(මෙම සටහන රම්සි රාසික් ලියූ ලිපියකි.)
අද උදෑසනම දූටු මෙම පුවතෙන් මම බොහෝ සේ කම්පනයට පත් වූණෙමි. මෙම පුවත තවමත් තහවුරු වූ නොමැති වූවද මේ පිළිබඳ විශාල කතාබහක් සමාජය තුළ මතුවෙමින් තිබේ.
නබිතුමාණන්ට අපහාස වන ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ අදහස් දැක්වූවා යැයි කියන චෝදනාව මත මැද පෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු වන අනෝජන්ට මරණ දඬුවම නියම කර තිබීම කිසිසේත් පිළිගත නොහැකි සෞදි ආගමික වහාබි බලාධිකාරයේ අත්තනෝමතික තීරණයකි.
සමාජ මාධ්‍ය තුළ අනෝජන් සිදුකළා යැයි කියන ප්‍රකාශය සැබැවින්ම සාහසික ප්‍රකාශයක් බවට සැකයක් නැත. ලෝකයේ බිලියන දෙකක පමණ ජනතාවකගේ ඉතාමත් ගෞරවයට පාත්‍ර වූ මුහම්මද් නබිතුමා හට එවැනි නින්දිත අපහාසයක් කිරීම කිසිසේත් පිළිගත නොහැකිය.
ශිෂ්ඨ මිනිසුන් ලෙස විවේචනය සහ අපහාසය අතර වෙනස අපි වෙන්කර හඳුනාගැනීම වැදගත්ය.
ඕනෑම ආගමක් හෝ දෘෂ්ටිවාදයක් පිළිබඳව ඕනෑම කෙනෙකුට විවේචනය කළ හැකිය. එය පරම මානව අයිතිවාසිකමකි.
මතයක් ප්‍රකාශ කිරීමේ නිදහස අල්-කුර්ආනය ඉතා පැහැදිලිව අවධාරණය කරයි.
නිර්මාණාත්මක විවේචනය, බුද්ධිමය සංවාදය කිසිසේත් ඉස්ලාමයට පටහැනි වන්නේ නැත. ඉස්ලාමය විශ්වාසයක් දැරීමේ නිදහස වගේම මතයක් ප්‍රකාශ කිරීමේ නිදහස ඉතා පැහැදිලිව තහවුරු කරයි. තවද ඉස්ලාමය අවධාරණය කරන මෙම අයිතිය, හුදෙක් අයිතියක් පමණක් නොවී, සත්‍යය සෙවීම, අසාධාරණය වැළැක්වීම සහ පොදු යහපත උදෙසා කටයුතු කිරීමේ අනිවාර්ය වගකීම හා බැඳී පවතී.
“ඔබගේ පරමාධිපතිගේ මාර්ගයට ප්‍රඥාවෙන් හා යහපත් උපදෙසින් ආරාධනා කරන්න. තවද වඩාත් යහපත් ආකාරයට (අලංකාරවත් භාෂාවකින්) ඔවුන් සමඟ තර්ක කරන්න.”
සුරා අන්-නහ්ල් (16:125)
අල්-කුර්ආනයට අනුව විවෘත සංවාද සහ බුද්ධිමය මත හුවමාරු කරගැනීම මිනිසාගේ අනිවාර්ය වගකීමකක් වගේම විරුද්ධ මතයන් මර්දනය කරනු වෙනුවට ඊට ගෞරවනීය ලෙස තර්කානුකූලව මුහුණ දිය යුතු බව ද අවධාරණය කරයි.
අල්කුරාණය තවදුරටත් මෙසේ පවසයි.
“අහෝ විශ්වාස කළවුනි! ඔබට හෝ ඔබේ දෙමාපියන්ට සහ ඥාතීන්ට අවාසි සහගත වුවද, අල්ලාහ් වෙනුවෙන් සාක්ෂිකරුවන් ලෙස සාධාරණත්වයෙහි තදින් සිටින්න.”
සුරා අන්-නිසා (4:135)
ඕනෑම භාරදූර තත්ත්වයක වුවද පුද්ගලික හෝ සමාජීය අවදානමක් තිබුණද සත්‍යය ප්‍රකාශ කිරීම අයිතියක් පමණක් නොව එය මිනිසා සතු moral වගකීමක් ලෙසද කුරාණය පවසයි.
නබි මුහම්මද් තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: “වඩාත්ම උතුම් ජිහාදය (අරගලය) වන්නේ අසාධාරණ පාලකයෙකු හමුවේ සත්‍ය ප්‍රකාශ කිරීමයි.”
— සුනන් අබී දාවූද් (4344) සහ සුනන් අන්-නසඊ (4209)
මෙම ප්‍රකාශය මගින් දූෂිත හෝ අසාධාරණ පාලනයට එරෙහිව හඬ නැගීම පුරවැසියෙකු සතු අයිතිවාසිකමක් පමණක් නොවේ එය මිනිසාගේ මගහැර යා නොහැකි අනිවාර්ය සමාජ වගකීමක් බවටත් මුහම්මද් නබිතුමානන් අවධාරණය කරයි.
පාලන තන්ත්‍රයක් හෝ සමාජ සම්මතයක් පිළිබඳව නිර්මාණාත්මක විවේචන (productive criticisms) ඉදිරිපත් කිරීම දහමේ ප්‍රධාන ස්ථම්භයක් ලෙස සැලකේ.
මේ ආකාරයට භාෂනයේ නිදහස නූතන ශිෂ්ඨාචාරයේ ලක්ෂණයක් ලෙස සැලකූවද, එහි සීමා මායිම් ගැන ද සැලකිලිමත් වීම ශිෂ්ඨ මිනිසා සතු වගකීමකි. විවේචනයේ මුවාවෙන් කිසිවෙකුට අපහාස කිරීමට හෝ ආත්ම ගරුත්වයට හානි කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.
භාෂණයේ නිදහසේ නාමයෙන් පදනම් විරහිතව අන් අයගේ කීර්ති නාමයට හානි කිරීම සහ අන් අය පූජනීය ලෙස සලකන දේට අපහාස කිරීම කුරාණය නොපිළිගනියි.
(අල්-කුර්ආනය 6:108)
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වුවද මෙවැනි අපහාස කිරීම් සැලකෙන්නේ අපරාධයක් ලෙසය.
සුක්ඛානමක් ධර්මචක්‍රයක් වී පාතිමාට සිරබත් කෑමට සිදුවූයේද එම නිසාය.
සාමයට සංහිඳියාවට හානි කරන හෝ මිනිස් ජීවිතවලට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම, එමගින් හිංසනයට අනුබලදීම කිසිසේත් භාෂණයේ නිදහස වන්නේ නැති බව පැහැදිලිය.
භාෂණයේ නිදහසට මුවා වී යම් පුද්ගලයෙකුට හෝ එම පුද්ගලයාගේ සිත් තැවුලට හේතුවන ආකාරයට ඔහු තම පණටත් වඩා ආදරය කරන කෙනෙකුට (මුස්ලිම්වරයෙකුට මුහම්මද් තුමා තම දෙමාපියන්ට හෝ වෙනත් කිසිදු මිනිසෙකුට හෝ වඩා ගෞරවාදාරයට පාත්‍රවන උතුම් චරිතයකි) අපහාස කිරීම ශිෂ්ඨ ලෝකය පිළිගන්නේ නැත.
ඒ කෙසේ නමුත් හුදෙක්ම මෙලෙස අපහාසයක් පදනම් කරගනිමින් කෙනෙකුගේ ජීවිතය අහිමි කිරීමට පුද්ගලයෙකුට හෝ රාජ්‍යයකට අයිතියක් නැති බව ද අවධාරණය කර සිටිමු. විවේචනය සහ අපහාසය අතර ඇති සියුම් රේඛාව කළමනාකරණය කරගැනීමේ දී ඇතිවිය හැකි දුර්වලතා වලට ප්‍රතිචාර දැක්විය යුත්තේ ඉතාමත් ඉවසීමෙන් සහ සංයමයෙන්ය.
පුද්ගලයකුට හෝ පුද්ගලයකුගේ විශ්වාස පද්ධතියකට අපහාස කිරීම වරදකි. නමුත් එම වරදට ප්‍රතිචාර දැක්විය යුත්තේ ඉතාමත් මෘදු ආකාරයට ඉවසීමෙන් සහ සංයමයෙන් ය.
ඉස්ලාමය අපට උගන්වන්නේ ද එවැන්නකි.
ඒ නිසාම අනෝජන් වරදක් කර ඇති නමුත්, ඒ වෙනුවෙන් ඔහුට මරණීය දඬුවම පැමිණවීම එකඟ විය නොහැකි ආගමික අහංකාරයක් බවත් පැහැදිලිවම ප්‍රකාශ කර සිටිමු.
නබි මුහම්මද් (pbuh) තුමාණන් විසින් ගෙන ආ උතුම් දහම, ඇතැම් දැඩි මතධාරීන්ගේ නොහික්මුණු ක්‍රියාවන් නිසා අද එහි සැබෑ ආත්මය අහිමි කරගෙන සිටී. නබිතුමාණන් පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති පුද්ගලයෙකු විසින් හදිසියේ ඇති වූ චිත්තාවේගයක් හේතුවෙන් පළ කරන ලද අදහස් දැක්වීමක් වෙනුවෙන් මිනිසෙකුගේ ජීවිතය උදුරා ගැනීමට තරම් සාමයේ ධහම ප්‍රචණ්ඩකාරී වී තිබීම සැබවින්ම වේදනාකාරීය.
ඉස්ලාමය තුළ ඇති සාමය, සංයමය, කරුණාව, ඉවසීම සහ එය හඳුන්වා දුන් සර්වබලධාරී දෙවියන් පිළිබඳ වූ සැබෑ පණිවුඩය නිවැරදිව අවබෝධ කරගෙන තිබුණේ නම්, ඉස්ලාමය මෙවැනි දැඩි මතවාදයක් වෙනුවට ලෝකයට සුන්දර මනුෂ්‍යත්වයේ ආදර්ශයක් වන්නට ඉඩ තිබුණි.
දෙවියන් වහන්සේ සියලු මිනිසුන්ට පොදුය. ඉස්ලාමයේ දෙවියන් සෞදි වහාබ්වාදී අරාබීන්ට පමණක් අයිති දෙවියෙක් නොවේ. සවුදි අරාබියානු පාලකයන් පෙන්වන මෙම නොහික්මුණු පළිගැනීමේ මානසිකත්වය අවසන් දේවදූතයා කෙරෙහි ඇති සැබෑ ආදරය නොවේ. එය ආගමික උමතුවක් වගේම ආගමික අහංකාරයකි. තම බලය හා අධිකාරිය භාවිත කරමින් අහිංසකයෙකු මර්දනය කිරීමට ගත් කෲර ක්‍රියාවකි.
මානව වර්ගයාගේ යහ පැවැත්ම වෙනුවෙන් ආගමික මඟ පෙන්වීමක් විය යුතු දහමක්, ක්‍රමයෙන් ආගමික උමතුවක් බවට පත්වෙමින් තිබීම ඉතාමත් කනගාටුදායකය.
ඉස්ලාමයට පටහැනි අන්තගාමී වහාබ් දෘෂ්ටිවාදය නියෝජනය කරන මෙම ව්‍යාජ ආගම්වාදීන් ජාත්‍යන්තර ඉස්ලාමෝෆෝබියා project එකට යහමින් ඉන්ධන සපයමින් සිටී.
අනෝජන්ට එරෙහි මරණ දඬුවම ඇසූ විට මගේ සිහියට නැගුණේ 21 වැනි ශත වර්ෂයේ ඉස්ලාම් විද්වතෙකු පල කළ අදහසකි.
“සාධාරණය ඇත්තේ ඉස්ලාමය පැත්තේය. නමුත් ඉස්ලාමය අද අදක්ෂ පෙරකදෝරුවන් අතට පත් වී ඔවුන් විසින් එය විත්තිකූඩුවට නංවා ඇත. ඔවුන් වචනයක් හෝ කතා නොකර සිටී නම් කෙතරම් අගනේද!”

Wrong quote without the context I suppose
ශුද්ධ වූ කුර්ආනයේ 16 වන පරිච්ඡේදය වන සූරා අන්-නහ්ල් (Surah An-Nahl) හි 125 වන වැකිය (ආයතය), ඉස්ලාම් දහම වැලඳ ගැනීමට අන් අයට ආරාධනා කිරීමේදී (දඃවා – Da’wah) සහ අදහස් හුවමාරු කර ගැනීමේදී අනුගමනය කළ යුතු උසස් සදාචාරාත්මක මඟපෙන්වීම් දක්වන ඉතා වැදගත් වැකියකි.