පසුගිය මාසයේ 05 වැනිදා සිදුවූ බව කියන, මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සීඝ්‍රයෙන් සංසරණය වන එක්තරා CCTV වීඩියෝවක් සමස්ත සමාජයේම දැඩි කතාබහකට ලක්ව තිබේ. ඉන් දැක්වෙන්නේ මෙරට ප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන ‘මිස්ටර් කොත්තු’හි හිමිකරු විරාජ් වික්‍රමනායක විසින් සිය ආයතනයේ සේවකයෙකුට අතිශය අමානුෂික ලෙස පහර දෙන ආකාරයයි.
මේ පිළිබඳව මාධ්‍ය මගින් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා තහවුරු කළේ, මහරගම පොලිස් ස්ථානය මගින් මේ වන විටත් අදාල වීඩියෝව සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කිසිසේත් පසුබට නොවන බවත්ය.
ඔහුගේයැයි කියන හඩ පට ගණනාවක්ද මෙයට සමගාමීව සමාජ මාධ්‍යවලින් සමාජගත වී ඇත. එහිදී ඔහු කිසිදු සේවකයෙකුට නිවසට යාමට නොහැකි බවත්, එසේ ගියහොත් වැටුප් නොදෙන බවත් තර්ජනාත්මකව පවසයි. එක් සේවකයෙකුගේ මවකට අසනීප වී ඇති බව කී විට ඔහු ඊට ප්‍රතිචාර දක්වන්නේ අතිශය නින්දිත සහ අසභ්‍ය වචන භාවිත කරමිනි. “ඔක්කොමලාගෙ අම්මාට අසනීප වෙන්නේ වැඩට ආවාට පස්සේ” යැයි පවසන ඔහු, අම්මාව නාට්‍යවලට ඇද නොගන්නා ලෙසත්, ගෙදර ගියහොත් රුපියලක් හෝ නොදෙන බව පවසා සේවකයාව එලවා දමන ලෙසත් එහිදී නියෝග කරයි.
මෙය හුදෙක් ක්ෂණික කෝපය පිටකිරීමක් නොව, තමන් යටතේ වැඩ කරන මිනිසුන් වහලුන් සේ සලකන, ඔවුන්ගේ මූලික මානව අයිතිවාසිකම් හෝ හැඟීම් තුට්ටුවකට මායිම් නොකරන බවට පැහැදිලි සලකුණකි.
එහෙත් ඒ අතරේම මිස්ටර් කොත්තු ප්‍රසිද්ධව සිටින්නේ සේවකයන් හා මිත්‍රශීලී කෙනෙකු ලෙසය. ඔහුගේ සමාජ මාධ්‍යවල සේවකයන් සමග පාටි දමන, සිංදු කියන හැටිත් නිතර දකින්නට ලැබෙයි.
ඉතින් අපේ මේ කථානායකයා වැඩකරන කොල්ලන් එක්ක හරි හිතවත් කෙනෙක් බව නිතර කියැවෙයි. ටිකක් කේන්ති ගියාට, ඒ සර් හරි හොද කෙනෙකි. හැබැයි කේන්ති ගියාම ගහනවාය. නැත්නම් හරි හොදය. ඇතැමුන් කියන්නේ ඔයාකාරයටය.
කතාවේ මේ හිත හොද ගුටි දෙන ලොක්කා කියන ප්‍රතිරූපය ගැන කතා කරන්නට පෙර, විරාජ් වික්‍රමනායක යනු කවරෙක්දැයි සමාජ දේශපාලනික කෝණයකින් කියවා බැලීම මෙහිදී අතිශය වැදගත්ය.
ඔහු සම්ප්‍රදායික, ශිෂ්ටසම්පන්න ව්‍යාපාරිකයෙකු නොවේ. කළු සල්ලි සුදු කිරීමේ චෝදනා සහ සමාජ සැකයන්ට ලක්ව සිටින ඔහු, දේශපාලන බලය අයුතු ලෙස භාවිත කරමින් ධනය ගොඩනගාගත් බවට චෝදනා ලබන ‘ලුම්පන්’ ධනපති පන්තියේ නියෝජිතයෙකි. ඔහු ඒ ධනය ගොඩනගාගත් ආකාරය අපැහැදිලි නමුත්, ඔහු කළු සල්ලි සුදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඔහු ඍජුවම රාජපක්ෂ දේශපාලන කඳවුරේ සමීපතමයෙකු ලෙස පෙනී සිටින්නෙකි. ඔහු එම පක්ෂය වෙනුවෙන් මැතිවරණවලට ඉල්ලා පළාත් පාලන ආයතනවලට තේරී පත් වීමට අමතරව, යෝෂිත රාජපක්ෂ කතා කරන අවස්ථාවක මයික්‍රෆෝනයක් අල්ලාගෙන සිටින ඔහුගේ ඡායාරූප මෙන්ම, 2019 ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පත්‍රිකා බෙදූ පිරිසකට ඔහු ඇතුළු කල්ලියක් පහරදුන් සිදුවීම ද ඔහුගේ මේ දේශපාලනික සෙවනැල්ල මනාව ඔප්පු කරන මෑතකාලිනව හුවමාරු වූ සමාජ මාධ්‍ය කන්ටෙන්ට්ය.
වාමාංශියන් ලෙස අප ධනපති ක්‍රමය කොතරම් විවේචනය කළද, ඇතැම් පැරණි ධනපතියන් තුළ කම්කරු නීති සහ සේවක සුබසාධනය ගැන යම් සදාචාරාත්මක රාමුවක් හෝ ශිෂ්ටභාවයක් පැවතුණි. අනෙක් පැත්තෙන් ඔවුන්ගේ දිවිපැවැත්ම තුළ තිබුණේ කලාව රසවිදින, බුද්ධිමය සංවාදවල නිරතවෙන, නිවුණු ගතිපැවතුම් ඇති, ‘වැදගත්‘ යැයි සම්මත පැවැත්මක් සහිත පුද්ගලයන් ලෙසය.
කොත්තු හොද සංකේතයකි. කොත්තු කියන්නේ මේ වගේ ‘වැදගත්‘ ඉහළ පැලැන්තියේ කෑමක්ව තිබුණේ නැත. එය සාමාන්‍ය ලුම්පන් පැලැන්තියේ කෑමකි. වැඩකරන පැළැන්තියේ කෑමකි. පංතියක කෑමකි. ක්‍රමානුකූලව කොත්තු ලංකාවේ අනන්‍යතාවක් වූ අතර, ඉහළම රෙස්ටුරන්ට්වල කෑමක් බවට පත් විය. මිස්ටර් කොත්තු එය අවන්හල් ජාලයකට හැරවීය. දැන් දුප්පත් මනුස්සයා වගේම ධනවතාත් කොත්තු කයි. එය සංකේතයක් ලෙස ගත හැක්කේ වර්තමානයේ ධනවතුන් යැයි කියාගන්නා මිනිසුන්ගේ සාටෝපකාරී දිවි පැවැත්මත් ලුම්පන් නිසාය.
දැවැන්ත මුදු, මාල පළදින ඔවුන් තඩි වාහන පදින්නේ වාහනයේ සයිස් එකෙන් ධනයේ තරම පෙන්වන සේය.
එහෙත් සුඛෝපභෝගී වාහන පරිහරණය කරන, දේශපාලන අනුග්‍රහයෙන් යැපෙන මිස්ටර් කොත්තුලා වැනි නවක ලුම්පන් ව්‍යාපාරිකයන්ට එවැනි කිසිදු සදාචාරයක් නැත.
මෙවැනි ලුම්පන් බොස්ලාගේ ප්‍රතිරූපයේ තව කොටසක් වන්නේ තමන්ගේ සේවකයන් හා පෙන්වන ව්‍යාජ සම්බන්ධතාවයි. එය වෙනත් රටවල පවා පශ්චාත් නූතන ලොක්කන්ගේ හැසිරීමකි.
ඊයේ පෙරේදා වනතුරුත් මිස්ටර් කොත්තු සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ පළ කරමින් පෙන්වීමට උත්සාහ කළේ තමන් සේවකයන් සමඟ ඉතා මිත්‍රශීලීව, සහෝදරයෙකු සේ කටයුතු කරන බවයි. මෙය හුදු කැමරාව ඉදිරියේ කරන රංගනයක් පමණක් නොව, ඔහු ඇත්තටම එදිනෙදා ජීවිතයේදී සේවකයන් සමඟ එකට කමින් බොමින්, විහිළු තහළු කරමින් සිටිනවා විය හැකිය.
ස්ලාවෝජ් ශිෂෙක් (Slavoj Žižek) සිය සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වා දෙන්නේ නූතන සේවා ස්ථානය තුළ දක්නට ලැබෙන මෙම “මිත්‍රශීලී ලොක්කාගේ” උගුලට හසු නොවිය යුතු බවය.
ශිෂෙක්ට අනුව, පශ්චාත් නූතන සමාජයේ ලොක්කාට තවදුරටත් “ලොක්කෙකු” වීමට අවශ්‍ය නැත. ඔහු සේවකයන්ට බල කරන්නේ තමන් ඔවුන්ගේ හොඳම මිතුරා ලෙස සිතන ලෙසයි. මාක් ෆිෂර් කියන්නේත්, සේවා ස්ථානය තුළ මෙම ව්‍යාජ මිත්‍රත්වය යනු සේවකයන්ගේ සාමූහික විරෝධය මොට කරන, ඔවුන්ව හුදකලා කරන මෙවලමකි.
ආයතන ප්‍රධානීන් සේවකයන් සමඟ සාද පැවැත්වීම සහ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට මැදිහත් වීම හරහා උත්සාහ කරන්නේ සේවායෝජක-සේවක සම්බන්ධය හුදු ආර්ථික ගනුදෙනුවක් පමණක් බව සේවකයාට අමතක කර දැමීමටයි.
මේ මිත්‍රත්වයේ සැබෑ මුහුණුවර එළියට එන්නේ විරාජ්ගේ හඬපටයේ ඇසෙනවාක් මෙන් සේවකයෙකු අසනීපයකට නිවාඩුවක් ඉල්ලන විටදීය, නැතහොත් වැටුප් වැඩිවීමක් හෝ විවේකයක් ඉල්ලන විටදීය. මිතුරෙකුගෙන් අයිතිවාසිකම් ඉල්ලීම ද්‍රෝහීවීමක් ලෙස සිතීමට සේවකයාව මානසිකව හුරු කර ඇත. එහෙත් සීමාව පැන නිවාඩුවක් ඉල්ලූ සැණින්, ලොක්කාගේ මිත්‍රත්වයේ වෙස්මුහුණ ගැලවී ගොස් සැබෑ කුරිරු සූරාකන්නා එළියට පැමිණෙයි.
ශිෂෙක් පවසන පරිදි, මේ ටොක්සික් ව්‍යාපාරික චක්‍රයෙන් ගැලවී සේවක විමුක්තිය උදා කරගැනීමේ පළමු පියවර වන්නේ “ලොක්කාට ඇත්තටම ලොක්කෙකු ලෙස හැසිරෙන ලෙස බල කිරීමයි”. එනම්, ලොක්කා යනු අපේ යහළුවෙකු නොව, අපගේ ශ්‍රමය මිලදී ගන්නා ව්‍යාපාරිකයා පමණක් බව තේරුම් ගැනීමයි.
මිස්ටර් කොත්තු රස්සා 200ක් හැදූ බව ඇත්තකි. එය යහපත්ය. බොහෝ ව්‍යාපාරිකයන් සේවකයන්ට කැත විදියට සලකමින් නීතියෙන් පවා ආරක්ෂා වෙන්නේ තමන් රස්සා දුන් බව කියමින්ය. ආදායම් උපයන බව කියමින්ය. මේ කතා කියමින් සේවකයන් දෙතුන්දෙනාගේ සිට දහස් ගණනක් දක්වා විවිධ මට්ටම්වලින් සූරාකෑම සිදුවෙයි.
මිස්ටර් කොත්තු පිළිබද කතාවේදී ඔහු කවුද යන්න ඔහු අයිතිවෙන සමාජ පන්තියේ තබා තේරුම් ගන්නේ නම් මුලින්ම තේරුම් ගත යුතු කාරණයක් වන්නේ මේ ස්වභාවයයි. මිස්ටර් කොත්තු සේවකයන්ට පහරදෙන්නට ආවොත්, ඔක්කොම එකතු වී මිනිහාට අනෙක් පැත්තට පහරදීම පළවැනි කාරණයයි. එහෙත්, එසේ සිදු නොවන්නේ හැම සේවකයාම මේ ලොක්කාගේ හොද මුහුණ රැකගැනීමට කැමති නිසාය. මුහුණට මුහුන ලොක්කාව ප්‍රශ්න කරන්නට ඔවුන් බිය නිසාය.
අනෙක් පැත්තෙන් මිස්ටර් කොත්තුගේ නම නොකියා, වක්‍රාකාරව පාර්ලිමේන්තුවේදී මිස්ටර් කොත්තු ගැන නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පසුගිය වසරේදී කතා කර තිබුණි. ඔහු කියා තිබුණේ, කොත්තු කඩවලින් හිටිගමන් ප්‍රකෝටිපතියන් බිහිවෙන බවත්, ඔවුන් කළු සල්ලි සුදු කරන බවත්, ඒවා වැළැක්විමට නීති සම්පාදනය කරන බවත්ය. මෙවැනි ලුම්පන් ව්‍යාපාරිකයන් බිහිවෙන්නේ එක්කෝ නීති කඩමින්ය. නැත්නම් නීති තමන්ට ගැලපෙන ආකාරයට සකසමින්ය. නැත්නම් නීති අතරින් රිංගමින්ය. ඒවා වැළැක්වීමට ප්‍රතිපත්ති සකස් කිරීම අනෙක් පැත්තය.
මේ ආණ්ඩුවත් කම්කරු නීති ලිහිල් කරනවා මිස වැඩ කරන එවුන්ගේ අයිතිවාසිකම් රකින්නේ නැත. ඒ නිසා කොත්තු ගහන්න ආවොත් සේවකයන් එක්වී අනෙක් පැත්තට ගහනවා වගේම, තමන්ගේ අයිතීන් රැකගන්නට පොදුවේ වැඩකරන එවුන් එකතු විය යුතුය. ලොක්කා අතින් පයින් ගැහුවේ නැතත්, ලොක්කන් කරන්නේ තමන්ව සූරාකෑමය. ඔය එක එක නම්වලින් තිබෙන ආයතනවල ලොක්කන් කියන්නේ අපි පවුලක් කියාය. අපි යාලුවන් කියාය. ලොක්කන් කියන්නේ යාලුවන් නොවේ! උන් එන්නේ සූරාකෑමටය.
