මෙලනි ගුණතිලක
අපේ සාමාන්‍ය අදහසක් තියෙනවා ව්‍යාපාරයකින් ගොඩ දෙනෙක්ට රැකියා ලැබීම ඒ ව්‍යාපාරිකයා විසින් කරන සමාජ සත්කාරයක් කියලා.
ඒත් ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ සේවකයන් අතරේ තියෙන්නෙ කොන්දේසි මත පදනම් වුන කොන්ත්‍රාත්තුවක්, එකඟතාවයක්. සේවකයා ව්‍යාපාරයේ ලාභ අරමුණු ඉටු කරගන්න තමන්ගේ කාලය, ශ්‍රමය සහ ශක්තිය වැය කරද්දි, ව්‍යාපාරිකයා එහෙම නැත්නම් සේවා යෝජකයා ඒ වෙනුවට ඔහුට වැටුපක් ගෙවනවා. සේවකයෝ රැකියා නොකලොත් ව්‍යාපාරිකයාට ව්‍යාපාරය පවත්වාගෙන යන්න බෑ.
ඒත් ගොඩක් වෙලාවට මේ සේවක – සේවායෝජක සම්බන්ධය අසමතුලිත එකක්. පඩි ගෙවන සේවායෝජකයන් පඩි ගන්න සේවකයින්ට දාසයන්ට, වහලුන්ට වගේ සලකන අවස්ථා තවමත් සුලබයි.
“මං උඹට පඩි ගෙවන නිසා උඹේ මුළු ජීවිතයම තියෙන්නේ මගේ අතේ, උඹ ජීවත් වෙන්නේ මං නිසා” වගේ හැසිරෙන්න සේවා යෝජකයන්ට බෑ. සේවකයන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන ඔවුන්ට අදාළ නිවාඩු ලබාදෙන්න, ගෞරවණීයව සලකන්න සේවායෝජකයත් බැඳිලා ඉන්නවා.
විශේෂයෙන්ම මේ සේවකයා සහ සේවායෝජකයා අතරේ තියෙන බල විෂමතාවය නිසාම සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ බැඳීමට රටක රාජ්‍යය වගේම අන්තර්ජාතික සම්මුතීනුත් මැදිහත් වෙනවා.
ඒත් කම්කරු අයිතිවාසිකම් ගැන තවමත් අපේ සමාජයේ ගොඩ දෙනෙක්ට අවබෝධයක් නැති බව තමයි පේන්න තියෙන්නෙ.
මේ කොත්තු කඩහිමියා එයාගෙ කඩේ වැඩකරන සේවකයෙක්ට පහරදෙන වීඩියෝ එකේ ඒ සේවකයට පහරදෙන්නේ කඩේ සේල්ස් නෑ කියලා. ගුණාත්මක බව අඩුවීම, Mr Kottu සන්නාමයට කාලයක් පුරා එකතු වුන කළු පැල්ලම් වගේම විරාජ්ගෙ නරක නාමයත් කඩේ සේල්ස් අඩුවෙන්න හේතු වෙන්න ඇති කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් සේවකයෙක්ට මේ විදිහට අමානුෂිකව සලකන්න කිසිම සේවායෝජකයෙක්ට හැකියාවක් නෑ.
බැරිවෙලාවත් සේවකයෙක් හොරකමක්, වංචාවක් වගේ බරපතල වරදක් කරලනම් ඒත් එයාට පහර දෙන්න විරාජ්ට අයිතියක් නෑ. එහෙම තත්වයකදි විරාජ්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ වගේම විරාජ්ගේ මේ පහරදීමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න සේවකයන්ටත් පුළුවන්.
තමනුත් සේවයන්ට පහර දීලා තියෙනවා කියලා පුරසාරම් දොඩවන සන්නස්ගල නොදන්නවා වුනාට හොටෙල් ස්කූල් එකෙන් පාස් වුන සේවකයන්ට තියෙන අයිතිවාසිකම් ඒ විදිහටම කිසිම අඩුවක් නැතුව කොත්තු බාස්ටයි, ආප්ප බාස්ටයිත් තියෙනවා.
මේ ලංකාවේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරන ජාතික හා අන්තර්ජාතික නීති හා සම්මුතීන් කීපයක්.
1. කඩ සාප්පු සහ කාර්යාල සේවකයන් පිළිබඳ පනත (Shop and Office Employees Act No. 19 of 1954) තමයි ප්‍රධානම නීතිය. හෝටල්, කැෆේ, රෙස්ටුරන්ට් ඇතුළු ව්‍යාපාරවල වැඩ කරන හැමෝටම මේක කෙලින්ම බලපානවා. මේ නීතියෙන් සේවකයන්ට ලැබෙන ප්‍රධාන ආරක්ෂාවන් ටිකක් තියෙනවා
දවසකට පැය 9ක් හෝ සතියකට පැය 45කට වඩා වැඩ කලොත්, වැඩිපුර වැඩ කරන පැයවලට සාමාන්‍ය ගාස්තුව වගේ 1.5 ගුණයක් (1.5x rate) අතිකාල දීමනා ගෙවන්න ඕනේ. මාස 12ක් සේවය කළාට පස්සේ පඩි ලැබෙන වාර්ෂික නිවාඩු දවස් 14ක් හිමි වෙනවා. පළමු ළමයි දෙන්නා වෙනකම් සති 12ක ප්‍රසූති නිවාඩු ලැබෙනවා. පිරිමි සහ කාන්තා අයට වෙන් වෙන් වශයෙන් වැසිකිළි සහ ඇඟ සෝදන පහසුකම් (Sanitary සහ washing facilities) දෙන්න සේවායෝජකයා බැඳිලා ඉන්නවා.
2. කාර්මික ආරවුල් පනත (Industrial Disputes Act No. 43 of 1950) හරහා රැකියා ස්ථානයේ ඇතිවන ප්‍රශ්න හෝ ආරවුල් කම්කරු කොමසාරිස්වරයාට (Labour Commissioner) හෝ කාර්මික උසාවියකට (Industrial Court) යොමු කරන්න පුළුවන්.
3. සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත (TEWA – Termination of Employment of Workmen Act No. 45 of 1971)
සේවකයන් 15 දෙනෙක් හෝ ඊට වඩා ඉන්න රෙස්ටුරන්ට් එකක් නම්, කම්කරු කොමසාරිස්ගේ අනුමැතියක් නැතුව හෝ සේවකයාගේ ලිඛිත කැමැත්තක් නැතුව සේවය අත්හිටුවන්න බැහැ.
4. කර්මාන්තශාලා ආඥාපනත (Factories Ordinance, 1942) රෙස්ටුරන්ට් එකක කිචන් ඒරියා එකට, උයන පිහන උපකරණවලට සහ සිදුවිය හැකි අනතුරුවලට අදාළ වෙනවා. කුස්සිය පිරිසිදුව තියන්න, වාතාශ්‍රය සහ ආලෝකය හරියට දෙන්න, මැෂින්වල ආරක්ෂාව බලන්න සහ නොමිලේ ආරක්ෂිත උපකරණ (protective equipment) සේවකයන්ට ලබාදීමේ වගකීමට මේ පනතින් සේවායෝජකයා බැඳිලා ඉන්නවා.
5. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 190 වන සම්මුතිය (ILO Convention No. 190) තමයි මේ සිදුවීමට වඩාත්ම කෙලින්ම බලපාන ජාත්‍යන්තර සම්මුතිය. රැකියා ස්ථානයක සිදුවන ශාරීරික, මානසික, ලිංගික වගේම ආර්ථික වශයෙන් හානි කරන ඕනෑම ප්‍රචණ්ඩත්වයක් සහ හිරිහැර කිරීමක් (violence and harassment) මේ සම්මුතියෙන් සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. මේකේ “සේවා ස්ථානය” කියන එක හරිම පුළුල්ව අර්ථ දක්වලා තියෙන්නේ. වැඩ කරන වෙලාවට කලින් සහ පස්සේ කාලය, විවේක ගන්නා තැන් වගේම වොෂ්රූම් පවා මේකට අයිතියි. ශ්‍රී ලංකාව මේ සම්මුතිය 2026 ජනවාරි 8 වෙනිදා නිල වශයෙන් පිළිගත්තා. ඒ නිසා ලංකාවේ සේවකයන් වෙනුවෙන් මේ නීතිමය ආරක්ෂාව ලබාදෙන්න රජය ජාත්‍යන්තර වශයෙනුත් දැන් බැඳී සිටිනවා.
ව්‍යාපාරිකයෝ කියන්නත් නුසුදුසු ටියුෂන් කඩකාරයෝ, කොත්තු කඩකාරයෝ මේ ප්‍රදර්ශනය කරන්නෙ මනුෂ්‍යයන් විදිහට වගේම ව්‍යාපාරිකයන් වශයෙනුත් ඔවුන් කොයිතරම් අසමත්ද කියලා මිසක් වෙන දෙයක් නෙවෙයි.
අසමත් කඩකාරයෝ වගේම මේ අමානුෂික, පහත් හැසිරීම් සුද්ද කරන්න එකතු වෙන තමන්ගෙ වාසියට ඕන අසූචි ගොඩක ලයිට් වැල් එල්ලන නිල මැස්සෝ අඳුනගන්නත් මේ තවත් අවස්ථාවක්.
මනුෂ්‍යයෙක් විදිහට තවත් මනුෂ්‍යයෙක්ට ගෞරව කරලා හැසිරෙන්න බැරි නම් ඒ පුද්ගලයා මනුෂ්‍යයෙක් වශයෙන් අසමත්.
තමන්ගේ සේවකයන්ට තරාතිරම නොබලා ගෞරව කරන්න බැරි, සේවකයින්ට පහර දෙන්නෙ නැතුව, බය කරන්නෙ නැතුව වැඩ කරවාගන්න බැරි නම් කොයිතරම් ලාබ ඉපැයුවත්, කොයි තරම් සංදර්ශන දැම්මත් ඒ කඩකාරයා ව්‍යාපාරිකයෙක් වශයෙන් අසමත්.
සේවකයන්ට ගෞරවණීයව සලකලා ව්‍යාපාර කරගෙන යන්න බෑ කියලා යම් කෙනෙක් කියනවනම් “කඩේ වහලා ගෙදර යන්න, ඔයාලට බිස්නස් බෑ” කියලා තමයි කියන්න තියෙන්නේ.
