ටිරාන්ගේ මව්බිමට කම්කරු දෙපාර්තමේන්තුවෙන් හදිසියේ යයි – සේවක අයිතිවාසිකම් කඩකිරීම ගැන පුළුල් විමර්ශනයක්

හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට අයත් සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමට අයත් පරිශ්‍රය වෙත කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් අද (18) පෙරවරුවේ හදිසි පරීක්ෂාවකට පැමිණ තිබේ.

එම සමාගම මගින් ප්‍රකාශයට පත් කෙරෙන ‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ පුවත්පත්හි සේවයේ නිරත මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන්ගේ කම්කරු අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇත.

අදාළ ආයතනය තුළ දීර්ඝ කාලයක සිට වැටුප් නොගෙවීම, වැටුප් ගෙවීම් ප්‍රමාද කිරීම, සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ සේවක භාරකාර අරමුදල් (ETF) නිසි පරිදි තැන්පත් නොකර රඳවාගැනීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබේ.

මේ පිළිබඳව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලැබී තිබූ පැමිණිලිවලට අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන්, පරීක්ෂාව සිදුකෙරෙන අවස්ථාවේ ආයතනයේ රැඳී සිටි අතලොස්සක් වූ සේවකයන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ හිඟ වැටුප් ලබා දෙන බවට පාලනාධිකාරිය දුන් පොරොන්දු මත බහුතරයක් සේවකයන් සේවයට වාර්තා කිරීමෙන් වළක්වා ඇති බවයි. තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව විමර්ශන නිලධාරීන් ආයතනයේ ගිණුම් අංශයට ගොස් එහි ප්‍රධානීන් හමු වී ඇති අතර, සේවක හිඟ මුදල් හා අරමුදල් සම්බන්ධ වාර්තා පරීක්ෂා කරමින් ඔවුන්ට දැඩි ලෙස අවවාද කර ඇති බව වාර්තා වේ.

ජනමාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය එක්ව පසුගිය මාර්තු මාසයේදී කම්කරු කොමසාරිස්වරයා වෙත මේ පිළිබඳව නිල වශයෙන් පැමිණිලි කර තිබිණි. එහෙත් එම විමර්ශන කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ මන්දගාමී ස්වභාවයක පැවැති අතර, පවතින දේශපාලන සම්බන්ධතා මත මෙම පරීක්ෂණ යටපත් වන බවට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළින් දැඩි විවේචන එල්ල විය.

මීට අමතරව, අගරු වූ චෙක්පත් නිකුත් කිරීම සහ මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් ද සිලෝන් නිවුස්පේපර්ස් ආයතනයේ ගිණුම් ප්‍රධානීන් සහ පාලනාධිකාරියට එරෙහිව අධිකරණය හමුවේ තවත් නීතිමය ක්‍රියාමාර්ග කිහිපයක්ම දැනටමත් විභාග වෙමින් පවතින බව වාර්තා වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading