සංවිධානාත්මක අපරාධ පනත පොලීසියට හිතේ හැටියට අවභාවිත කළ හැකියි! – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නීතිඥ සංගමය වෙනුවෙන් පෙන්වාදුන් කරුණු!

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත හරහා පොලිසියට සහ විධායකයට පුළුල් බලතල ලබාදීම, මහේස්ත්‍රාත්වරුන්ගේ අධිකරණමය අභිමතය සීමා කිරීම, සැකකරුවන් වසරක් දක්වා පොලිස් භාරයේ රඳවා තැබීමට අවස්ථාව සැලසීම, පොලිසිය ඉදිරියේ ලබාගන්නා පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීම සහ අධිකරණ නඩු කටයුතු වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය සීමා කිරීම ඇතුළු බරපතළ කරුණු ගණනාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබේ.

එම සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 2026 නොවැම්බර් 04 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින්, පනත් කෙටුම්පත මගින් පොලිසියට ලබාදෙන පුළුල් බලතල අවභාවිත වීමේ අවදානම සහ අධිකරණ වාර්තාකරණයට බාධා ඇති කිරීම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කර තිබේ. මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථා විරෝධී විධිවිධාන සම්මත කිරීමට ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බව ද ඔහු අධිකරණය හමුවේ අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් 2026 ඔක්තෝබර් 28 වැනිදා ගොනු කළ විශේෂ නිර්ණය පෙත්සමේ පනත් කෙටුම්පතේ වගන්ති 34ක් සහ පළමු උපලේඛනය නිශ්චිතව අභියෝගයට ලක් කර තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා විසිනි. පෙත්සම්කරුවන් වෙනුවෙන් ලියාපදිංචි නීතිඥවරුන් ලෙස රම්සි බාචා ඇසෝසියේට්ස් නීතිඥ සමාගම කටයුතු කර තිබේ. පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයාය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් හමුවේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම් 26ක විභාගය නොවැම්බර් 04 වැනිදා අවසන් වූ අතර, පෙත්සම්කාර පාර්ශ්වයන්ට නොවැම්බර් 05 වැනිදා පස්වරු 4ට පෙර ලිඛිත දේශන ගොනු කරන ලෙසත් නීතිපතිවරයාට නොවැම්බර් 09 වැනිදා ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර තිබේ.

නීතිඥ සංගමය ඉදිරිපත් කළ පෙත්සමෙහි මූලික තර්කය වන්නේ, සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පිළිගන්නා නමුත්, එම අරමුණ සඳහා හඳුන්වාදෙන නීතියකින් සාමාන්‍ය පුරවැසියන්ගේ නිදහස, සාධාරණ නඩු විභාගයක් ලබාගැනීමේ අයිතිය සහ අධිකරණයේ ස්වාධීනත්වය දුර්වල කළ නොහැකි බවයි.

විශේෂයෙන්ම මෙම පනත යටතේ ඇති විශේෂ ක්‍රමවේද හරහා, සාමාන්‍ය නීතිය යටතේ දැනටමත් දඬුවම් කළ හැකි වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන්ට අසාමාන්‍ය අත්අඩංගුවට ගැනීමේ, රඳවා තැබීමේ, විමර්ශනය කිරීමේ සහ නඩු පැවරීමේ ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. මේ ලිපිය එම සංගමය විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමේ සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඉදිරිපත් කළ කරුණු අන්තර්ගත කරමින් ලියන ලද්දකි.

මහජන අදහස් විමසීමකින් තොරව සකස් කළ පනතක්

පෙත්සමේ 11 සහ 12 ඡේදවලින් නීතිඥ සංගමය සඳහන් කරන්නේ, සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම වැනි බරපතළ නීති සම්පාදන කටයුත්තකදී නීතිඥ සංගමය සහ අදාළ වෙනත් පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කළ යුතු වුවත්, මෙම පනත් කෙටුම්පත සකස් කිරීමට පෙර එවැනි උපදේශන ක්‍රියාවලියක් සිදු නොකළ බවයි.

පොදු මහජනතාවගේ අදහස් ද විමසා නොමැති බවට එහි චෝදනා කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ නීතිඥ සංගමය 2026 ඔක්තෝබර් 21 වැනිදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පනත් කෙටුම්පත පිළිබඳ බරපතළ කනස්සල්ල පළ කළේය.

එම ප්‍රකාශයෙන් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගෙන, අදාළ ජාත්‍යන්තර සම්මුතියේ විෂය පථයට සීමා වූ සහ මහජන අදහස් විමසීමකින් සකස් කරන විකල්ප නීතියක් හඳුන්වාදෙන ලෙස ඉල්ලා තිබිණි.

ජනතාවගේ පරමාධිපත්‍යයට පවා බලපාන පනතක්

නීතිඥ සංගමයේ පෙත්සම ආරම්භ වන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍යය පිළිබඳ කරුණු දැක්වීමෙනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව තුළ පිහිටා ඇති අතර එය අත්හළ නොහැකිය. ආණ්ඩු බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය එයට ඇතුළත්ය.

4(ඇ) ව්‍යවස්ථාවෙන් ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක වන ආකාරය සඳහන් කරන අතර, 4(ඈ) ව්‍යවස්ථාවෙන් රජයේ සියලු ආයතන මූලික අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව සහ ඒවා ආරක්ෂා කළ යුතු බව අවධාරණය කරයි.

පෙත්සම්කරුවන්ගේ තර්කය අනුව අධිකරණ බලය නිසි ලෙස ක්‍රියාත්මක වීම සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වීම හුදෙක් ක්‍රියාපටිපාටිමය කාරණා නොව ජනතා පරමාධිපත්‍යයේ අත්‍යවශ්‍ය අංග වේ.

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(2) ව්‍යවස්ථාව විශේෂයෙන් අදාළ කරගෙන තිබේ.

එම ව්‍යවස්ථාවේ අර්ථය අනුව, අත්අඩංගුවට ගෙන හෝ වෙනත් ආකාරයකින් නිදහස අහිමි කර ඇති පුද්ගලයකු නිසි අධිකරණයක විනිසුරුවරයකු හමුවට ඉදිරිපත් කළ යුතු අතර, එම විනිසුරුවරයාගේ නීත්‍යනුකූල ආඥාවකින් තොරව තවදුරටත් රඳවා තැබිය නොහැකිය.

නමුත් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, විනිසුරුවරයකු ඉදිරියට සැකකරුවකු ශාරීරිකව ඉදිරිපත් කිරීම පමණක් මෙම ව්‍යවස්ථාමය ආරක්ෂාව ඉටු කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.

සැකකරු තවදුරටත් රඳවා තැබිය යුතුද නැද්ද යන්න ස්වාධීනව තීරණය කිරීමේ සැබෑ බලයක් විනිසුරුවරයාට තිබිය යුතුය.

විධායකය විසින් කලින්ම ගෙන ඇති තීරණයක් අනුමත කිරීමට විනිසුරුවරයාට නියම කරන්නේ නම්, එය අධිකරණ බලය නිසි ලෙස ක්‍රියාත්මක වීමක් නොවනු ඇතැයි පෙත්සමේ සඳහන් වේ.

මෙහිදී 2002 වසරේ දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ නිර්ණය ද නීතිඥ සංගමය උපුටා දක්වා තිබේ. එම තීරණයේදී ජනතා පරමාධිපත්‍යය සහ එම බලය ක්‍රියාත්මක වන ආකාරය අතර ඇති සම්බන්ධතාව සලකා බලා තිබීම එයට හේතුවයි.

3 සහ 66 වගන්ති: සංවිධානාත්මක අපරාධය යන අර්ථය අතිශයින් පුළුල් කිරීම

පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තිය අනුව, එම පනතේම සඳහන් වැරදි, පළමු උපලේඛනයේ සඳහන් වැරදි සහ වසර හතරකට හෝ ඊට වැඩි උපරිම සිරදඬුවමක් නියම කළ හැකි වැරදි බරපතළ අපරාධ ලෙස අර්ථ දක්වා ඇත.

මෙහිදී පළමු උපලේඛනය යනු පනතට අමුණා ඇති, වෙනත් නීතිවල අදාළ වැරදි සඳහන් ලැයිස්තුවයි.

එහි වෙනත් නීති යටතේ දැනටමත් දඬුවම් කළ හැකි වැරදි 53ක් සඳහන් වේ. බුද්ධිමය දේපළ, සුරාබදු, වන සංරක්ෂණය ඇතුළු සංවිධානාත්මක අපරාධවලට අනිවාර්යයෙන්ම සම්බන්ධ නොවන ක්ෂේත්‍රවල වැරදි ද එයට අයත්ය.

උදාහරණ වශයෙන් පළමු උපලේඛනයේ 33 සිට 41 දක්වා අයිතමවලට 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ වැරදි නවයක් ඇතුළත් කර තිබේ. ප්‍රකාශන අයිතිය, කාර්මික සැලසුම්, පේටන්ට් බලපත්‍ර සහ වෙළඳ ලකුණු උල්ලංඝනය කිරීම් ඒ අතර වේ.

අනෙක් අතට පනත් කෙටුම්පතේ 66 වැනි වගන්තියෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් අර්ථ දක්වා ඇත.

එම අර්ථ නිරූපණයේ ප්‍රධාන අංගය වන්නේ පුද්ගලයන් තිදෙනකු හෝ ඊට වැඩි පිරිසකින් සමන්විත, මූල්‍යමය හෝ වෙනත් ද්‍රව්‍යමය ප්‍රතිලාභයක් ලබාගැනීමේ අරමුණින් බරපතළ අපරාධවල නිරත වන ව්‍යුහගත කණ්ඩායමකි.

එහෙත් එවැනි කණ්ඩායමකට නිශ්චිත නිලතල ව්‍යුහයක්, අඛණ්ඩ සාමාජිකත්වයක් හෝ විධිමත් සංවිධාන රටාවක් තිබීම අනිවාර්ය නොවේ.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, මෙම පුළුල් අර්ථ නිරූපණ දෙක එක්ව භාවිත කිරීමෙන් සාමාන්‍ය නීතිය යටතේ විමර්ශනය කරන වැරදි පවා විශේෂ අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා තැබීමේ බලතල යටතට ගත හැකි තත්ත්වයක් නිර්මාණය වන බවයි.

යම් සිද්ධියකට කිහිපදෙනකු සම්බන්ධ වී සිටීම සහ මූල්‍යමය ප්‍රතිලාභයක් ලබාගැනීමේ අරමුණක් චෝදනා කිරීම මත පමණක් සංවිධානාත්මක අපරාධ පාලනය සඳහා වූ විශේෂ නීති ක්‍රමයක් යොදාගැනීමේ අවදානමක් ඇතැයි පෙත්සමේ සඳහන් වේ.

එවැනි තත්ත්වයකදී සමාන වැරදි සිදුකරන පුද්ගලයන් දෙදෙනකුගෙන් එක් අයකු සාමාන්‍ය අපරාධ නීතිය යටතේත් අනෙක් පුද්ගලයා විශේෂ අපරාධ නීතිය යටතේත් කටයුතු කිරීමට ලක්විය හැකිය.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමානාත්මතාව උල්ලංඝනය වීමට හේතු විය හැකි බව නීතිඥ සංගමය තර්ක කරයි.

මෙම නිර්ණායක ප්‍රමාණවත් තරම් නිශ්චිත නොවීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට පුද්ගලයන් තෝරාගෙන විශේෂ නීතිය යටතේ ක්‍රියාත්මක වීමේ අභිමතයක් නිර්මාණය විය හැකි බව ද එහි සඳහන් වේ.

4(2) වගන්තිය: පච්චයක්, ඇඳුමක්, භාෂාවක් හෝ මිතුරු සම්බන්ධයක් අපරාධ කණ්ඩායම් සාමාජිකත්වයට සාක්ෂියක්ද?

නීතිඥ සංගමයේ පෙත්සමේ විශේෂ අවධානයට ලක් වූ වගන්තියක් වන්නේ පනත් කෙටුම්පතේ 4(2) වගන්තියයි.

එමගින් යම් පුද්ගලයකු සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකුද යන්න තීරණය කිරීමේදී අධිකරණයකට සලකා බැලිය හැකි කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබේ.

පනතේ 4(2)(ඇ) වගන්තියේ සඳහන් වන්නේ,

සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ ප්‍රකට සාමාජිකයන් භාවිත කරන ඇඳුම් විලාසිතා, හස්ත මුද්‍රා, භාෂාව හෝ පච්ච සටහන් ඒ තැනැත්තා විසින් භාවිත කරන්නේ ද යන්න;

යනුවෙනි.

ඒ අනුව කණ්ඩායමක ප්‍රකට සාමාජිකයන් භාවිත කරන ඇඳුම් විලාසිතාවකට සමාන ඇඳුමක් ඇඳ සිටීම, පච්ච සටහනක් තිබීම හෝ එකම භාෂා විලාසිතාවක් භාවිත කිරීම පවා සාමාජිකත්වය තීරණය කිරීමේදී සලකා බැලිය හැකි සාධක අතරට ඇතුළත් කර තිබේ.

මෙහි වැදගත් වෙනස වන්නේ පච්චයක් කොටාගැනීම හෝ යම් ඇඳුමක් ඇඳීම පමණක් පනතෙන් අපරාධයක් බවට පත් නොකර තිබීමයි. එහෙත් ඒවා පුද්ගලයකු අපරාධ කණ්ඩායමක සාමාජිකයකු බව නිගමනය කිරීමට උපකාරී වන සාක්ෂිමය සාධක බවට පත් කර තිබේ.

එමෙන්ම 4(2)(අ), (ආ), (ඈ) සහ (ඊ) වගන්ති මගින් අපරාධ කණ්ඩායමක සාමාජිකයන් සමඟ රැස්වීම් පැවැත්වීම, ඔවුන් විසින් පුද්ගලයකු තම සාමාජිකයකු ලෙස හඳුනාගැනීම, ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වීම හෝ ඔවුන් නිතර පැමිණෙන ස්ථානවලට පැමිණීම වැනි කරුණු ද සලකා බැලීමට අවස්ථාව සලසා ඇත.

නීතිඥ සංගමයේ තර්කය වන්නේ සාමාන්‍ය මිත්‍රත්වයන්, පවුල් සම්බන්ධතා, පොදු සමාජ ස්ථානවලට පැමිණීම, ඇඳුම් පැළඳුම් සහ පුද්ගලයකුගේ පෙනුමට අදාළ ලක්ෂණ අපරාධ කණ්ඩායමක සාමාජිකත්වය සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබිය හැකි බවයි.

එහෙත් මෙම නිර්ණායක විමර්ශනවලදී තෝරාගත් පුද්ගලයන්ට එරෙහිව භාවිත කිරීමට හෝ සාක්ෂි ගොඩනැගීමට අවකාශයක් ඇති කරන බවට පෙත්සම්කරුවෝ අනතුරු අඟවති.

4(2)(උ) වගන්තිය ද විශේෂයෙන් අභියෝගයට ලක් කර ඇත.

එමගින් පුද්ගලයකු අපරාධ කණ්ඩායමක ප්‍රකට සාමාජිකයන් සමඟ එක වතාවකට වැඩි ගණනක් අත්අඩංගුවට පත්ව තිබීම ද සාමාජිකත්වය සලකා බැලීමේ සාධකයක් ලෙස භාවිත කළ හැකිය.

මෙහිදී නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ අත්අඩංගුවට ගැනීමක් සහ අධිකරණයෙන් වරදකරු කිරීමක් එකිනෙකට වෙනස් බවයි.

කිසිදු අධිකරණයකින් වරදකරු නොකළ පුද්ගලයකු මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබීම මත ඔහුට අවාසිදායක නීතිමය නිගමන ගොඩනැගීම නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට බලපාන බව ඔවුන්ගේ තර්කය වේ.

මෙම ගැටලුව තවත් උග්‍ර වන්නේ 50 වැනි වගන්තිය සමඟ 4(2) වගන්තිය කියවා බැලීමේදීය.

50 වැනි වගන්තියෙන් සාක්ෂි ආඥාපනතේ 54 වැනි වගන්තියේ සාමාන්‍ය සීමා කිරීම් නොතකා, 4(2) වගන්තියේ කරුණු සාක්ෂි ලෙස සලකා බැලීමට අවස්ථාව ලබාදේ.

එමගින් පුද්ගලයකුගේ පෙර හැසිරීම්, චෝදනා සහ සම්බන්ධතා මත වර්තමාන චෝදනාව පිළිබඳ අවාසිදායක නිගමන ගොඩනැගීමේ අවදානමක් මතු වේ.

තවත් විවේචනයක් වන්නේ පනතේ පුළුල් අර්ථ නිරූපණ යටතේ නීත්‍යනුකූල ව්‍යාපාරික ආයතන, ඒවායේ නියෝජිතයන්, බෙදාහැරීමේ ආයතන සහ සේවකයන් සම්බන්ධ ක්‍රියාකාරකම් පවා සංවිධානාත්මක අපරාධ පිළිබඳ නීතියට සම්බන්ධ කළ හැකි තත්ත්වයක් ඇතිවීමයි.

මෙවැනි අපැහැදිලි නිර්ණායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට පටහැනි බව නීතිඥ සංගමය සඳහන් කර ඇත

5 වැනි වගන්තිය: අපරාධයක් කිරීමට සූදානම් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පනත් කෙටුම්පතේ 5(1) වගන්තිය බරපතළ අපරාධයක් සිදු කිරීමට තැත් කිරීම, අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම සහ ඒ ආශ්‍රිත ක්‍රියා අපරාධ බවට පත් කරයි.

එහි භාවිත කර ඇති වචන අතර,

පහසුකම් සලසන්නේ නම්, උපදෙස් දෙන්නේ නම්, කූට්ටනය කරන්නේ නම්, විධානය කරන්නේ නම්, ආධාර දෙන්නේ නම්, දිරි දෙන්නේ නම්…

යන ක්‍රියා ඇතුළත්ය.

එපමණක් නොව, බරපතළ අපරාධයක් සිදු කිරීමට සූදානම් වීම හෝ ඒ සඳහා සූදානමින් යම් ක්‍රියාවක් සිදු කිරීම ද වගන්තියට ඇතුළත් වේ.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ සැබෑ අපරාධයකට චේතනාන්විතව සහභාගි වූ පුද්ගලයකු සහ අපරාධයකට දුරස්ථව සම්බන්ධ වන, පූර්ව සූදානම් කිරීමේ ස්වභාවයක් ගන්නා හෝ නීත්‍යනුකූල ක්‍රියාවක් කරන පුද්ගලයකු අතර ප්‍රමාණවත් වෙනසක් මෙම වගන්තියෙන් හඳුනා නොගන්නා බවයි.

විශේෂයෙන්ම, අපරාධයක් සිදුවන බව දැන සිටීම හෝ එය සිදු කිරීමේ චේතනාවක් තිබීම පැහැදිලිවම අවශ්‍ය බව නොදැක්වීම මෙහි දෝෂයක් ලෙස හඳුනාගෙන ඇත.

සාමාන්‍ය නීත්‍යනුකූල ක්‍රියාවක් පවා පහසුකම් සැලසීම හෝ දිරිදීම ලෙස අර්ථ නිරූපණය කිරීමේ අවදානමක් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

මේ අනුව මෙම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13(6) ව්‍යවස්ථාවලට පටහැනි බව නීතිඥ සංගමයේ ස්ථාවරයයි. 13(6) ව්‍යවස්ථාව අපරාධ හා දඬුවම් නීතියෙන් නිශ්චිතව ස්ථාපිත කිරීම සහ පසුගිය ක්‍රියාවන්ට ආපසු බලපාන දණ්ඩන නීති පිළිබඳ ආරක්ෂාවට අදාළ වේ.

10 වැනි වගන්තිය: අපරාධයක් නොවන ක්‍රියාවකට සහභාගි වීමත් වරදක්ද?

පනත් කෙටුම්පතේ 10 වැනි වගන්තිය සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට සහභාගි වීම සම්බන්ධයෙන් වේ.

එහි අවසාන කොටසෙහි සඳහන් වන්නේ,

සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක යම් ඕනෑම ක්‍රියාවක දී හිතාමතා ම හෝ දැනුම්වත්ව ම සක්‍රීයව සහභාගි වීම…

වරදක් වන බවයි.

එහි කණ්ඩායමේ අරමුණු පිළිබඳ දැනුම හා සම්බන්ධ කොන්දේසි සඳහන් වුවද, අදාළ ක්‍රියාවම අපරාධයක් වීම අනිවාර්ය කර නොමැති බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

ඒ අනුව නීත්‍යනුකූල ක්‍රියාවකට සහභාගි වීම සහ අපරාධයකට චේතනාන්විතව සහභාගි වීම අතර වෙනස ප්‍රමාණවත් ලෙස දක්වා නැතැයි ඔවුහු තර්ක කරති.

අපරාධයක් ලෙස සැලකෙන හැසිරීම කුමක්ද යන්න කලින් හඳුනාගත හැකි පරිදි නීතිය නිශ්චිත විය යුතු අතර, මෙම වගන්තියේ පුළුල් වචන භාවිතය එම අවශ්‍යතාවට නොගැළපෙන බවට විරෝධතා ඉදිරිපත් කර ඇත.

මේ හේතුවෙන් 10 වැනි වගන්තිය ද 12(1) සහ 13(6) ව්‍යවස්ථාවලට පටහැනි බවට පෙත්සමේ චෝදනා කර තිබේ.

12 වැනි වගන්තිය: අපරාධයක් බව නොදැන සිටියත් වගකිව යුතුද?

පනත් කෙටුම්පතේ 12 වැනි වගන්තිය වංචාකාරී ක්‍රියා රටාවන් හරහා ලබාගන්නා දේපළ සහ එවැනි දේපළ ව්‍යාපාරික කටයුතුවලට යොදාගැනීම සම්බන්ධයෙන් වේ.

එහි 12(1) වගන්තිය තුළ දේපළ වංචාකාරී ක්‍රියා රටාවකින් උපයාගෙන ඇති බව,

සාධාරණව දැන සිටිය හැකිව තිබීම

යන නිර්ණායකය ද භාවිත කර ඇත.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, අපරාධයකින් ලබාගත් දේපළක් බව පුද්ගලයකු සැබවින්ම දැන සිටීම සහ ඔහු ඒ බව සාධාරණව දැන සිටිය යුතු යැයි පසුව නිගමනය කිරීම අතර වෙනසක් ඇති බවයි.

එම නිර්ණායකයෙන් අපරාධයකට දැනුවත්ව සහභාගි වූ බව හෝ සැබෑ දැනුමක් තිබූ බව ඔප්පු කිරීමේ අවශ්‍යතාව දුර්වල විය හැකි බවට ඔවුහු තර්ක කරති.

මෙහි දෙවැනි ප්‍රධාන විරෝධය 12(2) වගන්තිය පිළිබඳවයි.

එමගින් පනත ක්‍රියාත්මක වීමට පෙර සිදු වූ ක්‍රියා ද වංචාකාරී ක්‍රියා රටාවක් හඳුනාගැනීමේදී සලකා බැලීමට අවස්ථාව සලසා ඇත.

නීතිඥ සංගමයේ තර්කය අනුව, පෙර සිදු වූ ක්‍රියාවකට නව අපරාධ නීතියක් යටතේ නීතිමය ප්‍රතිවිපාක ඇති කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පසුගිය ක්‍රියාවන්ට ආපසු බලපාන දණ්ඩන නීති පිළිබඳ ආරක්ෂාවට බලපායි.

එබැවින් 12 වැනි වගන්තිය 12(1) සහ 13(6) ව්‍යවස්ථාවලට පටහැනි බව ඔවුන්ගේ ස්ථාවරයයි.

13 වැනි වගන්තිය: නොදන්නා දෙයක් සොයා නොබැලීම ද අපරාධ වගකීමකට පදනම් වෙයිද?

13 වැනි වගන්තියෙන් යම් සිද්ධියක් පිළිබඳව පුද්ගලයකු දැනුම්වත් බව හෝ දැන සිටිය යුතු බව නිගමනය කිරීමේ විධිවිධාන සලසා ඇත.

මෙහිදී අදාළ පුද්ගලයාගේ දැනුම, කුසලතා, පුහුණුව, පළපුරුද්ද සහ සාධාරණ විමසිලිමත්භාවය වැනි සාධක සලකා බලයි.

නීතිඥ සංගමයේ විරෝධය වන්නේ යම් සිද්ධියක් පිළිබඳ තොරතුරු සොයා නොබැලීම, එම සිද්ධිය ඇත්ත වශයෙන්ම දැන සිටීමකට සමාන තත්ත්වයකට පත් කළ හැකි බවයි.

මෙය පුද්ගලයකුගේ සැබෑ දැනුම වෙනුවට, ඔහු දැන සිටිය යුතු යැයි උපකල්පනය කරන තත්ත්වයක් මත අපරාධ වගකීමක් ගොඩනැගීමට ඉඩ සලසන බව පෙත්සමේ සඳහන් වේ.

එවැනි නීතිමය නිර්ණායකයක් අපැහැදිලි හා අත්තනෝමතික වීම මෙන්ම නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට පටහැනි විය හැකි බව ඔවුහු තර්ක කරති.

මේ අනුව 13 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13(5) ව්‍යවස්ථාවලට පටහැනි බවට විරෝධතා ඉදිරිපත් කර ඇත.

14(3) වගන්තිය: අධිකරණයේ සිදුවන දේ වාර්තා කිරීමටත් අවසර ගත යුතුයි!

මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් නීතිඥ සංගමය ඉදිරිපත් කළ බරපතළම විරෝධයක් වන්නේ පනත් කෙටුම්පතේ 14(3) වගන්තියයි.

එහි සඳහන් වන්නේ,

යම් අධිකරණයක පූර්ව අවසරය නොමැතිව මේ පනත යටතේ බරපතළ අපරාධයකට අදාළව යම් අධිකරණයක පැවැත්වෙන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් යම් කාරණයක් මුද්‍රණය කරන හෝ ප්‍රසිද්ධියට පත් කරන යම් තැනැත්තකු විසින් වරදක් සිදු කරනු ලබන…

බවයි.

මෙම වරදට වසර දෙකක් නොඉක්මවන සිරදඬුවමක්, දඩයක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකිය.

මෙම වගන්තියෙන් පනත යටතේ සිදුවන අධිකරණ නඩු කටයුතු පිළිබඳ වාර්තා පළකිරීමට පෙර අධිකරණයේ අවසරය ලබාගැනීම අවශ්‍ය කරයි.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මෙය හුදෙක් රහසිගත තොරතුරු, අවදානමට ලක්විය හැකි සාක්ෂිකරුවන්, ආරක්ෂාව අවශ්‍ය වින්දිතයන් හෝ යුක්තිය පසිඳලීමට හානි විය හැකි තොරතුරු වාර්තා කිරීම සීමා කරන විධිවිධානයක් නොවන බවයි.

ඒ වෙනුවට පනත යටතේ වන බරපතළ අපරාධයකට අදාළ ඕනෑම අධිකරණ නඩු කටයුත්තක් පිළිබඳ කරුණු පළකිරීමට මෙම සීමාව සාමාන්‍යයෙන් අදාළ කර තිබේ.

මේ අනුව එවැනි නඩුවකදී විනිසුරුවරයකු කළ ප්‍රකාශයක්, නීතිඥයකු ඉදිරිපත් කළ කරුණක් හෝ අධිකරණය ලබාදුන් නියෝගයක් වාර්තා කිරීමට පවා පූර්ව අවසරය ලබාගැනීමේ අවශ්‍යතාව මතුවිය හැකිය.

නීතිඥ සංගමයේ ස්ථාවරය වන්නේ අධිකරණ කටයුතු පිළිබඳ වාර්තා කිරීමේ නිදහස, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසේ සහ විවෘත අධිකරණ ක්‍රියාවලියක අත්‍යවශ්‍ය අංගයක් බවයි.

විශේෂයෙන්ම පුද්ගල නිදහස අහිමි කිරීම වැනි කාරණා සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තිබිය යුතුය.

එම නිසා 14(3) වගන්තියෙන් පනවා ඇති සීමාව සාධාරණ නොවන සහ අසමානුපාතික සීමාවක් බවට පෙත්සම්කරුවෝ තර්ක කරති.

ඒ අනුව මෙම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 14(1)(අ) සහ 106 ව්‍යවස්ථාවලට පටහැනි බව නීතිඥ සංගමයේ ස්ථාවරයයි.

මෙහිදී 106 වැනි ව්‍යවස්ථාව විශේෂයෙන් වැදගත් වන්නේ අධිකරණ නඩු විභාග ප්‍රසිද්ධියේ පැවැත්වීමේ ව්‍යවස්ථාමය මූලධර්මය එයට අදාළ වන බැවිනි.

15 වැනි වගන්තිය: සමාගමක අපරාධයකට සියලු අධ්‍යක්ෂවරුන් වගකිව යුතුද?

පනත් කෙටුම්පතේ 15(1) වගන්තිය අනුව සංස්ථාපිත පුද්ගල මණ්ඩලයක් විසින් බරපතළ අපරාධයක් සිදුකරන අවස්ථාවක එම මණ්ඩලයේ සියලු අධ්‍යක්ෂවරුන්ට ද අපරාධ වගකීමක් පැනවීමට විධිවිධාන සලසා ඇත.

වගන්තියේ සඳහන් වන්නේ අදාළ අපරාධය සිදු කිරීමට එක් එක් අධ්‍යක්ෂවරයා පෞද්ගලිකව වගකීමක් භාර නොගත්තද,

ඒ සංස්ථාපිත මණ්ඩලයේ සියලු අධ්‍යක්ෂවරු … වෙන වෙනව වගකීමට බැඳී සිටිය යුතු ය.

යනුවෙනි.

එහෙත් අදාළ වරද තමන්ගේ දැනුමකින් තොරව සිදු වූ බව හෝ වරද වැළැක්වීමට නිසි උත්සාහයක් ගත් බව පෙන්වාදීමට අධ්‍යක්ෂවරයාට අවස්ථාව ඇත.

15(1)(අ) අනුව එම කරුණු විමර්ශන නිලධාරියාට පැහැදිලි කළහොත් නඩු නොපැවරිය යුතු අතර, 15(1)(ආ) අනුව අධිකරණය ඉදිරියේ සම්භාවිතා වැඩි බර අනුව එම කරුණු ඔප්පු කළහොත් වරදකරු ලෙස නොසැලකිය යුතුය.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ අපරාධයට පෞද්ගලිකව සම්බන්ධ වූ බව, දැන සිටි බව, චේතනාවක් තිබූ බව හෝ වගකීම් පැහැරහැරීමක් සිදු වූ බව පැමිණිල්ලෙන් ඔප්පු නොකර, අධ්‍යක්ෂ ධුරය දැරීම මතම අපරාධ වගකීමක් පැනවීම වැරදි බවයි.

මෙහිදී විමර්ශන නිලධාරියකුට අධ්‍යක්ෂවරයා දක්වන පැහැදිලි කිරීම ප්‍රමාණවත්ද යන්න තීරණය කිරීමට ඇති අවකාශය ද අත්තනෝමතික බලයක් විය හැකි බවට ඔවුහු තර්ක කරති.

ඒ අනුව 15 වැනි වගන්තිය 12(1), 13(3) සහ 13(5) ව්‍යවස්ථාවලට පටහැනි බවට විරෝධතා ඉදිරිපත් කර ඇත.

17 වැනි වගන්තිය: වරෙන්තුවක් නැතිව නිවසකට ඇතුළු වී සෝදිසි කිරීම

17(1) වගන්තියෙන් පොලිස් නිලධාරීන්ට පුද්ගලයන් සහ වාහන නැවැත්වීම, ප්‍රශ්න කිරීම, අත්අඩංගුවට ගැනීම සහ භාණ්ඩ පොලිස් භාරයට ගැනීම ඇතුළු පුළුල් බලතල ලබාදෙයි.

එහි 17(1)(ඇ) වගන්තියෙන්,

සෝදිසි වරෙන්තුවක් නොමැතිව යම් පරිශ්‍රයකට හෝ ඉඩමකට ඇතුළු වී සෝදිසි කිරීම;

යන බලය ලබාදී තිබේ.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් අධිකරණ අවසරයක් අවශ්‍ය කරන සෝදිසි කිරීම් පවා මෙම විශේෂ නීතිය යටතේ අධිකරණ අවසරයක් නොමැතිව සිදු කිරීමට ඉඩ සලසා ඇති බවයි.

මෙහිදී පෙත්සමේ නිශ්චිත උදාහරණයක් ලෙස දක්වා ඇත්තේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 197 වැනි වගන්තිය ය.

එම වගන්තිය යටතේ සෝදිසි කිරීමේ ක්‍රියාමාර්ගවලට අධිකරණ අවසරය අවශ්‍ය වන නමුත්, බුද්ධිමය දේපළ පනතේ තෝරාගත් වැරදි නව පනතේ පළමු උපලේඛනයට ඇතුළත් කර ඇති නිසා, එවැනි සිද්ධියක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සම්බන්ධතාව සහිතව සිදු වූ බවට සැක කරන අවස්ථාවක වරෙන්තුවක් නොමැතිව සෝදිසි කිරීමේ බලය ක්‍රියාත්මක විය හැකිය.

මෙවැනි බලතල සඳහා අසාමාන්‍ය හදිසි අවශ්‍යතාවක් හෝ අධිකරණ අවසරය ලබාගත නොහැකි විශේෂ තත්ත්වයක් තිබිය යුතු බව වගන්තියෙන් නියම නොකිරීම ද පෙත්සම්කරුවන්ගේ විරෝධයට හේතුවකි.

ඒ අනුව පුද්ගල නිදහසට හා දේපළ අයිතිවාසිකම්වලට අත්තනෝමතික ලෙස මැදිහත්වීමේ අවදානමක් ඇති බැවින් 17 වැනි වගන්තිය 12(1) සහ 13(1) ව්‍යවස්ථාවලට පටහැනි බව නීතිඥ සංගමය සඳහන් කරයි.

18(2) වගන්තිය: සාමාන්‍ය පොලිස් නිලධාරියකුටත් හමුදාවේ සහාය ලබාගත හැකියි

පනත් කෙටුම්පතේ 18(2) වගන්තියෙන් පනත යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීමට හෝ සැකකරුවකු පොලිස් ස්ථානයකට රැගෙන යාමට සන්නද්ධ හමුදා සාමාජිකයකුගේ හෝ වෙරළ ආරක්ෂක නිලධාරියකුගේ සහාය ලබාගැනීමට පොලිස් නිලධාරියකුට අවස්ථාව ලබාදී තිබේ.

මෙයට නීතිඥ සංගමය විරුද්ධ වී ඇත්තේ සාමාන්‍ය නීතිය යටතේ සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සන්නද්ධ හමුදා යොදාගැනීමට පවතින සීමාවන් මෙයින් දුර්වල වන බව පවසමිනි.

විශේෂයෙන්ම පෙත්සමේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 95(3) වගන්තිය උපුටා දක්වා ඇත.

නීතිඥ සංගමය සඳහන් කරන්නේ එම වගන්තිය යටතේ නීතිවිරෝධී රැස්වීමක් විසුරුවා හැරීමට හමුදා සහාය ලබාගැනීමට ඉඩ සලසා ඇත්තේ සාමාන්‍ය ක්‍රමවලින් එය විසුරුවා හැරිය නොහැකි සහ මහජන ආරක්ෂාව සඳහා එය අවශ්‍ය වන විශේෂ තත්ත්වයකදී බවයි.

එවැනි සහායක් ඉල්ලා සිටීමට බලය ඇත්තේ මහේස්ත්‍රාත්වරයකුට, දිස්ත්‍රික්කයේ දිසාපතිවරයාට හෝ පොලිස් අධිකාරි නිලයට නොඅඩු නිලධාරියකුට වන අතර, අවම බලය භාවිත කළ යුතු බවට ද ආරක්ෂණ පවතී.

එහෙත් යෝජිත 18(2) වගන්තියෙන් පොලිස් නිලධාරියාගේ නිලය, විශේෂ අවශ්‍යතාව හෝ භාවිත කරන බලයේ සීමාව පිළිබඳ එවැනි කොන්දේසි නොමැතිව හමුදා සහාය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති.

එම නිසා 18(2) වගන්තිය ද 12(1) සහ 13(1) ව්‍යවස්ථාවලට පටහැනි බව ඔවුන්ගේ ස්ථාවරයයි.

19 වැනි වගන්තිය: අත්අඩංගුවට ගැනීම පවුලට දැනුම් නොදී සිටීමටත් ඉඩ

පනත් කෙටුම්පතේ 19(1) වගන්තියෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පැය 24ක් ඇතුළත ඒ පිළිබඳ ඔහුගේ ළඟම ඥාතියකුට දැනුම් දිය යුතු බව සඳහන් කරයි.

එහෙත් එම වගන්තියේ ව්‍යතිරේකයෙන් එසේ දැනුම් දිය නොහැකි අවස්ථාවක හේතු සටහන් කිරීමට පොලිස් නිලධාරියාට අවස්ථාව සලසා ඇත.

නීතිඥ සංගමයේ විරෝධය වන්නේ මෙවැනි ව්‍යතිරේකයක් යටතේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දැනුම් දීම මඟහැරීමට පොලිසියට ඉඩ ලැබිය හැකි බවයි.

19(2) වගන්තියෙන් සැකකරු සඳහන් කරන වෙනත් පුද්ගලයකුට දැනුම් දීමට හැකි සෑම පියවරක්ම ගත යුතු බව නියම කර ඇතත්, දැනුම් දීම අවසන් කළ යුතු නිශ්චිත කාලසීමාවක් නොමැති බව ද පෙත්සමේ සඳහන් වේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවකු අත්අඩංගුවේ සිටින බව හෝ ඔහු රඳවා ඇති ස්ථානය පිළිබඳ ඔහුගේ පවුලට නොදැන සිටීමට සිදුවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

ඊට අමතරව 19(4) වගන්තියෙන්,

එම සැකකරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් තොරව මුදා හරිනු නොලැබිය යුතු…

බව සඳහන් කර තිබේ.

මෙයට නීතිඥ සංගමය විරුද්ධ වන්නේ පුද්ගලයකු වැරදීමකින් අත්අඩංගුවට ගෙන ඇති බව පසුව හෙළි වුවද, ඔහු පිළිබඳ සැකය පදනම් විරහිත බව අනාවරණය වුවද, මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන තුරු මුදාහැරීමේ හැකියාව මෙම වගන්තියෙන් සීමා කරන බැවිනි.

මෙය අනවශ්‍ය රඳවා තැබීමක් දක්වා පරිවර්තනය විය හැකි බව පෙත්සමේ සඳහන් වේ.

ඒ අනුව 19 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 13(1) සහ 13(2) ව්‍යවස්ථාවලට පටහැනි බවට විරෝධතා ඉදිරිපත් කර ඇත.

20 වැනි වගන්තිය: මහේස්ත්‍රාත්වරයා විධායකයේ තීරණයට අත්සන් කරන නිලධාරියකු බවට පත්වෙයිද?

20 වැනි වගන්තිය පනත් කෙටුම්පතේ වඩාත්ම බරපතළ අභියෝගයට ලක් වූ විධිවිධානයකි.

20(1) වගන්තිය අනුව අත්අඩංගුවට ගන්නා සැකකරුවකු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පෙර පැය 72ක් දක්වා පොලිස් භාරයේ තබාගැනීමට අවස්ථාව ඇත. ඇතැම් අවස්ථාවල ගමන් කාලය මෙම කාලසීමාවෙන් බැහැර කළ හැකිය.

20(3)(අ) අනුව විධායකය විසින් රඳවා තැබීමේ නියමයක් නිකුත් කර තිබේ නම්,

මහේස්ත්‍රාත්වරයා විසින් එම රඳවා තැබීමේ නියමය බලාත්මක කිරීම සඳහා ආඥාවක් කරනු ලැබිය යුතු…

ය.

20(3)(ආ) අනුව එවැනි නියමයක් නොමැති නම්,

මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු රිමාන්ඩ් භාරයේ තබනු ලැබිය යුතු ය.

නීතිඥ සංගමය විශේෂයෙන් අවධානය යොමු කර ඇත්තේ මෙම විධිවිධාන දෙකෙහිම භාවිත කරන කළ යුතුය යන අනිවාර්ය වචනවලටය.

එමගින් මහේස්ත්‍රාත්වරයාට ස්වාධීනව සාක්ෂි හා කරුණු විමසා, සැකකරු තවදුරටත් රඳවා තැබීමට අවශ්‍ය නීතිමය පදනම තිබේදැයි තීරණය කිරීමේ බලය පැහැදිලිව ලබාදී නැතැයි ඔවුහු තර්ක කරති.

විධායකය රඳවා තැබීමේ නියමයක් නිකුත් කර තිබේ නම් එය බලාත්මක කළ යුතුය. එවැන්නක් නොමැති නම් රිමාන්ඩ් කළ යුතුය.

මෙම තත්ත්වය යටතේ මහේස්ත්‍රාත්වරයා වෙත සැකකරුවකු ඉදිරිපත් කිරීම, ස්වාධීන අධිකරණමය පරීක්ෂාවකට වඩා විධායක තීරණයක් අනුමත කිරීමේ ක්‍රියාවලියක් බවට පත්විය හැකි බව පෙත්සම්කරුවන්ගේ විරෝධයයි.

එය ජනතාවගේ අධිකරණ බලය සහ පුද්ගල නිදහස පිළිබඳ ව්‍යවස්ථාමය ආරක්ෂාවට බලපාන බව ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව 20 වැනි වගන්තිය 12(1), 13(1), 13(2) සහ 13(3) ව්‍යවස්ථාවලට පටහැනි බවට විරෝධතා ඉදිරිපත් කර ඇත.

21 වැනි වගන්තිය: වසරක් දක්වා පොලිස් භාරයේ රඳවා තැබීම

21 වැනි වගන්තියෙන් පොලිසිය විෂයය පවරා ඇති අමාත්‍යාංශයේ ලේකම්වරයාට රඳවා තැබීමේ නියමයන් නිකුත් කිරීමට බලය ලබාදී තිබේ.

21(3) වගන්තියෙන් එක් නියමයක් වරකට මාස දෙකක් නොඉක්මවන කාලයකට නිකුත් කළ හැකි අතර, සමස්ත කාලසීමාව වසරක් නොඉක්මවිය යුතු බව සඳහන් වේ.

21(4) වගන්තිය අනුව මෙවැනි නියමයක් නිකුත් කළ හැකි අරමුණු අතර,

සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට පහසුකම් සැලසීම;

සහ සැකකරුගෙන් ප්‍රශ්න කිරීම, සාක්ෂි ලබාගැනීම වැනි කාරණා ඇතුළත් වේ.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මෙහිදී වසරක් දක්වා පුද්ගලයකු පොලිස් භාරයේ තබාගැනීමට ඇති මූලික තීරණය විනිසුරුවරයකු විසින් නොව විධායක නිලධාරියකු විසින් ගනු ලබන බවයි.

මෙවැනි දීර්ඝ කාලයක් පොලිස් භාරයේ තබාගැනීම, විශේෂයෙන්ම ප්‍රශ්න කිරීම් සහ සාක්ෂි ලබාගැනීම් සඳහා රඳවා තැබීම, සැකකරුවන්ට බලපෑම් කිරීම, බිය ගැන්වීම, වධහිංසා පැමිණවීම සහ වෙනත් අයුතු සැලකීම් සිදුවීමේ අවදානමක් ඇති කරන බවට පෙත්සමේ අනතුරු අඟවා ඇත.

මෙම අවදානම තවත් බරපතළ කරන්නේ 46 සහ 47 වගන්ති මගින් පොලිසියට කරන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට අවකාශය සලසා තිබීමයි.

පොලිසිය විසින් දීර්ඝ කාලයක් ප්‍රශ්න කර ලබාගන්නා ප්‍රකාශ පසුව එම පොලිස් විමර්ශනය මත පදනම් වූ නඩුවකදී සාක්ෂි ලෙස භාවිත කිරීමට ඉඩ ලැබීම වධහිංසා වැළැක්වීමේ නීතිමය ආරක්ෂණවලට බලපාන බව නීතිඥ සංගමයේ ස්ථාවරයයි.

ඒ අනුව 21 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1), 13(2), 13(3) සහ 13(5) ව්‍යවස්ථාවලට පටහැනි බවට පෙත්සමේ සඳහන් වේ. මෙහි 11 වැනි ව්‍යවස්ථාව වධහිංසා සහ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් තහනම් කරයි.

22 වැනි වගන්තිය: රඳවා තැබීමට හේතු වන තොරතුරුත් රහසිගත කළ හැකියි

22 වැනි වගන්තිය රඳවා තැබීමේ නියමයක් දීර්ඝ කිරීම පිළිබඳව වේ.

එහිදී සැකකරු මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීම සහ රඳවා තැබීම දීර්ඝ කිරීම පිළිබඳ අධිකරණයෙන් තීරණයක් ලබාගැනීමේ විධිවිධාන පවතී.

එහෙත් 22(3) වගන්තිය අනුව විමර්ශන කටයුතුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම අවශ්‍ය බව පෙන්වා මහාධිකරණයෙන් රහස්‍යභාවය සම්බන්ධ ආඥා ලබාගැනීමට ඉඩ ඇත.

නීතිඥ සංගමයේ විරෝධය වන්නේ සැකකරු තවදුරටත් රඳවා තැබීමට විධායකය ඉදිරිපත් කරන තොරතුරු සැකකරුගෙන් රහසිගත කර තබන තත්ත්වයකදී, එම රඳවා තැබීම සාධාරණද යන්න සැකකරුට ඵලදායීව අභියෝග කිරීමේ අවස්ථාව අහිමි විය හැකි බවයි.

මහාධිකරණයෙන් අධිකරණ අධීක්ෂණයක් සැලසුවද, සැකකරුට තමන්ට එරෙහිව ඉදිරිපත් කළ කරුණු දැනගැනීමට හෝ ඒවාට පිළිතුරු දීමට ප්‍රමාණවත් අවස්ථාවක් නොලැබේ නම් එම අධිකරණමය ආරක්ෂාව ප්‍රායෝගිකව දුර්වල වන බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව 22 වැනි වගන්තිය 20 සහ 21 වගන්ති සමඟ කියවීමේදී 12(1), 13(2) සහ 13(3) ව්‍යවස්ථාවලට පටහැනි බව ඔවුහු තර්ක කරති.

23 වැනි වගන්තිය: ඇප ලබාගැනීමේ අයිතියත් අසමානයි

23(1) වගන්තියෙන් 20(3)(ආ) යටතේ රිමාන්ඩ් භාරයේ තබන සැකකරුවකු මහාධිකරණයෙන් ඇප මත මුදාහැරීමට අවස්ථාව සලසා ඇත.

එහෙත් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ විධායකයේ රඳවා තැබීමේ නියමයන් යටතේ පොලිස් භාරයේ සිටින සැකකරුවන්ට එයට සමාන ඍජු ඇප ඉල්ලීමේ නීතිමය මාර්ගයක් 23 වැනි වගන්තියෙන් ලබාදී නොමැති බවයි.

මෙම වෙනස හේතුවෙන් එකම පනත යටතේ චෝදනා ලැබූ පුද්ගලයන් අතර අසමාන තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ඔවුන්ගේ විරෝධයයි.

එමෙන්ම මහාධිකරණයකට පිවිසීම සඳහා ගතවන කාලය, වියදම සහ ප්‍රායෝගික අපහසුතා ද සැලකිල්ලට ගත යුතු බව පෙත්සමේ සඳහන් වේ.

අධිකරණමය පිළියමක් නීතියේ සඳහන් කර තිබීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, එය සැකකරුවකුට ප්‍රායෝගිකව ලබාගත හැකි ඵලදායී පිළියමක් විය යුතු බව නීතිඥ සංගමයේ මූලික තර්කයයි.

මේ අනුව 23 වැනි වගන්තිය 12(1), 13(2), 13(3) සහ 13(5) ව්‍යවස්ථාවලට පටහැනි බවට පෙත්සමේ සඳහන් වේ.

25 වැනි වගන්තිය: රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවකු නැවත පොලිස් භාරයට ගැනීම

25 වැනි වගන්තිය මගින් දැනටමත් අධිකරණ නියෝගයකට අනුව රක්ෂිත බන්ධනාගාරයේ සිටින සැකකරුවකු, වැඩිදුර විමර්ශන සඳහා නැවත පොලිස් භාරයට ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

මෙහිදී මහාධිකරණ නියෝගයක් අවශ්‍ය වන අතර, එමගින් සැකකරු රිමාන්ඩ් භාරයෙන් ඉවත් කර පොලිස් භාරයට මාරු කිරීමට අවස්ථාව ලැබේ.

25(2)(ඈ) වගන්තියෙන්,

සැකකරු හුදෙකලා කොට තබන ලෙස හෝ ආරක්ෂාව යටතේ තබන ලෙස නියෝග කිරීමට;

ද අවස්ථාව ලබාදී තිබේ.

25(3) වගන්තිය අනුව මෙවැනි රඳවා තැබීමේ නියමයක් වරකට සති දෙකක් බැගින්, සමස්තයක් ලෙස මාස හයක් නොඉක්මවන කාලයකට නිකුත් කළ හැකි අතර, දින 14කට වරක් මහාධිකරණ සමාලෝචනයට ලක් කළ යුතුය.

නීතිඥ සංගමය විරුද්ධ වන්නේ අධිකරණයේ අධීක්ෂණය යටතේ බන්ධනාගාරගත කර සිටින සැකකරුවකු නැවත පොලිස් භාරයට පත් කිරීමෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සහ බලපෑම්වලට ලක්වීමේ අවදානම වැඩි වන බව පවසමිනි.

එමෙන්ම සැකකරුවකු හුදෙකලා කර තැබීමට හැකි අවස්ථා, එහි ස්වභාවය සහ සීමාවන් පැහැදිලිව නිර්වචනය කර නොමැති බව ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව 25 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(2) සහ 13(3) ව්‍යවස්ථාවලට පටහැනි බවට පෙත්සමේ සඳහන් වේ.

27 වැනි වගන්තිය: නඩු විභාගය අවසන් වන තුරු විශේෂ රඳවා තැබීමක්

27(1) වගන්තිය මගින් අධිචෝදනා ඉදිරිපත් කර ඇති චූදිතයකු ද සාමාන්‍ය රක්ෂිත බන්ධනාගාර භාරයෙන් ඉවත් කර වෙනත් නීත්‍යනුකූල බලධාරියකුගේ භාරයට පත්කිරීමට අවස්ථාව සලසා ඇත.

එවැනි තීරණයක් ගැනීමේදී ජාතික ආරක්ෂාව, මහජන සාමය හෝ චූදිතයාගේ ජීවිතයට ඇති අවදානම වැනි කරුණු සැලකිල්ලට ගත හැකිය.

මහාධිකරණයේ අනුමැතිය අවශ්‍ය වුවද, නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මෙය නඩු විභාගය අවසන් වනතුරු ක්‍රියාත්මක විය හැකි වෙනම රඳවා තැබීමේ ක්‍රමයක් බවයි.

මෙහිදී 27(2) වගන්තිය විශේෂයෙන් විවේචනය කර ඇත.

එම වගන්තිය අනුව චූදිතයා නියමිත බලධරයා වෙත භාරදීමෙන් අනතුරුව,

බන්ධනාගාර ආඥාපනතේ විධිවිධාන එම තැනැත්තාගේ භාරය සම්බන්ධයෙන් අදාළ වීම අවසන් විය යුතු ය.

නීතිඥ සංගමයේ විරෝධය වන්නේ සාමාන්‍ය බන්ධනාගාර භාරයේ සිටින පුද්ගලයන්ට හිමි නීතිමය ආරක්ෂණ ඉවත් කරන අතර, එයට සමාන සම්පූර්ණ විකල්ප ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වා නොදීමයි.

එවැනි විධිවිධානයක් නඩු විභාගය අවසන් වනතුරු අත්තනෝමතික රඳවා තැබීම් සඳහා අවකාශය සලසන බවත්, වධහිංසාවෙන් නිදහස හා සාධාරණ නඩු විභාගයක් ලබාගැනීමේ අයිතියට බලපාන බවත් ඔවුහු තර්ක කරති.

ඒ අනුව 27 වැනි වගන්තිය 11, 12(1), 13(2), 13(3) සහ 13(5) ව්‍යවස්ථාවලට පටහැනි බවට පෙත්සමේ සඳහන් වේ.

28 වැනි වගන්තිය: දුරකථන, පණිවිඩ සහ ඩිජිටල් දත්ත නිරීක්ෂණය

පනත් කෙටුම්පතේ 28(1) වගන්තියෙන් උපපොලිස් පරීක්ෂකවරයකුගේ නිලයට නොඅඩු නිලධාරියකුට විශේෂ විමර්ශන ක්‍රමවේද භාවිත කිරීමට බලතල ලබාදී ඇත.

ඒ අතර ඩිජිටල් ආවේක්ෂණය, සන්නිවේදන අවහිර කර පටිගත කිරීම, ආවරණ මෙහෙයුම්, උගුල් ඇටවීම සහ පරිගණක හා ජංගම දුරකථනවලින් ඩිජිටල් දත්ත උපුටාගැනීම ඇතුළත් වේ.

වගන්තියෙහි අධිකරණ අවසරය ලබාගැනීම පිළිබඳ විධිවිධාන ඇතත්, එහි භාවිත වන වචන අනුව එවැනි අවසරයක් ලබාගැනීම අනිවාර්යද යන්න අපැහැදිලි බවට නීතිඥ සංගමය චෝදනා කරයි.

28(1) වගන්තියේ විශේෂ කොටසෙහි මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාගැනීම සඳහා ඉල්ලීමක්,

කරනු ලැබිය හැකි ය.

යනුවෙන් සඳහන් කර තිබීම එම විරෝධයට හේතුවකි.

28(2), 28(3) සහ 28(4) වගන්තිවල අධිකරණ අවසරය, සමානුපාතිකත්වය සහ අධිකරණයට ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳ විධිවිධාන තිබුණද, පූර්ව අධිකරණ අවසරය නොමැතිව මෙවැනි බලතල ක්‍රියාත්මක කිරීම නිශ්චිතව තහනම් කර නොමැති බවට පෙත්සම්කරුවෝ තර්ක කරති.

එමෙන්ම සන්නිවේදන නිරීක්ෂණය කළ හැකි උපරිම කාලසීමාව, රැස් කරන දත්ත භාවිත කිරීම, ඒවා ගබඩා කිරීම හා විනාශ කිරීම සහ නීතිඥ–සේවාදායක රහසිගත සන්නිවේදන ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රමාණවත් විධිවිධාන නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව මෙම වගන්තිය 12(1) ව්‍යවස්ථාවට පටහැනි බවට නීතිඥ සංගමය විරෝධතා ඉදිරිපත් කර තිබේ.

32 වැනි වගන්තිය: සැකකරුවකු රඳවා තැබීමට අවශ්‍ය සාක්ෂි මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමේ ආරක්ෂණ ඉවත් කිරීම

පනත් කෙටුම්පතේ 32 වැනි වගන්තියෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ සාමාන්‍ය විධිවිධාන කිහිපයක් අදාළ නොවන බවට නියම කර ඇත.

විශේෂයෙන්ම 32(2) වගන්තිය මෙසේ සඳහන් කරයි.

අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 115 වන සහ 116 වන වගන්තිවල විධිවිධාන මේ පනත යටතේ සැකකරුවකු සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් අදාළ කර නොගත යුතු ය.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(1) වගන්තිය අනුව, පැය 24ක් ඇතුළත විමර්ශන අවසන් කළ නොහැකි අවස්ථාවක සැකකරුවකු මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරන විට විමර්ශන වාර්තාවක් සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවල සාරාංශයක් ඉදිරිපත් කළ යුතු බවයි.

එම පනතේ 115(2) වගන්තියෙන් සැකකරුවකු තවදුරටත් රඳවා තැබීම අවශ්‍යද යන්න සලකා බලා හේතු සටහන් කිරීමේ වගකීම මහේස්ත්‍රාත්වරයාට පැවරී තිබේ.

මෙම විධිවිධාන මගින් පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයාට එරෙහිව ප්‍රමාණවත් කරුණු තිබේද යන්න අධිකරණයට ස්වාධීනව පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබේ.

එහෙත් යෝජිත 32(2) වගන්තියෙන් එම ආරක්ෂණ ඉවත් කිරීමත්, 20(3) වගන්තියෙන් සැකකරු රිමාන්ඩ් කිරීමට හෝ විධායකයේ රඳවා තැබීමේ නියමයක් බලාත්මක කිරීමට මහේස්ත්‍රාත්වරයාට නියම කිරීමත් හේතුවෙන් අධිකරණයේ ස්වාධීන අධීක්ෂණය දුර්වල වන බව නීතිඥ සංගමයේ විරෝධයයි.

මෙහි තවත් විවේචනයක් වන්නේ 32(3) වගන්තිය ය.

එමගින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 306 වැනි වගන්තිය යටතේ අධිකරණයට හිමි කොන්දේසි සහිතව මුදාහැරීමේ අභිමතය මෙම පනත යටතේ බැහැර කර තිබේ.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මෙවැනි අභිමතයක් ඉවත් කිරීම, පළමු උපලේඛනයෙන් බරපතළ අපරාධ ලෙස හඳුනාගෙන ඇති සාපේක්ෂව සුළු වැරදි සම්බන්ධයෙන් පවා අධිකරණයේ දඬුවම් නියම කිරීමේ හැකියාව සීමා කරන බවයි.

ඒ අනුව 32 වැනි වගන්තිය, විශේෂයෙන්ම 32(2) සහ 32(3), ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 13(1) සහ 13(2) ව්‍යවස්ථාවලට පටහැනි බවට පෙත්සමේ සඳහන් වේ.

36 වැනි වගන්තිය: එකම සිද්ධියේ අනෙකුත් වැරදි සඳහාත් විශේෂ පොලිස් බලතල

36 වැනි වගන්තියෙන් මෙම පනත යටතේ බරපතළ අපරාධයක් සහ එම සිද්ධියේදීම වෙනත් නීතියක් යටතේ සිදුවන වැරදි සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලිසියට බලය ලබාදී තිබේ.

මෙහි ප්‍රධාන ගැටලුව ලෙස නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ සංවිධානාත්මක අපරාධයක් ලෙස ස්වාධීනව හඳුනාගත නොහැකි සාමාන්‍ය වැරදි සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන බලතල භාවිත කිරීමට මෙයින් අවස්ථාව ලැබෙන බවයි.

එනම්, යම් සිද්ධියක එක් වරදක් මෙම පනත යටතට වැටෙන බවට සැලකීමෙන් එම සිද්ධිය හා සම්බන්ධ වෙනත් වැරදි සඳහාත් විශේෂ නීතියේ බලතල ව්‍යාප්ත විය හැකිය.

මෙය පනතේ ප්‍රකාශිත අරමුණට වඩා පුළුල් ආකාරයකින් පොලිස් බලතල භාවිත කිරීමට අවස්ථාව සලසන බව ඔවුහු තර්ක කරති.

ඒ අනුව 36 වැනි වගන්තිය 12(1) සහ 13(1) ව්‍යවස්ථාවලට පටහැනි බවට විරෝධතා ඉදිරිපත් කර තිබේ.

41 වැනි වගන්තිය: අධිකරණ අවසරයකින් තොරව නඩු භාණ්ඩ විශේෂඥයන්ට යැවීම

පනත් කෙටුම්පතේ 41(1) වගන්තිය අනුව, පොලිස් ස්ථානය භාර නිලධාරියාට යම් ලේඛනයක්, ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත හෝ වෙනත් දේශීය හෝ විදේශීය විශේෂඥයකු වෙත ඍජුව යැවීමට හැකිය.

එහි සඳහන් වන්නේ,

කෙළින් ම රජයේ රස පරීක්ෂකවරයා වෙත හෝ දේශීය හෝ විදේශීය වෙනත් යම් විශේෂඥයකු වෙත භාර දෙනු ලැබිය හැකි ය.

යනුවෙනි.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 116(3) වගන්තිය යටතේ නඩු භාණ්ඩ විශේෂඥ පරීක්ෂණ සඳහා යොමු කිරීමේදී මහේස්ත්‍රාත්වරයාට හිමි අධීක්ෂණ කාර්යභාරය මෙයින් ඉවත් වන බවයි.

පනත් කෙටුම්පතේ 32(2) වගන්තියෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 116 වැනි වගන්තිය අදාළ නොකරන බවට ද නියම කර ඇත.

ඒ අනුව පොලිසියට තමන් තෝරාගන්නා විශේෂඥයකු වෙත නඩු භාණ්ඩ යොමු කිරීමට හැකිවන අතර, විශේෂඥයන්ගේ සුදුසුකම්, ස්වාධීනත්වය සහ පරීක්ෂණ පැවැත්විය යුතු ප්‍රමිතීන් පිළිබඳ ප්‍රමාණවත් නීතිමය ආරක්ෂණ නොමැති බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති.

මෙම තත්ත්වය අපරාධ විමර්ශනවලදී සාක්ෂිවල විශ්වසනීයත්වය, නඩු භාණ්ඩවල ආරක්ෂාව සහ චූදිතයාට සාධාරණ නඩු විභාගයක් ලබාගැනීමේ අයිතියට බලපෑ හැකි බව ඔවුන්ගේ තර්කයයි.

ඒ අනුව 41 වැනි වගන්තිය 32(2) සමඟ කියවීමේදී 12(1) සහ 13(3) ව්‍යවස්ථාවලට පටහැනි බව සඳහන් කර තිබේ.

43 වැනි වගන්තිය: පුද්ගලයකුට නොදන්වා ඔහුගේ බැංකු තොරතුරු ලබාගැනීම

43(1) වගන්තියෙන් බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ නිශ්චිත මූල්‍ය නොවන ව්‍යාපාරවලින් පුද්ගලයන්ගේ මූල්‍ය තොරතුරු ලබාගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයාගෙන් ආඥාවක් ලබාගැනීමට පොලිසියට අවස්ථාව සලසා ඇත.

මෙම තොරතුරුවලට බැංකු ගිණුම්, තැන්පතු, මුදල් ප්‍රේෂණ, මුදල් ආපසු ගැනීම් සහ වෙනත් මූල්‍ය ගනුදෙනුවල විස්තර ඇතුළත් වේ.

43(3) වගන්තිය අනුව එවැනි ඉල්ලීමක් රහසිගතව සලකා බැලීමට ද අවස්ථාව ඇත.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ අදාළ තොරතුරු හිමි පුද්ගලයාට ඉල්ලීම පිළිබඳ දැනුම් දීමට හෝ ආඥාව නිකුත් කිරීමට පෙර කරුණු දැක්වීමට අවස්ථාවක් ලබාදීමට මෙම වගන්තියෙන් නියම කර නොමැති බවයි.

එමෙන්ම, රහස්‍යභාවය පවත්වාගැනීම අවශ්‍ය වන්නේ ඇයිද යන්න පිළිබඳ විශේෂ හේතු දැක්වීම අනිවාර්ය කර නොමැති බව ද පෙත්සමේ සඳහන් වේ.

වඩාත් වැදගත් වන්නේ තොරතුරු ලබාගැනීමෙන් පසුව හෝ අදාළ පුද්ගලයාට ඒ පිළිබඳ දැනුම් දීමක් සහ ආඥාව අභියෝගයට ලක්කිරීමේ අවස්ථාවක් නිශ්චිතව ලබා නොදීමයි.

මෙවැනි ක්‍රමවේදයකින් පුද්ගලයකුගේ රහසිගත මූල්‍ය තොරතුරු ඔහුට කිසිවිටෙක ඒ පිළිබඳ දැනුම් නොදී ලබාගැනීමට හැකිවන බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එය ස්වාභාවික යුක්ති මූලධර්මවලට පටහැනි බවත්, 12(1), 13(3) සහ 13(5) ව්‍යවස්ථාවලට නොගැළපෙන බවත් පෙත්සම්කරුවෝ තර්ක කරති.

45 වැනි වගන්තිය: රහසිගත පණිවිඩ, සංකේතනය කළ දත්ත සහ නීතිඥ–සේවාදායක සන්නිවේදන

45 වැනි වගන්තියෙන් පොලිසියට සන්නිවේදන තොරතුරු, සංකේතනය කළ දත්ත සහ විද්‍යුත් පණිවිඩවලට ප්‍රවේශය ලබාගැනීම සඳහා විශේෂ බලතල සලසා ඇත.

45(1)(අ) වගන්තිය මගින් දත්ත හෝ තොරතුරු සංකේතනය කර තිබෙන අවස්ථාවක ඒවායේ අවහිර කිරීම් ඉවත් කර තොරතුරු ලබාදෙන ලෙස නියම කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලිය හැකිය.

45(1)(ආ) වගන්තිය අනුව,

යම් තැපැල් පණිවුඩයක් හෝ විද්‍යුත් තැපෑලක් හෝ යම් දුරකථන, හඬ, අන්තර්ජාලය හෝ දෘශ්‍ය සංවාද…

ඇතුළු සන්නිවේදන රඳවා ගැනීම, කියවීම, ඇසීම හෝ පටිගත කිරීම සඳහා බලය ඉල්ලා සිටිය හැකිය.

නීතිඥ සංගමයේ ප්‍රධාන විරෝධය වන්නේ මෙවැනි බලතලවල විෂය පථය, කාලසීමාව සහ ලබාගත් තොරතුරු භාවිත කරන ආකාරය පිළිබඳ ප්‍රමාණවත් ආරක්ෂණ නොමැති බවයි.

විශේෂයෙන්ම නීතිඥයකු සහ ඔහුගේ සේවාදායකයකු අතර සිදුවන රහසිගත සන්නිවේදන මෙවැනි විමර්ශන බලතලවලින් පැහැදිලිව ආරක්ෂා කර නොමැති බවට ඔවුහු චෝදනා කරති.

එවැනි සන්නිවේදන විමර්ශන බලධාරීන්ට ලබාගැනීමට හැකිවීම, පුද්ගලයකුට රහසිගත නීතිමය උපදෙස් ලබාගැනීමේ හැකියාව දුර්වල කළ හැකි බව ඔවුන්ගේ තර්කයයි.

ඒ අනුව 45 වැනි වගන්තිය 12(1) සහ 13(3) ව්‍යවස්ථාවලට පටහැනි බවට පෙත්සමේ සඳහන් වේ.

46 වැනි වගන්තිය: පොලිසියට කරන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ

නීතිඥ සංගමය ඉදිරිපත් කළ බරපතළම විරෝධතා අතර පනත් කෙටුම්පතේ 46 සහ 47 වගන්ති ප්‍රධාන තැනක් ගනී.

46 වැනි වගන්තිය මෙසේ සඳහන් කරයි.

සාක්ෂි ආඥාපනතේ 25 වන, 26 වන සහ 30 වන වගන්තිවල විධිවිධාන මේ පනත යටතේ වූ බරපතළ අපරාධයක් සම්බන්ධයෙන් වන යම් නීති කෘත්‍යයක දී අදාළ නොවිය යුතු ය.

සාක්ෂි ආඥාපනතේ 25 වැනි වගන්තිය අනුව පොලිස් නිලධාරියකුට කරන පාපොච්චාරණ සාමාන්‍යයෙන් විත්තිකරුට එරෙහිව ඔප්පු කළ නොහැකිය.

26 වැනි වගන්තිය පොලිස් භාරයේ සිටියදී සිදුකරන පාපොච්චාරණ පිළිබඳ ආරක්ෂණ සලසා ඇත. එමෙන්ම 30 වැනි වගන්තිය සමවිත්තිකරුවන්ගේ පාපොච්චාරණ සලකා බැලීම සම්බන්ධයෙන් වේ.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මෙම විධිවිධාන අපරාධ සැකකරුවන් වධහිංසා, බිය ගැන්වීම් සහ බලහත්කාරයෙන් ලබාගන්නා පාපොච්චාරණවලින් ආරක්ෂා කිරීම සඳහා ඇති වැදගත් නීතිමය ආරක්ෂණ බවයි.

ඒවා ඉවත් කිරීමෙන් සාමාන්‍ය අපරාධ නීති ක්‍රමය යටතේ පවතින ආරක්ෂාවක් අහිමි වන බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති.

විශේෂයෙන්ම පනතේ 20, 21, 22 සහ 25 වගන්ති යටතේ පොලිස් භාරයේ දීර්ඝ කාලයක් සැකකරුවන් රඳවා තැබීමට ඉඩ සැලසීමත්, එම කාලයේ ලබාගන්නා ප්‍රකාශ නඩු විභාගයේදී සාක්ෂි ලෙස යොදාගැනීමට අවස්ථාව සැලසීමත් එකට සලකා බැලිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

එවැනි ක්‍රමයක් වධහිංසා වැළැක්වීම, සාධාරණ නඩු විභාගය සහ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ආරක්ෂා කිරීම සඳහා ඇති නීතිමය මූලධර්මවලට බරපතළ බලපෑමක් ඇති කරන බව නීතිඥ සංගමයේ ස්ථාවරයයි.

ඒ අනුව 46 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(3) සහ 13(5) ව්‍යවස්ථාවලට පටහැනි බවට පෙත්සමේ සඳහන් වේ.

47 වැනි වගන්තිය: සහකාර පොලිස් අධිකාරිවරයකු ඉදිරියේ කළ පාපොච්චාරණ පිළිගැනීම

47(1) වගන්තිය අනුව පුද්ගලයකු විසින් ලියා අත්සන් කරන ලද ප්‍රකාශයක්, එය පාපොච්චාරණයක් වුවද නොවුවද, පනත යටතේ නඩු කටයුතුවලදී සාක්ෂියක් ලෙස භාවිත කිරීමට අවස්ථාව සලසා ඇත.

එහෙත් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ නිලයට පහළ නිලධාරියකු වෙත කරන ලද ප්‍රකාශයක් සාක්ෂි ලෙස පිළිගත නොහැකි බවට සීමාවක් ද එහි සඳහන් වේ.

නීතිඥ සංගමයේ තර්කය වන්නේ පාපොච්චාරණයක් ලබාගන්නා නිලධාරියා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වීම පමණක් එය බලහත්කාරයෙන් ලබා නොගත් බව සහතික නොකරන බවයි.

47(2) වගන්තිය යටතේ සාක්ෂි ආඥාපනතේ 24 වැනි වගන්තිය අනුව යම් පාපොච්චාරණයක් පිළිගත නොහැකි බව ඔප්පු කිරීමේ භාරය එය පිළිගත නොහැකි බවට ප්‍රකාශ කරන පුද්ගලයාට පවරා ඇත.

එයද නීතිඥ සංගමය දැඩි ලෙස විවේචනය කර තිබේ.

පාපොච්චාරණයක් ස්වේච්ඡාවෙන් ලබාදුන් බව සහ එය සාක්ෂි ලෙස පිළිගත හැකි බව තහවුරු කිරීමේ වගකීම පැමිණිල්ලට තිබිය යුතු බව ඔවුන්ගේ තර්කයයි.

පොලිස් භාරයේ සිටි පුද්ගලයකුට තමන්ට එරෙහිව තර්ජන, බිය ගැන්වීම් හෝ බලපෑම් සිදු වූ බව ඔප්පු කිරීමට සාක්ෂි හා තොරතුරු ලබාගැනීම ඉතා අපහසු විය හැකිය.

මෙහි තවත් බරපතළ විධිවිධානයක් වන්නේ 47(3) වගන්තිය ය.

එමගින් අදාළ කොන්දේසි සපුරන විට එක් චූදිතයකු විසින් කළ ප්‍රකාශයක් ඔහු සමඟ අධිචෝදනා ලැබූ වෙනත් චූදිතයකුට එරෙහිව ද භාවිත කිරීමට අවස්ථාව සලසා ඇත.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ වෙනත් පුද්ගලයකු තමන් නොමැති අවස්ථාවක ලබාදුන් ප්‍රකාශයක් මත චූදිතයකුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කිරීම සාධාරණ නඩු විභාගයට බලපාන බවයි.

පාපොච්චාරණය පටිගත නොකළත් පිළිගන්න පුළුවන්ද?

47(4) වගන්තිය අනුව විධිමත් ප්‍රශ්න කිරීම් ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යයෙන් පටිගත කළ යුතුය.

එහෙත් 47(6) වගන්තිය යටතේ තාක්ෂණික බිඳවැටීමක් හෝ වෙනත් විශේෂ හේතුවක් මත පටිගත කිරීමට නොහැකි අවස්ථාවක පටිගත කිරීමකින් තොරව ප්‍රශ්න කිරීමේ ක්‍රියාමාර්ග පවත්වාගෙන යාමට අවකාශයක් සලසා ඇත.

එවැනි අවස්ථාවක හේතු සටහන් කිරීම සහ හැකි ඉක්මනින් මහේස්ත්‍රාත්වරයාගේ අනුමැතිය ලබාගැනීම ඇතුළු විධිවිධාන දක්වා තිබේ.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ පටිගත කිරීමේ පහසුකම් නොමැති නම් ප්‍රශ්න කිරීම නතර කර එම පහසුකම් ලැබෙන තෙක් සිටිය යුතු බවයි.

තාක්ෂණික දෝෂයක් තිබීම, පාපොච්චාරණයක් ලබාගන්නා අවස්ථාවේ සිදුවූ දේ පිළිබඳ ස්වාධීන වාර්තාවක් නොමැතිවීම සාධාරණීකරණය නොකරන බව ඔවුන්ගේ තර්කයයි.

එමෙන්ම පසුව මහේස්ත්‍රාත්වරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් පටිගත නොකළ ප්‍රශ්න කිරීමකදී සැබවින්ම සිදුවූ දේ තහවුරු කළ නොහැකි බව ඔවුහු පෙන්වා දෙති.

47(8) වගන්තිය යටතේ පටිගත කිරීමේ විධිවිධාන උල්ලංඝනය කර ලබාගත් ප්‍රකාශයක් අනිවාර්යයෙන් බැහැර නොකර, අධිකරණයේ දැඩි පරීක්ෂාවකට යටත්ව සලකා බැලීමට අවස්ථාව ලබාදී තිබීම ද විවේචනයට ලක් කර ඇත.

ඒ අනුව 47 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1) සහ 13(3) ව්‍යවස්ථාවලට පටහැනි බවට නීතිඥ සංගමය විරෝධතා ඉදිරිපත් කර තිබේ.

SC_SD_173_26- CASE BRIEF.pdf

48 වැනි වගන්තිය: හරස් ප්‍රශ්න කිරීමට නොහැකි සාක්ෂිකරුවකුගේ ප්‍රකාශත් සාක්ෂි

පනත් කෙටුම්පතේ 48 වැනි වගන්තියෙන් ඇතැම් ප්‍රකාශ සාක්ෂි ලෙස පිළිගැනීමට විධිවිධාන සලසා ඇත.

48(ආ) වගන්තියෙන් මියගිය හෝ සොයාගත නොහැකි පුද්ගලයකු විසින් මහේස්ත්‍රාත්වරයකු හමුවේ හෝ හඳුනාගැනීමේ පෙරට්ටුවකදී කළ ප්‍රකාශයක්, එම පුද්ගලයා නඩු විභාගයට සහභාගි නොවූ බව හෝ හරස් ප්‍රශ්න කිරීමට නොහැකි වූ බව නොසලකා සාක්ෂි ලෙස භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් හරස් ප්‍රශ්න කිරීම සහ ඔවුන්ගේ ප්‍රකාශවල විශ්වසනීයත්වය අභියෝගයට ලක්කිරීම සාධාරණ නඩු විභාගයක අත්‍යවශ්‍ය අංගයක් බවයි.

එහෙත් මෙම වගන්තියෙන් එවැනි අවස්ථාවක් නොමැතිව සාක්ෂි භාවිත කිරීමට ඉඩ ලැබෙන බව ඔවුහු තර්ක කරති.

ඒ අනුව 48 වැනි වගන්තිය 12(1), 13(3) සහ 13(5) ව්‍යවස්ථාවලට පටහැනි බවට පෙත්සමේ සඳහන් වේ.

49 වැනි වගන්තිය: ලේඛනයක් සන්තකයේ තිබීමෙන්ම එහි ඇති කරුණු සාක්ෂි වෙයිද?

49(1) වගන්තිය අනුව චූදිතයකුගේ හෝ ඔහුගේ නියෝජිතයකුගේ සන්තකයේ, භාරයේ හෝ පාලනයේ තිබී සොයාගත් ලේඛනයක් එය සකස් කළ පුද්ගලයා සාක්ෂිකරුවකු ලෙස කැඳවීමකින් තොරව සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකිය.

එපමණක් නොව, එම ලේඛනයේ අන්තර්ගතය බැලූ බැල්මට පෙනෙන සාක්ෂියක් ලෙස සැලකිය හැකිය.

49(2) වගන්තියෙන් විදේශීය බලධාරියකු නිකුත් කළ සහතිකයක් සහ අදාළ ලේඛනමය සාක්ෂි ද නිශ්චිත කොන්දේසි යටතේ එවැනි සාක්ෂි තත්ත්වයකට පත්කර ඇත.

නීතිඥ සංගමයේ විරෝධය වන්නේ පුද්ගලයකු සන්තකයේ ලේඛනයක් තිබීමෙන් ඔහු එහි සඳහන් කරුණු දැන සිටි බව, පිළිගත් බව හෝ ඒවාට එකඟ වූ බව නිගමනය කළ නොහැකි බවයි.

එසේම විදේශීය බලධාරියකුගේ ලේඛනයක් නීතිපතිවරයා සහතික කිරීම පමණක් එහි අන්තර්ගත කරුණු සත්‍ය බවට සාක්ෂියක් නොවන බව ඔවුහු පෙන්වා දෙති.

ලේඛනයක් සකස් කළ පුද්ගලයා හරස් ප්‍රශ්න කිරීමට නොහැකි අවස්ථාවක එහි සත්‍යතාව හා විශ්වසනීයත්වය අභියෝගයට ලක්කිරීමේ හැකියාව සීමා වේ.

ඒ අනුව 49 වැනි වගන්තිය 12(1) සහ 13(3) ව්‍යවස්ථාවලට පටහැනි බවට පෙත්සමේ සඳහන් වේ.

50 වැනි වගන්තිය: පෙර චෝදනා සහ අත්අඩංගුවට ගැනීම් මත වරදකරු කිරීමේ අවදානම

පනත් කෙටුම්පතේ 50 වැනි වගන්තියෙන් සාක්ෂි ආඥාපනතේ 54 වැනි වගන්තියේ විධිවිධාන පසෙකලා, පනත් කෙටුම්පතේ 4(2) වගන්තියේ කරුණු සාක්ෂි ලෙස සලකා බැලීමට අවස්ථාව ලබාදී ඇත.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ එමගින් පුද්ගලයකුගේ පෙර අපරාධ චෝදනා, හැසිරීම් සහ අපරාධ කණ්ඩායම් සමඟ ඇතැයි කියන සම්බන්ධතා මත ඔහු වර්තමානයේ චෝදනා ලැබූ වරදට වගකිව යුතු බවට නිගමන ගොඩනැගීමේ අවදානමක් ඇතිවන බවයි.

යම් පුද්ගලයකුට එරෙහිව දැනට විභාග වන නිශ්චිත චෝදනාව ඔප්පු කිරීම වෙනුවට, ඔහුගේ පෙර හැසිරීම් හෝ සම්බන්ධතා මත වරදකරු බවට හැඟීමක් ඇතිවිය හැකි බවට ඔවුහු තර්ක කරති.

මෙය නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට බලපාන බවත්, 12(1), 13(3) සහ 13(5) ව්‍යවස්ථාවලට පටහැනි බවත් පෙත්සමේ සඳහන් වේ.

51 වැනි වගන්තිය: සංවිධානාත්මක අපරාධයකට සම්බන්ධ නැති බව හෙළි වුණත් විශේෂ නීතියෙන් සිදුවූ හානිය?

නීතිඥ සංගමයේ පෙත්සමේ විශේෂයෙන් අවධානය යොමු කළ තවත් වගන්තියක් වන්නේ 51 වැනි වගන්තියයි.

මෙම වගන්තියෙන්, නඩු විභාගයක් අතරතුර චූදිතයකු සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු නොවන බව හෝ එම කණ්ඩායමේ පොදු අපරාධ අරමුණක් වෙනුවෙන් ක්‍රියා නොකළ බව අනාවරණය වුවහොත් අදාළ සාමාන්‍ය නීතිය යටතේ චෝදනා සංශෝධනය කර කටයුතු කිරීමට අවස්ථාව සලසා ඇත.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මෙහිදී මූලික ගැටලුවක් මතුවන බවයි.

යම් පුද්ගලයකු සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට සම්බන්ධ බවට මුලින් සැක කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන, දීර්ඝ කාලයක් රඳවා තබා, විශේෂ සාක්ෂි නීති යටතේ නඩු පවරා තිබිය හැකිය.

එහෙත් නඩු විභාගයේදී ඔහු එවැනි කණ්ඩායමකට සම්බන්ධ නැති බව හෙළි වුවහොත්, ඔහුට පෙර සිදුවූ විශේෂ රඳවා තැබීම් සහ අනෙකුත් ක්‍රියාමාර්ගවලින් සිදුවූ අගතිය සඳහා මෙම වගන්තියෙන් පිළියමක් සලසා නොමැත.

එමෙන්ම 51 වැනි වගන්තිය අනුව විනිසුරුවරයාට 46, 47, 48 සහ 49 වගන්ති යටතේ විශේෂයෙන් පිළිගත් සාක්ෂි පසුව සාමාන්‍ය නීතිය යටතේ වරදකරු බව තීරණය කිරීමේදී නොසලකා හැරීමට නියම කර ඇත.

එහෙත් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ විනිසුරුවරයා දැනටමත් එම සාක්ෂි අසා ඇති බැවින්, පසුව ඒවා නොසලකා හැරීමෙන් ඒවා නිසා ඇතිවූ බලපෑම සම්පූර්ණයෙන් ඉවත් කළ නොහැකි බවයි.

ජූරි විභාගයක් සම්බන්ධයෙන් නිශ්චිතව සඳහන් ව්‍යතිරේකයක් හැර, නව නඩු විභාගයක් අනිවාර්ය කර නොමැති බව ද ඔවුහු පෙන්වා දෙති.

එමෙන්ම චෝදනා සංශෝධනය කිරීමෙන් පසු චූදිතයාට නව චෝදනාවට එරෙහිව සම්පූර්ණ ආරක්ෂාවක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් අවස්ථාව ලබාදෙන බවට නිශ්චිත ආරක්ෂණ නොමැති බවට ද පෙත්සමේ සඳහන් වේ.

නීතිඥ සංගමය මෙම වගන්තිය හඳුන්වා දෙන්නේ පනත් කෙටුම්පතේ මූලික දෝෂය පැහැදිලි කරන විධිවිධානයක් ලෙසය.

එනම්, අවසානයේ සංවිධානාත්මක අපරාධයකට කිසිදු සම්බන්ධයක් නොමැති බව හෙළිවන පුද්ගලයකුට පවා මුලින්ම විශේෂ අත්අඩංගුවට ගැනීමේ, රඳවා තැබීමේ සහ සාක්ෂි නීති ක්‍රමයකට මුහුණ දීමට සිදුවිය හැකිය.

ඒ අනුව 51 වැනි වගන්තිය 46 සිට 49 දක්වා වගන්ති සමඟ කියවීමේදී 12(1), 13(3) සහ 13(5) ව්‍යවස්ථාවලට පටහැනි බවට පෙත්සම්කරුවෝ තර්ක කරති.

52 වැනි වගන්තිය: කලින් දුන් ප්‍රකාශයකට වෙනස් සාක්ෂියක් දුන්නොත් බොරු සාක්ෂි චෝදනා?

52 වැනි වගන්තියෙන් නඩු විභාගයකදී සාක්ෂිකරුවකු කලින් මහේස්ත්‍රාත්වරයකු හමුවේ හෝ හඳුනාගැනීමේ පෙරට්ටුවකදී ලබාදුන් ප්‍රකාශයකට පටහැනි සාක්ෂියක් ලබාදෙන අවස්ථාවක ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව සලසා ඇත.

52(2) වගන්තියේ සඳහන් වන්නේ,

සාක්ෂිකරු විසින් පටහැනි ප්‍රකාශයක් සිදුකර ඇති බව ඔප්පු කිරීම ප්‍රමාණවත් විය යුතු අතර ඒ ප්‍රකාශ අතරින් සාවද්‍ය වන්නේ කවර ප්‍රකාශය ද යන්න ඔප්පු කිරීමක් අවශ්‍ය නොවිය යුතු ය.

යනුවෙනි.

නීතිඥ සංගමය මෙම විධිවිධානයට විරුද්ධ වී ඇත්තේ ප්‍රකාශ දෙකක් අතර වෙනසක් ඇතිවීම පමණක් සාක්ෂිකරුවකු හිතාමතා බොරු සාක්ෂි ලබාදුන් බවට සාක්ෂියක් නොවන බැවිනි.

මතකයේ දෝෂයක්, වැරදි අවබෝධයක්, අමතකවීමක් හෝ වෙනත් අහිංසක හේතුවක් මත සාක්ෂිකරුවකුගේ ප්‍රකාශ වෙනස් විය හැකිය.

එහෙත් එවැනි අවස්ථාවක අපරාධ චෝදනාවකට මුහුණ දීමට සිදුවන බවට ඇති බිය හේතුවෙන් සාක්ෂිකරුවකු තම පෙර ප්‍රකාශයේ ඇති වැරදි නිවැරදි කිරීමට පවා අකමැති විය හැකි බව පෙත්සමේ සඳහන් වේ.

එය සත්‍ය සාක්ෂි ලබාදීම දිරිමත් කිරීම වෙනුවට සාක්ෂිකරුවන් බිය ගැන්වීමට හේතුවිය හැකි බව ඔවුහු තර්ක කරති.

ඒ අනුව 52 වැනි වගන්තිය 12(1), 13(3) සහ 13(5) ව්‍යවස්ථාවලට පටහැනි බවට විරෝධතා ඉදිරිපත් කර ඇත.

54 වැනි වගන්තිය: ඔත්තුකරුවකුගේ අනන්‍යතාව හෙළි නොකිරීම සහ චූදිතයාගේ ආරක්ෂාව

පනත් කෙටුම්පතේ 54 වැනි වගන්තිය පොලිසියට තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම පිළිබඳව වේ.

54(1) වගන්තියෙන් තොරතුරු ලබාදෙන්නකුගේ නම, ලිපිනය සහ අනන්‍යතාව හෙළිදරව් විය හැකි කරුණු නඩු කටයුතුවලදී හෙළි කිරීම සීමා කර තිබේ.

54(3)(අ) අනුව පනත යටතේ බරපතළ අපරාධයක් පිළිබඳ නඩු කටයුත්තකදී තොරතුරු ලබාදුන් පුද්ගලයා හිතාමතා වැදගත් අසත්‍ය ප්‍රකාශයක් ලබාදී ඇති බව අධිකරණය සෑහීමට පත්වන අවස්ථාවක තොරතුරු හෙළි කිරීමට අවස්ථාව ඇත.

එහෙත් 54(3)(ආ) වගන්තියේ පාර්ශ්වකරුවන් අතර සම්පූර්ණයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා අනන්‍යතාව හෙළි කිරීමේ බලය ලබාදී ඇත්තේ වෙනත් නඩු කටයුතු සම්බන්ධයෙන් පමණක් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එමෙන්ම 54(1) වගන්තිය ආරම්භ වන්නේ,

(3) වන උපවගන්තියේ විධිවිධානවල කුමක් සඳහන් වුව ද…

යනුවෙනි.

මෙම වචන නිසා 54(3) වගන්තියේ ඇති ව්‍යතිරේකවලට වඩා තොරතුරු හෙළි නොකිරීමේ සීමාවට ප්‍රමුඛත්වය ලැබිය හැකි බවට ඔවුහු තර්ක කරති.

මෙහිදී තවත් ප්‍රායෝගික ගැටලුවක් පෙන්වා දී තිබේ.

තොරතුරු ලබාදුන් පුද්ගලයා හිතාමතා අසත්‍ය තොරතුරු දුන් බව පෙන්වාදීමට අවශ්‍ය තොරතුරු චූදිතයාට හෙළි නොකරන්නේ නම්, එම තොරතුරු අසත්‍ය බව ඔප්පු කිරීමට චූදිතයාට හැකි වන්නේ කෙසේද?

මෙය සාධාරණ නඩු විභාගයක් ලබාගැනීමේ අයිතියට බලපාන බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

ඒ අනුව 54 වැනි වගන්තිය 12(1), 13(3) සහ 13(5) ව්‍යවස්ථාවලට පටහැනි බවට පෙත්සමේ සඳහන් වේ.

56 වැනි වගන්තිය: විමර්ශනයකට බලපාන තොරතුරක් හෙළි කළොත් වසර දහයක සිරදඬුවමක්

පනත් කෙටුම්පතේ 56 වැනි වගන්තියෙන් යම් විමර්ශනයකට අගතියක් සිදුවිය හැකි තොරතුරු වෙනත් පුද්ගලයකුට හෙළි කිරීම වරදක් බවට පත් කර ඇත.

56(1)(ආ) වගන්තියේ,

ඒ විමර්ශනයට හෝ පැවැත්වීමට යෝජිත විමර්ශනයට අගතියක් සිදුවිය හැකි වන්නා වූ තොරතුරු හෝ වෙනත් යම් තොරතුරක් වෙනත් යම් තැනැත්තකුට හෙළිදරව්…

කිරීම පිළිබඳ සඳහන් වේ.

මෙම වරදට වසර දහයක් නොඉක්මවන සිරදඬුවමක්, රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයක් හෝ දඬුවම් දෙකම නියම කළ හැකිය.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ විමර්ශනයකට බාධා කිරීමේ චේතනාවක් තිබීම හෝ සැබවින්ම එම විමර්ශනයට හානියක් සිදුවීම අනිවාර්ය බව මෙම වගන්තියෙන් පැහැදිලිව නියම කර නොමැති බවයි.

මෙම විධිවිධානය පවුලේ සාමාජිකයන්, මාධ්‍යවේදීන් සහ වෙනත් පුද්ගලයන් සමඟ කරන සන්නිවේදනවලට ද බලපෑ හැකි බව ඔවුහු තර්ක කරති.

එමෙන්ම මහජන යහපත වෙනුවෙන් සද්භාවයෙන් තොරතුරු හෙළි කරන පුද්ගලයන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් විධිවිධාන නොමැති බවට ද විරෝධතා ඉදිරිපත් කර ඇත.

විශේෂයෙන් පොලිස් බලතල අවභාවිත වීමක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන මාධ්‍යවේදියකුට හෝ වෙනත් පුද්ගලයකුට මෙම නීතිය යටතේ චෝදනා එල්ලවීමේ අවදානමක් ඇති බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

චූදිතයාට තමන්ගේ නොදැනුවත්කම ඔප්පු කිරීමට සිදුවීම

56(4) වගන්තිය අනුව තොරතුරු හෙළි කිරීමෙන් විමර්ශනයට අගතියක් සිදුවිය හැකි බව තමන් දැන නොසිටි බව සහ එසේ සැක කිරීමට සාධාරණ හේතු නොතිබූ බව ඔප්පු කිරීම චූදිතයාට විත්තිවාචකයක් වේ.

නීතිඥ සංගමය විරුද්ධ වන්නේ යම් තොරතුරක් හෙළි කිරීමේදී එයින් විමර්ශනයකට හානියක් සිදුවිය හැකි බව චූදිතයා දැන සිටි බව පැමිණිල්ලෙන් ඔප්පු කිරීම වෙනුවට, තමන් එය නොදැන සිටි බව චූදිතයාට ඔප්පු කිරීමට සිදුවීමයි.

මෙය නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට පටහැනි විය හැකි බව ඔවුන්ගේ ස්ථාවරයයි.

56(2) වගන්තියෙන් නීතිඥයන් සහ ඔවුන්ගේ සේවකයන්ට වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් යම් ආරක්ෂාවක් ලබාදී ඇතත්, 56(3) වගන්තියෙන් නීතිවිරෝධී අරමුණක් ඉටු කරගැනීම සඳහා තොරතුරු හෙළි කිරීමේදී එම ආරක්ෂාව අදාළ නොවන බව සඳහන් කර ඇත.

මෙහි නීතිවිරෝධී අරමුණක් යන්නෙහි අර්ථය අතිශයින් පුළුල් බවත්, නීතිඥයකුට එරෙහිව අපරාධ චෝදනා එල්ල කිරීමට එය යොදාගත හැකි බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

ඒ අනුව 56 වැනි වගන්තිය 12(1), 13(3), 13(5) සහ 14(1)(අ) ව්‍යවස්ථාවලට පටහැනි බවට විරෝධතා ඉදිරිපත් කර තිබේ.

57 වැනි වගන්තිය: අහිංසක තුන්වැනි පාර්ශ්වයන්ගේ දේපළ පවා රාජසන්තක වීමේ අවදානම

පනත් කෙටුම්පතේ 57(1) වගන්තියෙන් බරපතළ අපරාධයක් සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයකුට අදාළ දේපළ, භාණ්ඩ සහ අපරාධය සඳහා භාවිත කළ දේ රාජසන්තක කිරීමට අධිකරණයට බලය ලබාදී තිබේ.

නීතිඥ සංගමය විරුද්ධ වන්නේ මෙවැනි නියෝගයකින් අපරාධයකට සම්බන්ධ නොවූ, දේපළේ නීත්‍යනුකූල අයිතියක් හෝ වෙනත් අයිතිවාසිකමක් ඇති පුද්ගලයකුගේ අයිතිවාසිකම්වලට බලපෑ හැකි බව පවසමිනි.

උදාහරණයක් වශයෙන්, වෙනත් පුද්ගලයකුට අයත් දේපළක් එහි හිමිකරුගේ අනුදැනුමකින් හෝ අනුමැතියකින් තොරව අපරාධයක් සඳහා භාවිත කර තිබිය හැකිය.

එවැනි අවස්ථාවක දේපළ රාජසන්තක කිරීමට පෙර එහි නීත්‍යනුකූල හිමිකරුට කරුණු දැක්වීමට සහ තම අයිතිය තහවුරු කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් මෙම වගන්තියෙන් සලසා නොමැති බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති.

එබැවින් 57 වැනි වගන්තිය අත්තනෝමතික හා අසාධාරණ බවත්, 12(1) ව්‍යවස්ථාවට පටහැනි බවත් ඔවුන්ගේ ස්ථාවරයයි.

58 වැනි වගන්තිය: අධිකරණයේ දඬුවම් නියම කිරීමේ අභිමතය සීමා කිරීම

පනත් කෙටුම්පතේ 58(අ) වගන්තිය අනුව, මෙම පනත යටතේ බරපතළ අපරාධයකට මීට පෙර වරදකරු වූ පුද්ගලයකු නැවත වරදකරු වන අවස්ථාවක අමතර අනිවාර්ය සිරදඬුවමක් නියම කිරීමට විධිවිධාන සලසා ඇත.

එහි සඳහන් වන්නේ,

ඒ වරද සඳහා නියම කර ඇති උපරිම බන්ධනාගාරගත කිරීමේ කාලසීමාවෙන් තුනෙන් එකකට නොඅඩු කාලසීමාවක් සඳහා බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනයක් පනවනු ලැබිය යුතු ය.

යනුවෙනි.

නීතිඥ සංගමයේ විරෝධය වන්නේ මෙවැනි අනිවාර්ය දඬුවම් නියම කිරීමෙන් වරදේ බරපතළකම, වරදකරුගේ පෞද්ගලික තත්ත්වය සහ නඩුවේ විශේෂ කරුණු සැලකිල්ලට ගෙන සුදුසු දඬුවමක් නියම කිරීමට අධිකරණයට ඇති අභිමතය සීමා වන බවයි.

එමෙන්ම 58(ආ) වගන්තියෙන් පනත යටතේ වරදකරු වී දඬුවම් ලබන පුද්ගලයකු කලින් නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් යටතේ නිදහස් කිරීමට සලකා බැලීමට සුදුසු නොවන බවට විධිවිධාන සලසා ඇත.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ වරදකරුගේ හැසිරීම, පුනරුත්ථාපනය වීම සහ වෙනත් පෞද්ගලික තත්ත්වයන් සලකා නොබලා මෙවැනි සාමාන්‍ය තහනමක් පැනවීම අසාධාරණ හා අසමානුපාතික බවයි.

ඒ අනුව 58 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13(4) ව්‍යවස්ථාවලට පටහැනි බවට පෙත්සමේ සඳහන් වේ.

13(4) ව්‍යවස්ථාව නීත්‍යනුකූල අධිකරණ ක්‍රියාවලියකින් තොරව දඬුවම් පැනවීමෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වේ.

65 වැනි වගන්තිය: සේවාදායකයාගේ රහස් ආරක්ෂා කරන නීතිඥයකුටත් වසර හතක සිරදඬුවමක්?

නීතිඥ සංගමය විශේෂයෙන් විරෝධය පළ කර ඇති තවත් වගන්තියක් වන්නේ පනත් කෙටුම්පතේ 65 වැනි වගන්තියයි.

65(1)(අ) යටතේ වෙනත් පුද්ගලයකු බරපතළ අපරාධයක් සිදු කිරීමට සූදානම් වන බව, එයට අනුබල දෙන බව හෝ එවැනි අපරාධයක් සිදුකර ඇති බව දැන සිටියදී හෝ එසේ විශ්වාස කිරීමට හේතු තිබියදී අදාළ තොරතුරු ලබාදීමට අපොහොසත් වීම වරදක් බවට පත් කර ඇත.

65(1)(ආ) අනුව බරපතළ අපරාධයක් සිදු කළ බව දන්නා පුද්ගලයකු සිටින ස්ථානය පිළිබඳ තොරතුරු පොලිසියට ලබා නොදීම හෝ නොමඟ යවන තොරතුරු සැපයීම ද වරදකි.

මෙම වරදකට වසර හතක් නොඉක්මවන සිරදඬුවමක්, රුපියල් ලක්ෂ දෙකක් නොඉක්මවන දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කළ හැකිය.

65(2) වගන්තිය මෙසේ සඳහන් කරයි.

මේ ලිඛිත නීතියකින්, ගිවිසුමකින්, දිවුරුමකින්, හෝ අන්‍යාකාරයකින් පනවන ලද රහස්‍යභාවය පිළිබඳ යම් බැඳීමක් හෝ වෙනත් සීමා කිරීමක් නොසලකා යම් තැනැත්තකු (1) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතු ය.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මෙම විධිවිධානය නීතිඥයකු සහ සේවාදායකයකු අතර ඇති වෘත්තීය රහස්‍යභාවයට බරපතළ බලපෑමක් ඇති කළ හැකි බවයි.

මෙහිදී පෙත්සමේ සාක්ෂි ආඥාපනතේ 126 සිට 129 දක්වා වගන්ති විශේෂයෙන් සඳහන් කර ඇත.

එම විධිවිධාන මගින් නීතිඥයකුට තම සේවාදායකයා සමඟ වෘත්තීය කටයුතු සඳහා සිදුකරන ඇතැම් රහසිගත සන්නිවේදන ආරක්ෂා කිරීමේ නීතිමය බැඳීමක් පවතී.

නීතිවිරෝධී අරමුණක් ඉදිරියට ගෙනයාම සඳහා කරන සන්නිවේදනවලට එම ආරක්ෂාව නොලැබෙන අවස්ථා තිබුණ ද, දැනටමත් සිදු වූ වරදක් සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබාගැනීමේ අරමුණින් සේවාදායකයකු නීතිඥයාට ලබාදෙන රහසිගත තොරතුරු ආරක්ෂාවට යටත් විය හැකිය.

නීතිඥ සංගමයේ විරෝධය වන්නේ 65(2) වගන්තියෙන් එවැනි රහසිගත සන්නිවේදන සඳහා පැහැදිලි ව්‍යතිරේකයක් ලබා නොදීමයි.

එමගින් නීතිඥයකුට තමන්ගේ වෘත්තීය කටයුතු සඳහා සේවාදායකයකුගෙන් ලබාගත් තොරතුරු පවා හෙළි කිරීමේ වගකීමක් ඇති බවට අර්ථ නිරූපණය කළ හැකි බව ඔවුහු පෙන්වා දෙති.

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ඇති ආරක්ෂාව මෙහි නැහැ

මෙහිදී නීතිඥ සංගමය තවත් විශේෂ නීතිමය සංසන්දනයක් ඉදිරිපත් කර තිබේ.

ඒ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ එය සංශෝධනය කළ 2026 අංක 17 දරන සංශෝධන පනත පිළිබඳවයි.

පෙත්සමේ සඳහන් වන්නේ එම නීතියේ 13 වැනි වගන්තිය යටතේ වෘත්තීය රහස්‍යභාවයෙන් ආරක්ෂා වන සුදුසුකම් ලබන සන්නිවේදන ඇතැම් තොරතුරු හෙළි කිරීමේ වගකීම්වලින් පැහැදිලිව ආරක්ෂා කර ඇති බවයි.

එහෙත් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ 65 වැනි වගන්තිය තුළ එයට සමාන ආරක්ෂාවක් නොමැති බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

තවත් වැදගත් විරෝධයක් වන්නේ 65(1)(අ) වගන්තියේ තොරතුරු ලබාදිය යුතු නිශ්චිත පුද්ගලයා හෝ ආයතනය සහ තොරතුරු ලබාදිය යුතු කාලසීමාව පැහැදිලිව සඳහන් නොකිරීමයි.

මෙම වගන්තිය කඩකිරීම සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත්කර තිබියදී එම වගකීම ඉටු කළ යුතු ආකාරය නිශ්චිතව දක්වා නොමැති වීම නීතියේ අපැහැදිලිභාවයට හේතුවක් බව පෙත්සම්කරුවෝ තර්ක කරති.

මෙවැනි විධිවිධාන නීතිඥයකුගේ වෘත්තීය ස්වාධීනත්වය පමණක් නොව, අපරාධ චෝදනා ලැබූ පුද්ගලයකුට ඵලදායී නීතිමය සහායක් ලබාගැනීමේ අයිතියට ද බලපාන බව ඔවුන්ගේ ස්ථාවරයයි.

ඒ අනුව 65 වැනි වගන්තිය 12(1) සහ 13(3) ව්‍යවස්ථාවලට පටහැනි බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

පළමු උපලේඛනය: විරෝධතා පවත්වන පුරවැසියන්ටත් සංවිධානාත්මක අපරාධ නීතිය යොදාගැනීමේ අවදානමක්

නීතිඥ සංගමය පළමු උපලේඛනය පිළිබඳව ඉදිරිපත් කළ විශේෂ විරෝධයක් වන්නේ සාමකාමී මහජන රැස්වීම්, විරෝධතා සහ වෙනත් නීත්‍යනුකූල සාමූහික ක්‍රියාකාරකම් මෙම නීතියේ විශේෂ විමර්ශන හා රඳවා තැබීමේ බලතල යටතට ගැනීමේ අවදානමයි.

පළමු උපලේඛනයේ දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි ගණනාවක් ඇතුළත් කර තිබේ.

ඒ අතර රජයේ සේවකයකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් වන 183 වැනි වගන්තිය සහ රජයේ සේවකයකුගේ රාජකාරිය වැළැක්වීම සඳහා සාපරාධී බලය යෙදවීම සම්බන්ධ වැරදි ඇතුළත් වේ.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මහජන විරෝධතාවක් හෝ රැස්වීමක් අතරතුර මෙවැනි වැරදි සිදු වූ බවට පොලිසිය විසින් චෝදනා ඉදිරිපත් කළ හැකි බවයි.

එවැනි අවස්ථාවක සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳ පුළුල් අර්ථ නිරූපණයත්, පුද්ගලයන්ගේ රැස්වීම් හා සම්බන්ධතා සාමාජිකත්වය තීරණය කිරීමේ සාධක ලෙස භාවිත කිරීමට ඇති අවස්ථාවත් එකට කියවීමෙන් නීත්‍යනුකූල සාමූහික ක්‍රියාකාරකම් සඳහා විශේෂ අපරාධ විමර්ශන හා රඳවා තැබීමේ බලතල යොදාගැනීමේ අවදානමක් නිර්මාණය වන බවයි.

ඒ අනුව මෙම පනතේ බලපෑම සංවිධානාත්මක අපරාධ ජාලවලට පමණක් සීමා නොවී, මහජන විරෝධතා, සමාජ ක්‍රියාකාරකම් සහ පුරවැසියන්ගේ සංවිධානය වීමේ නිදහසට ද බලපෑ හැකි බවට නීතිඥ සංගමය අනතුරු අඟවා ඇත.

මෙයින් සාමකාමී විරෝධතාවක් පැවැත්වීම පමණක් පනත යටතේ ස්වයංක්‍රීයව අපරාධයක් වන බවක් අදහස් නොවේ. පෙත්සමේ විරෝධය වන්නේ පුළුල් අර්ථ නිරූපණ සහ විශේෂ පොලිස් බලතල එකට ක්‍රියාත්මක කිරීමෙන් එවැනි සාමූහික ක්‍රියාකාරකම්වලට අසාධාරණව මැදිහත් වීමට ඉඩ සැලසීමයි.

පනතේ වෙන වෙනම වගන්ති සංශෝධනය කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ — නීතිඥ සංගමය

නීතිඥ සංගමය සිය පෙත්සමේ අවසානයේ සඳහන් කරන්නේ මෙම පනත් කෙටුම්පතේ ගැටලුව හුදෙක් වගන්ති කිහිපයකට සීමා නොවන බවයි.

පෙත්සමේ 184 සහ 185 ඡේදවලට අනුව පනත් කෙටුම්පතේ විවිධ විධිවිධාන එකට ක්‍රියාත්මක වන විට පුද්ගල නිදහස සහ මූලික අයිතිවාසිකම් විධායකයේ පුළුල් පාලනයකට යටත්වන, අධිකරණයේ ඵලදායී අධීක්ෂණය සීමා කරන සහ සාධාරණ නඩු විභාගයක් සඳහා අවශ්‍ය ආරක්ෂණ දුර්වල කරන නීතිමය ක්‍රමවේදයක් නිර්මාණය වන බවයි.

එමෙන්ම ව්‍යවස්ථා විරෝධී බවට අභියෝග කර ඇති විධිවිධාන පනතේ ව්‍යුහයට හා ක්‍රියාකාරීත්වයට මූලික වන බැවින්, පනතේ ස්වභාවය සැලකිය යුතු ලෙස වෙනස් නොකර ඒවායේ දෝෂ හුදෙක් වෙන් වෙන් සංශෝධන මගින් නිවැරදි කළ නොහැකි බවට ඔවුහු තර්ක කරති.

පෙත්සම්කරුවන්ගේ ස්ථාවරය අනුව සමස්ත පනත් කෙටුම්පත ජනතා පරමාධිපත්‍යය පිළිබඳ 3 වැනි ව්‍යවස්ථාවට, 4(ඇ) සහ 4(ඈ) ව්‍යවස්ථා සමඟ කියවීමේදී, පටහැනි වේ.

මේ අනුව නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම පනත් කෙටුම්පත සමස්තයක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිර්ණය කරන ලෙසයි.

ඊට අමතරව පනත් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයක් මෙන්ම ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ද අවශ්‍ය බවට නිර්ණය කරන ලෙස ඉල්ලා ඇත.

පෙත්සමේ අවසන් යාච්ඤාවේදී 3, 4(2), 5, 10, 12, 13, 14, 15, 17, 18(2), 19, 20, 21, 22, 23, 25, 27, 28, 32, 36, 41, 43, 45, 46, 47, 48, 49, 50, 51, 52, 54, 56, 57, 58, 65 සහ 66 යන වගන්ති හා උපවගන්ති 36ක් සහ පළමු උපලේඛනය නිශ්චිතව අභියෝගයට ලක් කර තිබේ.

එම විධිවිධාන තනිව මෙන්ම එකිනෙකට සම්බන්ධව ක්‍රියාත්මක වන ආකාරයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරුවන්ගේ ස්ථාවරයයි.

සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සහ ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අතර ගැටුම

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නියෝජනය කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විරෝධතා සමස්තයක් ලෙස සලකා බැලීමේදී, ඒවා සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ අවශ්‍යතාව ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව පැහැදිලි වේ.

නීතිඥ සංගමය පිළිගන්නේ බරපතළ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා රජයට වගකීමක් ඇති බවයි.

එහෙත් එම වගකීම ඉටු කිරීමේදී පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, විධායකය සහ අධිකරණය අතර බලතල බෙදීම, අපරාධ චෝදනා ලැබූ පුද්ගලයන්ගේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ආරක්ෂා විය යුතු බව ඔවුන් අවධාරණය කරයි.

මෙම පනත් කෙටුම්පතේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය අපරාධ නීතියෙන් වෙනස් ක්‍රමවේද කිහිපයක් එකම නීතියක් තුළ හඳුන්වාදීමයි.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳ පුළුල් අර්ථ නිරූපණයක්, වරෙන්තුවක් නොමැතිව සෝදිසි කිරීම්, විධායකය විසින් නිකුත් කරන රඳවා තැබීමේ නියමයන්, දීර්ඝ කාලයක් පොලිස් භාරයේ රඳවා තැබීම, පොලිසියට කරන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීම, රහසිගත සන්නිවේදනවලට ප්‍රවේශය ලබාගැනීම සහ අධිකරණ වාර්තාකරණයට සීමා පැනවීම වැනි විධිවිධාන එයට ඇතුළත්ය.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මෙවැනි බලතල එකිනෙකට සම්බන්ධව ක්‍රියාත්මක වන විට, අධිකරණයේ ස්වාධීන පාලනයට වඩා පොලිසියේ සහ විධායකයේ තීරණවලට ප්‍රමුඛත්වය හිමිවන විශේෂ අපරාධ නීති ක්‍රමයක් නිර්මාණය විය හැකි බවයි

Author

Leave a Reply

Related Posts