ලක්මාලි බීබීසී වාර්තාව ගැන කළ නෛතික තර්ජනයට ප්‍රතිචාර! වරප්‍රසාද කමිටුවට අපවත් කැදවන්න!

අනුරාධපුරයේ බාලවයස්කාර දැරියක අපයෝජනය වීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී ඇතිවූ තත්ත්වය වාර්තා කළ ‘බීබීසී සිංහල’ සේවයේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී (නීතිඥ) ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එයට ප්‍රතිචාර දක්වමින් Whatnews වෙබ් අඩවිය සහ Satahan Radio ඍජුවම අභියෝග කර සිටින්නේ බීබීසී වාර්තාවෙන් පසු අපද මේ පිළිබද වාර්තා කර ඇති නිසා අපවද වරප්‍රසාද කමිටුවට කැදවන ලෙසයි. එසේ අභියෝග කිරීමට හේතුපාදක වන්නේ මෙලෙස කැදවන බව තර්ජනය කිරීම මාධ්‍ය බියගැන්වීමේ උත්සාහයක් ලෙස සලකමිනි.

බීබීසී සිංහල වෙබ් අඩවියේ පළ වූ “බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?” යන මැයෙන් යුතු ප්‍රවෘත්තියේ තිර ඡායාරූපයක් (Screenshot) සිය ෆේස්බුක් ගිණුමේ පළ කරමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සටහනක් තබමින් මන්ත්‍රීවරිය එහි මෙසේ සඳහන් කර තිබේ:

“මම මේ ලිපිය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනවා. මෙම මාධ්‍යවේදියා පාර්ලිමේන්තුවේ සිදුවූ සාකච්ඡාව සම්බන්ධයෙන් ද්වේෂසහගත තොරතුරු මත පදනම්ව සංසදය සහ කාන්තා මන්ත්‍රීවරියන් ඉලක්ක කරගනිමින් අසත්‍ය ආඛ්‍යානයක් නිර්මාණය කර තිබෙනවා. මෙය මගේ අවධානයට යොමු කිරීම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි.”

මෑතකදී අනුරාධපුරයේ බාලවයස්කාර දැරියක අපයෝජනය වීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ පැවති රැස්වීමක කරුණු මාධ්‍යයට හෙළි කළහොත් අදාළ නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී (නීතිඥ) ලක්මාලි හේමචන්ද්‍ර විසින් කරන ලදැයි කියන ප්‍රකාශය මේ දිනවල දැඩි කතාබහකට ලක්ව තිබේ.

එහෙත් පවතින නීතිමය ප්‍රතිපාදන සහ පාර්ලිමේන්තුවේ නිල ප්‍රකාශනයන් ගැඹුරින් විමසා බැලීමේදී පෙනී යන්නේ, මන්ත්‍රීවරියගේ මෙම ප්‍රකාශය නෛතික පදනමකින් තොර, සාවද්‍ය අර්ථකථනයක් මත පදනම් වූවක් බවයි.

මෙම ලිපිය මගින් මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය අතර ඇති සැබෑ නීතිමය තත්ත්වය විමර්ශනය කෙරේ.

පාර්ලිමේන්තු සංසදයක් (Caucus) යනු කුමක්ද?

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව, පාර්ලිමේන්තු සංසදයක් යනු පොදු අභිලාෂයන් හෝ අරමුණු සාකච්ඡා කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම උදෙසා එකට එකතුවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත කණ්ඩායමකි.

ඔවුන්ගේ මූලික අරමුණ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම, ප්‍රතිපත්තිමය ගැටළු සාකච්ඡා කිරීම සහ නිශ්චිත ජන කණ්ඩායම් හෝ මාතෘකා (උදා: කාන්තා, ළමා, තරුණ) වෙත අවධානය යොමු කිරීමයි.

මෙම සංසද, පාර්ශ්වකරුවන් හා ජනතාව සමඟ සම්බන්ධ වෙමින් යෝජනා ඉදිරිපත් කිරීමේ වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.

දැනට නව වැනි පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය, ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ආදී වශයෙන් සංසද 12ක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු වෙබ් අඩවිියේ සදහන්ය.

සංසද සඳහා නීතිමය ආවරණයක් තිබේද?

මෙහිදී වඩාත්ම වැදගත් වන නීතිමය සහ තාක්ෂණික කරුණ වන්නේ මෙම සංසදවල ව්‍යවස්ථාපිතභාවයයි. පාර්ලිමේන්තු වෙබ් අඩවිය ඉතා පැහැදිලිව මෙසේ සඳහන් කරයි:

“කෙසේ වුවද, පාර්ලිමේන්තු සංසද සඳහා වන ප්‍රතිපාදන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් නොවේ.”

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග (Standing Orders) යනු පාර්ලිමේන්තුවේ සහ එහි නිල කාරක සභාවල කටයුතු පාලනය කරන මූලික නීති රාමුවයි. සංසදයක් ස්ථාවර නියෝග මගින් ආවරණය නොවීම යනු, එය පාර්ලිමේන්තුවේ නිල කාරක සභාවක් (Official Committee) ලෙස නීතිය ඉදිරියේ පිළිගැනීමකට ලක් නොවීමයි. එය හුදෙක් මන්ත්‍රීවරුන්ගේ ස්වේච්ඡා එකමුතුවක් පමණි.

පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත පවසන්නේ කුමක්ද?

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය නිලධාරීන්ට තර්ජනය කරන්නේ “වරප්‍රසාද කමිටුවට කැඳවන” බව පවසමිනි. එහෙත් වරප්‍රසාද නීතිය අදාළ වන්නේ කාටද යන්න පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ අර්ථ නිරූපණ කොටසේ පැහැදිලිව දක්වා ඇත.

පනතේ 2 වැනි වගන්තියට අනුව “කාරක සභාව” යන්නෙන් අදහස් වන්නේ පාර්ලිමේන්තුවේ යම් ස්ථාවර, විශේෂ හෝ වෙනත් කාරක සභාවක් වේ.

එසේම “පාර්ලිමේන්තුව” යන්නට කාරක සභාවක් ද ඇතුළත් වේ.

වරප්‍රසාද පනතේ සියලුම මුක්තීන් සහ දඬුවම් බලතල ආවරණය වන්නේ පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ කටයුතුවලට සහ ඉහත කී පරිදි ස්ථාවර නියෝග යටතේ ස්ථාපිත කළ “කාරක සභාවලට” (Committees) පමණි. මන්ත්‍රීවරියන්ගේ සංසදය යනු පනතේ අර්ථ නිරූපණයට අදාළ වන “කාරක සභාවක්” නොවේ. එබැවින් සංසදයක සිදුවන සාකච්ඡා හෝ එහි තොරතුරු බාහිරට යෑම වරප්‍රසාද කඩවීමක් ලෙස සැලකිය නොහැකිය.

නිලධාරීන් බිය ගැන්වීමේ සාවද්‍ය භාවිතය

නීතිඥවරියක් ද වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විසින් මෙලෙස නීතිය සාවද්‍ය ලෙස අර්ථකථනය කරමින් රාජ්‍ය නිලධාරීන් බිය ගැන්වීමට උත්සාහ කිරීම බරපතළ කාරණයකි.

සංසදයක් යනු වරප්‍රසාදවලින් ආවරණය වූ රහසිගත ආයතනයක් නොවේ. එහිදී සිදුවන දේවල් සම්බන්ධයෙන් මහජනතාවට දැනගැනීමට අයිතියක් ඇත. වරප්‍රසාද නීතිය පලිහක් කරගෙන නිලධාරීන්ගේ සහ මාධ්‍යයේ කට වැසීමට උත්සාහ කිරීම නීති විරෝධීය.

මෙය මාධ්‍යවලට නිකුත් කිරීම වළක්වා ඇත්තේ, මෙම කමිටු සාකච්ඡාවේදී පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් කටයුතු නොකළ පොලීසිය ආරක්ෂා වන අන්දමින් ළමාරක්ෂක අධිකාරියට දෝෂාරෝපණය කිරීමේ සිදුවීම සමාජගත වීම වැළැක්වීමේ අරමුණෙනි.

පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා දී ඇත්තේ මන්ත්‍රීවරුන්ට බියකින් හෝ පක්ෂපාතීත්වයකින් තොරව සභාවේ කටයුතු කිරීමේ නිදහස තහවුරු කිරීමට මිස, විධායකයේ හෝ ස්වාධීන ආයතනවල (ළමාරක්ෂක අධිකාරිය වැනි) නිලධාරීන් තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවා ගැනීමට හෝ ඔවුන්ට තර්ජනය කිරීමට නොවේ.

අවසාන වශයෙන් කිව හැක්කේ, ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වරප්‍රසාද පිළිබඳ තර්ජනය හිස් ප්‍රකාශයක් බවයි. ම

න්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලින් හෝ බලතල සහ වරප්‍රසාද පනතෙන් ආවරණය නොවන බැවින්, එම සංසදයේ කරුණු හෙළිදරව් කිරීමක් කිසිසේත්ම වරප්‍රසාද කමිටුවක් හමුවට ගෙන යා නොහැක. නීති සම්පාදකයන් නීතිය පිළිබඳව මෙවැනි සාවද්‍ය අර්ථකථන සමාජගත කිරීම ජනතාවගේ අපේක්ෂාවන්ට මෙන්ම නීතියේ ආධිපත්‍යයට ද කරනු ලබන බලවත් හානියකි.

අප එවැනි තර්ජනවලට බිය නොවන බවත්, ඕනෑම මාධ්‍ය ආයතනයකට එවැනි තර්ජනය කිරීම් සිදුකිරීම හෙළාදකින බවත්ය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading