සෑම අපහාසාත්මක ප්‍රකාශයකටම දැඩි දඬුවමක් නියම කිරීම එම නීතියේ අරමුණ සමඟ අනිවාර්යයෙන් ගැළපෙන්නේ නැත.
විනිසුරු ක්‍රිෂ්ණ අයියර් මහතාගේ විග්‍රහය අනුව අධිකරණයක් සුළු අපහාස සහ නොසැලකිලිමත් ප්‍රකාශ සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
නමුත් එයින් අධිකරණයට හිතාමතා බාධා කිරීම, විනිසුරුවරුන් බියගැන්වීම හෝ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය විනාශ කිරීමට උත්සාහ කිරීම නොසලකා හැරිය යුතු බව අදහස් නොවේ.
“Justice is not a cloistered virtue” – අධිකරණයේ විවේචනයට ඇති ඉඩ
අධිකරණය විවේචනය කිරීමේ නිදහස පිළිබඳව පොදු නීති සම්ප්‍රදායේ වැදගත් තීන්දුවක් වන්නේ Ambard v. Attorney-General for Trinidad and Tobago, [1936] AC 322 ය.
මෙම නඩුවේදී පුවත්පතක කතුවරයකු අධිකරණ දෙකක දඬුවම් අතර පවතින වෙනස්කම් විවේචනය කළේය.
එම ප්‍රකාශයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ දඩයක් නියම කර තිබිණි.
එහෙත් ප්‍රිවි කවුන්සිලය එම තීන්දුව අවලංගු කළේය.
ලෝඩ් ඇට්කින් එහිදී ප්‍රකාශ කළ ප්‍රකට අදහස වන්නේ:
“Justice is not a cloistered virtue”
එනම් යුක්තිය යනු විවේචනයෙන් ආරක්ෂා කර වසා තැබිය යුතු පූජනීය වස්තුවක් නොවන බවයි.
මෙහිදී ලෝඩ් ඇට්කින් පෙන්වා දුන්නේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව මහජනතාවට සාධාරණ විවේචන ඉදිරිපත් කිරීමට ඉඩ තිබිය යුතු බවය.
මෙය අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහි තර්කයක් නොවේ.
ප්‍රතිවිරුද්ධව, ජනතාවගේ විශ්වාසය දිනාගත් අධිකරණ පද්ධතියක් තමන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ මහජන සංවාදයට සහ විවේචනයට ඉඩ දිය යුතු බවට වූ මූලධර්මයකි.
ඒ නිසා අධිකරණ අපහාස නීතිය භාවිත කිරීමේදී අධිකරණයට නිදහසේ විවේචන ඉදිරිපත් කිරීමේ අයිතියත්, යුක්තිය පසිඳලීමට අනිසි බලපෑම් වළක්වා ගැනීමේ අවශ්‍යතාවත් අතර සාධාරණ සමතුලිතතාවක් පවත්වාගත යුතුය.
ඥාණසාර හිමිගේ ප්‍රශ්නය
එහෙත් මෙවර සිදුවිමේදී තවත් කරුණක් පැහැදිලිව තේරුම් ගත යුතුය. රශාන්ත් භූෂන්ගේ නඩුව සහ ඥානසාර හිමියන්ගේ නඩුව සමාන සිදුවීම් දෙකක් ලෙස සැලකිය නොහැකිය.
භූෂන්ගේ නඩුවට පදනම් වූයේ සමාජ මාධ්‍ය ප්‍රකාශ දෙකකි.
ඥානසාර හිමියන්ගේ නඩුවට පදනම් වූයේ විවෘත අධිකරණයේදී විනිසුරුවරයාගේ තීරණයකට බලපෑම් කිරීමට ගත් උත්සාහයක් බවට අධිකරණය නිගමනය කළ හැසිරීමකි. එහිදී විනිසුරුවරයෙකුට ඇප ලබා දෙන ලෙස බලපෑම් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය යටතේ මිනීමැරුම් චෝදනා එල්ල වූ සැකකරුවන් පිරිසකටය. එම නිසා ඥාණසාර හිමිට ලැබුණු දඩුවම ඔහු ඇතුළු පිරිස එකල කරමින් සිටි ක්‍රියාවට සමානුපාතික බව පෙන්වාදීම අසීරු කටයුත්තක් නොවේ. එහි චේතනාව අධිකරණය පිළිබද පුළුල් සංවාදයක් ඇති කිරීමේ චේතනාවක් නොවේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ 2018 ඔක්තෝබර් තීරණය
ඥානසාර හිමියන්ට ලබාදුන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනා අවසර ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණු බවද මෙම සටහන තුළ සිහිපත් කළ යුතුය.
එය 2018 ඔක්තෝබර් 5 වැනිදා සලකා බලනු ලැබීය.
ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ඊවා වනසුන්දර, නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් එම ඉල්ලීම විභාග කළේය.
විශේෂ අභියාචනා අවසර ඉල්ලීම බහුතර තීරණයකින් ප්‍රතික්ෂේප විය. ඒ අනුව සරත් එන්. සිල්වාට දැන් ඉදිරියට පැමිණ අභියාචනාධිකරණ තීන්දුව විවේචනය කිරීමට අයිතියක් තිබුණත්, නැතත් ඥාණසාර හිමිට එම තීන්දුව අභියෝගයට ලක් කිරීමට තවදුරටත් අවස්ථාවක් නැත.
ඒ අනුව සරත් එන්. සිල්වා මතු කර ඇති කරුණ කිසිසේත් නෛතික වශයෙන් කිසිදු වලංගුභාවයක් ඇති කරුණක් ලෙස සැලකිය හැකි නොවේ. එය හුදෙක් අවධානය ලබාගැනීමේ අරමුණෙන් කී කතාවක් ලෙස පමණක් සැලකිය හැක.
නඩු තීන්දු සහ නීතිමය මූලාශ්‍ර
1. Galagodaaththe Gnanasara – CA (CC) Application No. 04/2016. Court of Appeal of Sri Lanka, decided 8 August 2018. P. Padman Surasena P/CA and A.L. Shiran Gooneratne J. විශේෂයෙන් පිටු 37–44, 46–56.
2. Regent International Hotels Ltd. v. Cyril Gardiner and Others, (1978–79–80) 1 Sri LR 278. Supreme Court, decided 12 March 1980. විශේෂයෙන් පිටු 286–288.
3. Atapattu and Others v. People’s Bank and Others, [1997] 1 Sri LR 208. Supreme Court, decided 19 December 1996. විශේෂයෙන් පිටු 221–223.
4. Weragama v. Eksath Lanka Wathu Kamkaru Samithiya and Others, [1994] 1 Sri LR 293. Supreme Court, decided 28 October 1994.
5. Hendrick Appuhamy v. John Appuhamy, 69 NLR 29. Supreme Court, decided 10 October 1966.
6. Mansoor and Another v. O.I.C. Avissawella Police and Another, [1991] 2 Sri LR 75. Court of Appeal, judgment by S. N. Silva J.
7. Metthananda v. Kushan Fernando, [2006] 1 Sri LR 290. Court of Appeal, decided 25 July 2005.
8. Re Garumunige Tilakaratne, [1991] 1 Sri LR 134. Supreme Court, decided 25 January 1991.
9. M.B.A. Systems (Pvt) Ltd. v. Virgina Perera and Another, SC/CHC/APPEAL/18/2018. Supreme Court, decided 23 July 2025. Mahinda Samayawardhena J., P. Padman Surasena J., Arjuna Obeyesekere J. විශේෂයෙන් පිටු 16–17 සහ 41–44.
අදාළ ව්‍යවස්ථා සහ පනත්: ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1), 105(3), 138 සහ 140 ව්‍යවස්ථා; අධිකරණ සංවිධාන පනත අංක 2 දරන 1978 පනතේ 18 සහ 55 වගන්ති; අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ 2024 අංක 8 දරන පනතේ 4, 6 සහ 10 වගන්ති.
