සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ වීඩියෝවක් හේතුවෙන් අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික තරුණයෙකු වන කල්මුණේ ප්‍රදේශයේ පදිංචි සිවරාසා අනෝජන් නමැත්තාට එරට අධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබෙනවා. මීට පෙර ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී තිබුණු අතර, ඊට එරෙහිව ගොනු කළ අභියාචනයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස දඬුවම තවදුරටත් තීව්‍ර කර ඇති බවයි වාර්තා වන්නේ.
යාපනයේ සිට කතරගම දක්වා ගමන් ගත් වන්දනා නඩයක සුනඛයෙකුට කල්මුණේදී පුද්ගලයෙකු විසින් පා පහරක් එල්ල කිරීමේ සිදුවීමක් මුල් කරගනිමින් මෙම තරුණයා සිය ෆේස්බුක් ගිණුමේ ඊට ප්‍රතිචාර දක්වමින් වීඩියෝවක් පළ කර තිබුණා. එම වීඩියෝව හරහා ආගමික අපහාසයක් සිදුකළ බව පවසමින් සෞදි පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීමට අදාළ රජයේ මැදිහත්වීම පැහැදිලි කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, අදාළ දඬුවම ලිහිල් කර ගැනීම සඳහා තානාපති කාර්යාලය සහ නීතිඥවරුන් හරහා විශාල උත්සාහයක් ගත් බවයි. කෙසේ වෙතත් වර්තමානයේදී තත්ත්වය වඩාත් භයානක වී ඇති බවත්, මරණ දඬුවම ලබා දීමේ සූදානමක් පවතින බවත් ඔහු තහවුරු කළා. මෙම සිදුවීම පදනම් කරගෙන කිසිදු ප්‍රකෝපකාරී තත්ත්වයක් ඇති නොකරන ලෙසත්, ජාතික සමගිය සහ ආගමික සහජීවනය වෙනුවෙන් කැපවන ලෙසත් අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.
මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලබන සතියේදී පාර්ලිමේන්තුවේදී කරුණු විමසීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්‍යම් මහතා ප්‍රකාශ කර තිබෙනවා. තරුණයාගේ පවුලේ සාමාජිකයින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ උපදෙස් මත රුපියල් ලක්ෂ 19ක මුදලක් විදේශ කටයුතු අමාත්‍යාංශයට ගෙවා නීතිඥවරයෙකු හරහා අභියාචනයක් ඉදිරිපත් කළද, එහි ප්‍රතිඵලය වී ඇත්තේ මරණ දඬුවම හිමිවීම බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
තවද, මෙම අභියාචනය 2026 අගෝස්තු 24 වන දින ගොනු කර තිබුණද, ඒ පිළිබඳව දැනුවත් කරමින් පවුලේ ඥාතීන් වෙත විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් ලිපියක් යොමු කර ඇත්තේ 2026 සැප්තැම්බර් 16 වන දින බව නිල ලියකියවිලි මගින් තහවුරු වෙනවා. එසේම පෙනී සිටින බව පැවසූ නීතිඥවරයා වෙනුවට වෙනත් නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිට ඇති බවට පවුලේ සාමාජිකයින් චෝදනා කරන බැවින්, ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය මීට වහාම මැදිහත් වී සාධාරණ විසඳුමක් ලබා දිය යුතු බවට ශානක්‍යම් මන්ත්‍රීවරයා අවධාරණය කළා.
තම පුත්‍රයාට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් දැඩි කම්පනයට පත්ව සිටින අනෝජන්ගේ මව, සිය දරුවා අතින් සිදුවූ වරදට සමාව අයදින බව ප්‍රකාශ කර සිටියා. තම පුත්‍රයාට මරණ දඬුවම නියම වී ඇති බැවින් ඔහුව බේරා දෙන ලෙස ඇය ජනාධිපතිවරයා ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉතා සංවේදීව ඉල්ලා සිටිනවා.
