මේ ඔක්කොම පටන් ගත්තේ මම දාපු පෝස්ට් එකකින්.
අනුරාධපුර රැළියෙ Meenu Gunasinghe කතා නොකළෙ ඇයි? 🤔
කියලා මම ෆේස්බුක් පෝස්ට් එකක් දැම්මා.
මේ පෝස්ට් එක දැම්මේ මීනු වෙනුවෙන් පෙනී සිටින්න නෙවෙයි. ඇය පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිනියක්. මේක දැම්මේම උපහාසයට. උපහාසයේ එක ඉලක්කයක් පොදුජන පෙරමුණ. අනෙක් ඉලක්කය මීනු. එතැන කිසිම කතා දෙකක් නෑ.
මීනු ගොඩක් වෙලාවට පොහොට්ටුවේ වේදිකාවල කතා කරනවා අපි දැකලා තියෙනවා. ඇය SLPP එකේ රැළිවල නිතර කතා කරන තරුණ ක්‍රියාකාරිනියක්. ඉස්සරහට ඡන්දෙත් ඉල්ලයි.
හැබැයි ඒ අතර මීනු කියපු කතා කියලා හදපු ව්‍යාජ පෝස්ට් ගණනාවක් පවා පහුගිය කාලෙ ෆැක්ට් චෙක් කරන්න සිද්ධ වෙලා තිබුණා. ඒවා ටිකක් අවුල් වැඩ. මම එතැනට යන්නේ නෑ. හසලක තුෂාර හෙවත් හසාත් මීනු කිව්වා කියල බොරු කතාවක් ෂෙයා කරපු අය අතරේ ඉන්නවා. එතැන පොඩි උපහාසයක් ගියා. කොහොම නමුත්, මීනු කියන්නේ පොහොට්ටුවේ අවධානයක් ලබන තරුණ නායිකාවක්.
අනුරාධපුර රැළියට සාවින්ද්‍යා එදිරිමාන්න කතා කළා.
සාවින්ද්‍යා නරක නැහැ. එහෙත් පොහොට්ටුවේ දැන් ඉන්න තරුණ දේශපාලන චරිත අතර මීනු කියන්නේ සමාජ මාධ්‍යවලින් අවධානය ගන්න, මතභේද ඇති කරන්න, තමන්ගේම දේශපාලන චරිතයක් හදාගන්න උත්සාහ කරන කෙනෙක් විදියට අපට යම්කිසි විවේචනාත්මක කතිකාවකට ඇදලා ගන්න පුලුවන් මාතෘකාවක්. පොලිටික්ස් කරනවා කියන්නේ විවේචන එක්ක හැප්පෙන්න වෙනවා. පොහොට්ටුවේ දේශපාලනයේ තියෙන මුග්ධකම් මීනුගේ සහ සාවින්ද්‍යාගෙත් තියෙන නිසා අපි ඔවුන්ව විවේචනය කරනවා.
එයා කියන කතා බුද්ධිමත්ද, අවුල්ද කියන එක දේශපාලනිකව විවේචනය කරන්න පුළුවන්. කරන්නත් ඕනෑ. හැබැයි ඔය තිස්සකුට්ටිලාට වඩා මීනුලාව ඉලක්ක කරගෙන පොහොට්ටුවට ගහන්න මම ආසයි. ඒ මීනු කෙල්ලෙක් නිසා නෙවෙයි. තිස්සකුට්ටිලාට වඩා පොලිටිකලි ඉස්සරහෙන් ඉන්න නිසා.
හැබැයි මට මෙතැන වැදගත් ප්‍රශ්නය වෙන එකක්.
කාන්තාවක් දේශපාලනයට ආවාම අපි ඇයව සීරියස් දේශපාලන චරිතයක් විදියට ගන්නවද? නැත්නම් ඇයව වේදිකාවේ අලංකාරයට, හුරතලයට, ලිංගික විහිළුවට, “දෝණි” චරිතයට, හෝ තරුණියන්ට තියෙන කෝටාවක් පුරවන්න විතරක් පාවිච්චි කරනවද?
අනුරාධපුරේ රැළිය ඉවර වුණාම දුමින්ද දිසානායකලා, චාමර සම්පත්ලා නැත්තේ ඇයි කියන කතාවත් ආවා. තිස්සකුට්ටිගේ කෝල් එකකුත් ලීක් වුණා. චාමර සම්පත් කියලා තිබුණේ තමන්ට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රැළියට ආරාධනාවක් ලැබුණේ නැහැ කියලයි. දුමින්ද දිසානායකත් තිස්සකුට්ටිට විවේචනය කරලා තියෙනවා මම දැක්කා.
දේශපාලන ප්‍රතිවාදීන්ට ඒක ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර සම්බන්ධය ගැන ප්‍රශ්න කරන්න හොඳ කතාවක්.
මම මගේ පෝස්ට් එක උපහාසයෙන් දැම්මේ අර දුමින්දලා- චාමරලා නැත්තෙ ඇයි කියලා ප්‍රශ්න කරන අයට, මීනු නැත්තේ ඇයිද? කියන ප්‍රශ්නයත් මතක් කරන්නයි. ජෝක් එකේ යටිපෙළේ ඒක තියෙනවා. චාමර සම්පත් විතරද නොහිටියේ? ඇයි මීනු ගැන අහන්නැද්ද අපි?
මේ වෙලාවේ පොහොට්ටු සෙට් එක මාව විවේචනය කරද්දී කියපු එක කතාවක් මම පිළිගන්නවා. ඇත්තටම පොහොට්ටුවෙ රැළියට මීනු නැත්තේ ඇයිද කියන ප්‍රශ්නයට වඩා පොලිටිකලි වැදගත් වෙන්න පුළුවන් ප්‍රශ්නය තිබුණා.
පොළොන්නරුවේ “ගොවි රැළිය” කියලා ලේබල් කරපු මාලිමාවේ රැස්වීමට කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න නොගියේ ඇයි කියන එක.
ඒ රැළිය ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් මට්ටමේ රැළි මාලාවක කොටසක් බවත්, ඒක විශේෂයෙන් ගොවීන් සහ කෘෂිකර්මය කේන්ද්‍ර කරගත් රැළියක් ලෙස ප්‍රචාරය කළ බවත් වාර්තා වෙලා තියෙනවා. ලාල්කාන්ත සහ නාමල් කරුණාරත්න දෙන්නාම නොසිටි බවත් පසුව ප්‍රශ්නයක් වෙලා තිබුණා. නාමල් කරුණාරත්නගේ පිළිතුර වුණේ “හැමෝම යන්න ඕනෑ නැහැ” කියන එක.
මම එතැන දකින්නේ මේ පොළොන්නරු රැස්වීම “ගොවි සමුළුවක්” විදියට ලේබල් කිරීම නිසාම ඒ ප්‍රශ්නයට වැඩි දේශපාලන බරක් ලැබෙනවා කියන එකයි.
කොහොම නමුත් මම ඉතින් විනෝදෙට ෆේස්බුක් දැම්මෙ මීනු නොආවේ ඇයි කියලා.
ඒකට ප්‍රතිචාරයක් විදියට සමිල ද සිල්වා මට කිව්වා-
“උබත් හෙනම චීත්තයක්නේ බං.”
මම ඇහුවා “චීත්තයක් කිව්වේ?” කියලා.
ඊට පස්සේ ඒ “චීත්තය” කියන වචනය defend කරන්න ඔහු ජීව විද්‍යාව අරගෙන ආවා. ඔහු කියා තිබුණේගැහැණු අය ඕපදූප හොයන්න වැඩි කැමැත්තක් දක්වනවා. පරිණාමීය ජීව විද්‍යාවෙන් ඒක හොයාගෙන තියෙනවා. පිරිමින්ට stress ආවාම Fight or Flight. කාන්තාවන්ට Tend and Befriend. Gossip කරනකොට oxytocin, dopamine වැඩිවෙනවා. ඒ නිසා චීත්තයක් වෙන්න එපා. සරමක් වෙයන් කියලා.
“චීත්තය” කියන සමාජයේ තිබුණු මිසොජනිස්ටික් කියමනකට විද්‍යාවේ වචන ටිකක් අලවලා scientific explanation එකක් වගේ හැදීම නිවැරදි නෑ. මම සමිලට කිව්වා මේවා තමයි ‘පගේ විද්‍යාව‘ කියන්නේ කියලා.
විද්‍යාව තියෙන්නේ සමිලලාගෙ ඔලුවෙ තියෙන තක්කඩි ස්ටීරියෝටයිප්වලට ලස්සන ඉංග්‍රීසි වචන ටිකක් දාලා ඒවා සත්‍ය කරන්න නෙවෙයි. ඒත්, විද්‍යාව එහෙම යූස් කරන අය ඉන්නවා. මට ඕනෙ වුණා සමිල කියන කතාව ගැන පොඩ්ඩක් ෆලෝ කරන්න. ලොකු වෙලාවක් වැය කළේ නැතත්- මම සරලව ඒඅයි පාවිච්චි කරලා පොඩ්ඩක් ඩීප් රිසර්ච් දෙකතුනක් කරවගත්තා සමිලගේ කතාව ගැන තේරුම් ගන්න.
මාව ජීව විද්‍යාව පැත්තෙන් සීරියන් නොගත්තාට කමක් නෑ. හැබැයි මට තේරෙන දේ මේකයි.
Fight or Flight කියන්නේ පිරිමින්ට පමණක් තියෙන stress response එකක් නෙවෙයි.
2000දී Shelley Taylor ඇතුළු පර්යේෂකයන් “tend-and-befriend” hypothesis එක ඉදිරිපත් කරනකොටත් ඔවුන්ම කියන්නේ fight-or-flight physiological response එක පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයේම තිබෙන බවයි. ඔවුන්ගේ hypothesis එක වුණේ සමහර අවස්ථාවල කාන්තාවන්ගේ behavioral response එක caring සහ social affiliation පැත්තට වැඩිපුර යා හැකි බව. පසුව ඒ theory එක ගැනම පළවුණු විවේචනවලින් පිරිමින් ද tending සහ befriending කරන බව පෙන්වලා තියෙනවා.
ඊළඟට gossip කතාව.
කාන්තාවන් 22 දෙනෙක් විතරක් අරගෙන කරපු 2017 කුඩා පර්යේෂණයක gossip conversation එකෙන් oxytocin වැඩිවීමක් හමු වුණා. හැබැයි stress marker එකක් වන cortisol අඩුවීම gossip එකට විශේෂ වුණේ නැහැ. gossip, emotional conversation, neutral conversation තුනේම cortisol අඩුවුණා.
ඊටත් වඩා වැදගත්- social interaction සහ endogenous oxytocin ගැන studies 51ක 3,741 දෙනෙක්ගේ දත්ත එකතු කළ meta-analysis එකක causal experiments වල social interaction එකෙන් බලාපොරොත්තු වුණු oxytocin response එකක් විශ්වාසදායකව පෙන්වන්න බැරිවෙලා තියෙනවා.
ඒ වගේම සාමාන්‍ය ජීවිතයේ මිනිස්සු කතා කරන දේවල් record කරලා පිරිමි සහ ගැහැණු 467 දෙනෙක් අධ්‍යයනය කරපු research එකේ කාන්තාවන් neutral gossip වැඩිපුර කළා. හැබැයි කාන්තාවන් පිරිමින්ට වඩා malicious හෝ negative gossip කරනවා කියන stereotype එකට සාක්ෂියක් හමු වුණේ නැහැ.
එහෙනම් “ගෑනු කියන්නේ ස්වභාවයෙන්ම ඕපදූප හොයන සත්තු” කියන එකට මේවා සාක්ෂි නෙවෙයි.
තව වැදගත් දෙයක් තියෙනවා.
නූතන සමාජයේ ඉන්න ගැහැණු සහ පිරිමි අරගෙන ඔවුන්ගේ හැසිරීමේ වෙනසක් හොයාගත්තා කියලා- ඒ වෙනස biology නිසා කියලා කියන්න බැහැ.
මොකද අපි අධ්‍යයනය කරන්නේ vacuum එකක උපන් මිනිස්සු නෙවෙයි. එයාලා සියවස් ගණනක් තිස්සේ සමාජයීය වශයෙන් පුරුෂමූලික සමාජයන් තුළ හැදී වැඩුණ සාහිත්‍යයක්, සංස්කෘතියක්, සමාජයීය ගතිපුරුදු වගේම සමහරවිට ඒ නිසාම ඇති වූ පරිණාමීය ලක්ෂණ සහිත පිරිස්.
අන්තිමේ අධ්‍යයනය කරන්නේ අවුරුදු විස්සක්, තිහක්, හතළිහක් තිස්සේ “පිරිමියා මෙහෙම වෙන්න ඕනෑ”, “ගැහැණිය මෙහෙම වෙන්න ඕනෑ” කියලා පුහුණු කරපු මිනිස්සු.
Gender roles ළමා වියේ සිට හැසිරීම්, රැකියා අපේක්ෂා සහ අභිලාෂයන් හැඩගස්වන්න පුළුවන් බව සමාජ මනෝවිද්‍යා පර්යේෂණ පෙන්වනවා. sex differences විස්තර කරන්න social role, evolutionary සහ biosocial explanations එකිනෙකට තරග කරන සහ සමහරවිට එකිනෙකට සම්බන්ධ frameworks විදියටම අදත් විමර්ශනය කරනවා.
ශිෂ්ටාචාරයේ ඉතිහාසයේ ලොකු කොටසක් තිස්සේ කාන්තාවගේ ඉඩ private sphere එකට සීමා කරලා, public sphere එක- දේශපාලනය, නීතිය, වෙළෙඳාම, රාජ්‍ය පාලනය, යුද්ධය- පිරිමින්ගේ තැනක් කරලා තියෙනවා.
කාන්තාව විසින් කරන දරුවන් බලාගැනීම, මහලු අය බලාගැනීම, උයන එක, පිරිසිදු කරන එක, පවුලේ ශ්‍රම බලය නැවත දවසකට සූදානම් කරන එක- මේ social reproduction එක නැතිව වැටුප් ශ්‍රමයවත්, කර්මාන්තයවත්, වෙළෙඳපොළවත් පවත්වාගෙන යන්න බැහැ.
හැබැයි ඒ වැඩේට ආර්ථික වටිනාකමක් නොදීමෙන් ඒක “ගෑනුන්ගේ ස්වභාවික සහ ජීව විද්‍යාතත්මකව කළ යුතු වැඩේ” කියලා පෙන්වනවා.
ඒක නිසා කාන්තාව historically පවුල, අසල්වැසියෝ, දරුවෝ, විවාහ, සම්බන්ධතා, ආත්ම ගෞරවය වගේ පුද්ගල මූලික සම්බන්ධතා ජාලයකට සීමා කරලා- පිරිමියා දේපළ, රාජ්‍ය බලය, රැකියාව, යුද්ධය සහ පොදු තීන්දු ගැනීමේ වැඩවලට යැව්වාම ඉතතින් අවුරුදු සිය ගාණකට පස්සේ දැන් මොනවද ජීව විද්‍යාව ගැන කතා කරන්නේ. ගෑණු ඇවිල්ලා චීත්තලු. සරම් ඇවිල්ලා සටන්කාමීන්ලු.
විශේෂයෙන්ම සමහර මුග්ධ අදහස් කියලා ඉවරවෙලා- ඒක විද්‍යාත්මක අදහසක්ය කියලා විද්‍යාව පිටිපස්සේ මුවාවෙන එක සුදුසු දෙයක් නෙවෙයි. බොහෝ දේවල් විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන් ඇති. ඒත්, ඒක නෙවෙයි වැඩේ.
තමන්ගේ ජාතිය උසස් බව පෙන්වන්නත්, අනන්‍යතා දේශපාලනයේදීත් සහ ස්ත්‍රී පුරුෂ දේශපාලනයේදීත් ඒ දේවල් ජීව විද්‍යාත්මක බව පෙන්වන විද්‍යාත්මක අධිකාරීවාදයක් තියෙනවා.
සමහරු ඇහුවා මම මීනු ගැන පෝස්ට් එක දැම්මේ මීනු දිහාට ඉතාම දරුණු ලිංගික සහ මිසොජනිස්ටික් අදහස් පෙළගස්වන්න නේද කියලා.ඒ පෝස්ට් එක යට මාලිමාවාදීන් දැම්ම comments දැක්කාම ප්‍රශ්නය තේරෙනවා.
“අනේ දෝණිට කරදරයක්ද?” වගේ comments තිබුණා. “කතා කරගෙන යද්දී දුකට ඇඬෙන්න පුළුවන්” වගේ comments තිබුණා. ඊටත් වඩා පහත් ලිංගික සහ සත්ව උපමා තිබුණා. මේවා මාලිමාවට හිතවත් අයගෙන් ආපු පසුගාමී අදහස්.
ඔන්නෝකයි ප්‍රශ්නය. මම ගොඩක් තැන්වලදි දකින එකක් තමයි මාලිමාවේ පොදුජන අවකාශයෙ ඉන්න චරිත අතිශය පසුගාමීයි. මේක මාලිමාවට විතරක් නෙවෙයි, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගේ කණ්ඩායම්වල පවා මම දැකල තියෙන දෙයක්.
කාන්තාවකගේ දේශපාලන අදහසට උත්තර දෙන්න බැරි වෙලාවට ඇගේ ශරීරය, වයස, ඇඳුම, ලිංගිකත්වය, සම්බන්ධතා, “දෝණිකම”, “ගෑනුකම” අරගෙන ගහනවා නම්- ඒක පැරණි පුරුෂවාදී ආම්පන්න කට්ටලයම තමයි.
මෙතැන තවත් වැදගත් එකක් තියෙනවා.
Misogyny හැම වෙලාවෙම “ගෑනු මට පේන්න බෑ” කියන ස්වරයෙන් ගේමට ගේම වගේ එන්නේ නැහැ.
Social psychology එකේ hostile sexism සහ benevolent sexism කියලා වෙනසක් කතා කරනවා. Hostile sexism එක කාන්තාවට සෘජුව පහර දෙනවා. Benevolent sexism එක බොහෝ වෙලාවට “ආදරෙන්” එනවා. කාන්තාව පිරිසිදුයි, මෘදුයි, දුර්වලයි, අපි රකින්න ඕනෑ කියලා paternalistic විදියට ඇයව අඩු agency තියෙන කෙනෙක් කරනවා. විශාල systematic review එකකින් මේ දෙක එකිනෙකට විරුද්ධ දේවල් නොවී gender hierarchy එක පවත්වාගෙන යන complementary patterns දෙකක් විදියට විස්තර කරනවා.
ඒ නිසාම-
“දෝණි”
“අනේ ඔයාට තරහ ගියාද?”
“ඔයා හරි ලස්සනයි”
“අනේ සොරි හොඳේ”
වගේ වචන දේශපාලන විවාදයකදී යොදාගෙන වැඩිහිටි කාන්තාවක් මෘදු, ළමා, බොළද, හැගිම්බර, කියුට් වස්තුවක් බවට පත් කරනවා නම් ඒකේ බල සම්බන්ධතාවක් තියෙනවා. ගෑණු කෙනෙක්ට පොලිටිකල් වැදගත්කමක් ලැබෙන්න නම් එයාව සාමාන්‍ය විදියට බාර අරන් වාද විවාද කරන්න ඕනෑ. විවේචනය කරන්න ඕනෑ. එකග නම් එකගතාවත් ඒ විදියට දෙන්න ඕනෑ.
තමන්ගෙ පැත්තේ කෙල්ලන්ව “හොඳ කෙල්ල” විදඒයට සුරතල් කිරීමත්- එකෙන් පිට ගියාම- ප්‍රචණ්ඩ, ගෝෂාකාරී විදියට “බැල්ලි”, “චීත්තය”, “වේසිය” වගේ භාෂාව එනවා. පොහොට්ටුවන් මාලිමාවේ ගැහැණුන්ටත්, මාලිමාවුන් පොහොට්ටු ගෑණුන්ටත් මේ වගේ භාෂා පාවිච්චි කරන්න පුලුවන්.
කොහොම වුණත් මට හිතෙන දෙයක් තමයි මීනුව සීමා කරන්නේ පිට අය නෙවෙයි එයාගෙම පක්ෂෙ අය බව.
අපේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ දිස්ත්‍රික්කයක පක්ෂයට ලැබෙන ආසන ගණන පක්ෂයට ලැබෙන ඡන්ද අනුව තීරණය වෙලා, ඒ පක්ෂයෙන් කවුද ඒ ආසනවලට යන්නේ කියන එක මනාප ඡන්ද වලින් තීරණය වෙනවා. ඡන්දදායකයාට තමන් ඡන්දය දෙන පක්ෂයේ අපේක්ෂකයන් අතර මනාප තුනක් දක්වන්න පුළුවන්. මේ සිස්ටම් එක ඉතින් වෙනස් කරන්න කිව්වාට වෙනස් කරන්නේ නැහැ. එම පක්ෂය ඇතුළේ වළි යනවා.
එකම පක්ෂයේ තරුණ නායකයෝ, කාන්තාවෝ, පරණ නායකයෝ, ප්‍රදේශීය බලවතුන්- හැමෝම එකිනෙකා එක්ක ස්ටේජ් එකේ ලැබෙන වෙලාව, මීඩියාවල සහ සෝෂල් මීඩියාවල ලැබෙන ඉඩ වගේ දේවල් ගැන තරගයක් තියෙනවා. කුට්ටි දුමින්ද දිසානායක එනවාට කැමති නැත්තේ ඒකයි. එහෙම ආවොත් කුට්ටිට අනුරාධපුර ලැයිස්තුවේ තරගයක් එනවා.
කාන්තාවන් කියන්නේ මල් පෝච්චි නෙවෙයි. රැළියක පිරිමි විසිදෙනෙක් කතා කරලා කාන්තාවක් එක්කෙනෙක් කතා කළාම ගෑණු කතාව දුන්නා කියලා අත පිහගන්න එකයි පොහොට්ටු දේශපාලනයේ ලක්ෂණය.
ගොඩක් අය දාලා මීනු කතා නොකළේ ඇයි ඇහුවාම ‘ඇයි සාවින්ද්‍යා කතා කළානේ?‘ කියලා. ඒ කියන්නේ පොහොට්ටු රැළිවල තරුණ කෙල්ලන්ට ‘කෝටාවෙන්‘ කතාවක් දෙනවා. ඒකෙ ආතල් එකක් තියෙන නිසා. මේවා එක්කො මිලින්ද රාජපක්ෂලා නාමල්ගෙ ඔලුවට බස්සපු අදහස් වෙන්න ඕනෙ. මිලින්දගෙග යාලුවා ඉරාජුත් ගෑණුන්ව පාවිච්චි කළේ මේ වගේ වැඩවලට. සාවින්ද්‍යා කතාකලොත් මීනු නෑ. මීනු කතාකළොත් සාවින්ද්‍යා නෑ. එයාලා අර බහුතරයක් පිරිමි වූ සෙනගට චූටි කෙල්ලෙක් කතා කරන හැටි පෙන්වීමේ වුවමනාවට දාන කැරැක්ටර් එකක් විතරයි. අර්ජුනා ඇවිත් දෙමළ කොමඩියන්ගේ අඩුව පුරවනවා. සාවින්ද්‍යා හෝ මීනු දෙන්නාගෙන් එක්කෙනෙක් ඇවිත් තව කෝටාවක් පුරවනවා. එතැනින් එහාට ඔවුන්ට දේශපාලන හරයක් නැද්ද?
කොහොමහරි මීනුට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම ඔයාට පොලිටිකලි විරුද්දයි. දේශපාලනිකව විරුද්ධ කාන්තාවකට සමානත්වයෙන් සහ ගෞරවයෙන් සැලකීම කියන්නේ ඇයව විවේචනය නොකර ඉන්න එක නෙවෙයි.
ඇයව අනෙක් දේශපාලන චරිතවලට දෙන තරමේම සීරියස් විවේචනයකට ලක් කරන එක. මං හැප්පෙන්නේ ඔබේ දේශපාලනිකව හැප්පෙන්නෙ දේශපාලනය එක්ක. ගෑනුකම එක්ක නෙවෙයි.
ඒක මීනුට විතරක් නෙවෙයි. හැමෝටම අදාල එකක්.
කොහොම නමුත් ජයවේවා! ඊලග රැළියෙදීවත් දකින්න ලැබේවා!
