ගෝඨාගෝගම ප්‍රහාරයට මහින්දට අධිචෝදනා නෑ! ජොන්ස්ටන්, දේශබන්දු ඇතුළු 31කට චෝදනා!

අරගලය සමයේ ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ විරෝධතාකරුවන්ට එල්ල වූ 2022 මැයි මස ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබෙනවා.

මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී රාජපක්ෂ මහතා සිය සහෝදරයා වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියා.

විරෝධතාකරුවන් රැසකට බරපතළ තුවාල සිදුකළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කිරීම සඳහා විමර්ශකයන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි ප්‍රමාණවත් නොවන බව නීතිපතිවරයා තීරණය කිරීම හේතුවෙන් රාජපක්ෂ මහතාට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනු නොකිරීමට තීරණය කර තිබෙනවා.

එවකට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු නොකෙරුණද, ඇසින් දුටු සාක්ෂි, පරිවේශනීය සාක්ෂි සහ ප්‍රහාරය සිදුවූ ස්ථානයේ වීඩියෝ දර්ශන පිළිබඳ විශේෂඥ විශ්ලේෂණයන් මත පදනම්ව තවත් සැකකරුවන් 34 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට නිර්දේශ කර තිබුණා.

ඉන් චූදිතයන් තිදෙනෙකු මේ වනවිට මියගොස් තිබේ. ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, දේශපාලන ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් සහ හිටපු වෘත්තීය සමිති නායිකා වසන්තා හඳපාන්ගොඩ ය.

ඉතිරි සැකකරුවන් 31 දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට නියමිත‍යි.

නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, මිනීමැරීමට තැත් කිරීම සහ බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 327ක් යටතේ ඔවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරෙනු ඇති.

මෙම නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන් ඉල්ලා ඇති බව ද “සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට වාර්තා වනවා.

මෙසේ අධිචෝදනා ලැබීමට නියමිත සැකකරුවන් අතරට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලන් ජයතිලක, දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක අමල් පුෂ්පකුමාර ද සිල්වා, කොළඹ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක අජන්ත ලියනගේ, හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම සහ ‘අරබි වසන්ත’ හෙවත් අසංක නාලක විජේසිංහ යන අය ඇතුළත් වනවා.

Author

Related Posts