ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය – ජූනි 16 වැනිදා යනු තවත් එක දිනයක සැමරුමක් නොවේ. එය ලෝකය පුරා විසිරී සිටින, නිහඬවම සමාජයේ පැවැත්ම උදෙසා දහඩිය හෙළන මිලියන සංඛ්‍යාත ගෘහ සේවකයන්ගේ අයිතිවාසිකම් සහ ජීවිතය වෙනුවෙන් හඬ නඟන දිනයයි. එසේම, ගෘහ සේවකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම තහවුරු කරමින්, ඔවුන්ගේ වෘත්තිය ගරුත්වයක් සහිත රැකියාවක් පත් කිරීම උදෙසා ජිනීවා නුවරදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C189 සම්මුතිය සම්මත වී අදට (ජූනි 16) හරියටම වසර 15ක් සපිරේ.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C189 සම්මුතිය මඟින් මූලිකවම අවධාරණය කරන්නේ මෙතෙක් කලක් සමාජයේ අවධානයට ලක් නොවූ ගෘහ සේවය, නීත්‍යානුකූල සහ ගරුත්වයක් සහිත රැකියාවක් (Decent Work) බවට පත් කිරීමයි. ඒ අනුව, ගෘහ සේවකයන් ද සෙසු වෘත්තිකයන් මෙන් ම සමාන අයිතිවාසිකම්වලට හිමිකම් කියන ශ්‍රමිකයන් පිරිසක් ලෙස පිළිගත යුතු අතර, ඔවුන්ගේ සේවා මුරයන් සඳහා නිශ්චිත වැඩ කරන වේලාවන් නියම කිරීම, සාධාරණ සහ නිශ්චිත වැටුප් ව්‍යුහයක් සැකසීම මෙන්ම පඩි සහිත නිවාඩු ලබා දීම මේ හරහා සහතික කෙරේ. මීට අමතරව, ඔවුන්ගේ යහපැවැත්ම සහ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් EPF/ETF වැනි සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ඔවුන්ව ඇතුළත් කිරීමත්, සේවා ස්ථානය තුළ සිදුවන විවිධ හිංසන හා සූරාකෑමීම්වලින් ඔවුන්ව ආරක්ෂා කරමින් මානුෂීය වටපිටාවක් නිර්මාණය කිරීමත් මෙම සම්මුතියේ ප්‍රධාන අරමුණ වේ.
ලෝකයේ බොහෝ රටවල් මෙම ඓතිහාසික සම්මුතිය තමන්ගේ රටවල නීති පද්ධතියට ඇතුළත් කර ගනිමින් ගෘහ සේවකයන් රැකබලා ගැනීමට පියවර ගත්තද, ලංකාවේ තත්ත්වය ඛේදනීයය. 2011 වසරේ සිට මේ දක්වා බලයට පත් වූ කිසිදු පාලකයකු හෝ කම්කරු අමාත්‍යාංශය එය මෙරට නීතියක් බවට පත් කිරීමට සමත් වී නැත.
මැතිවරණ වේදිකාවේ පොරොන්දු සහ අද දවසේ යථාර්ථය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණයට පෙර වේදිකාවලදී ඉතා සංවේදීව ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.
කොළඹ හෝටලේක වේටර් වැඩේ කරන්න පිඟන් හෝදන්න කෙනෙක් නැත්නම් හැටන් පැත්තේ කොල්ලෙක් නැද්ද හොයා ගන්න වැඩට? කොළඹ ගෙදරක අතුපතු ගාන්න කුස්සියේ වැඩ කරගන්න දරුවෝ බලා ගන්න ඉවුම් පිහුම් කරන්න තරුණියක් නැත්නම්, තලවාකැලේ පැත්තේ දෙමළ කෙල්ලක් වත්තේ කෙල්ලක් නැද්ද හොයා ගන්න? වැඩට? ඔවුන් අපේම සහෝදරවරුන් සහෝදරියන් නෙවෙයිද? ඔවුන්ට අද හිමි වී තිබෙන්නේ ආර්ථික වශයෙන් කඩා වැටුණු ජිවිතයක් විතරක් නෙවෙයි. ඔවුන්ට සමාජ ජිවිතයක් නැහැ. සමාජ පිළිගැනීමක් නැහැ. සමාජ ගරුත්වයක් නෑ…
මේ කියපු දේට අදාළව හෝටලේ වැඩ කරන කොල්ලා ගෙවල් වැඩ කරන අපේ සහෝදරියන් තවම එහෙම්මමයි. ඔවුන්ගේ සමාජ ජීවිතය සහ ආර්ථිකය වෙනුවෙන් මොනවද කළේ. නමුත් අදටත් ඒ කියූ හෝටලයේ වැඩ කරන කොල්ලාගේ හෝ ගෙවල් වැඩ කරන සහෝදරියන්ගේ ජීවිතවල කිසිදු වෙනසක් සිදුවී නොමැත. අපට දැන් අවශ්‍ය කරන්නේ මැතිවරණ වේදිකාවල කියූ සුන්දර කතන්දර නොව, ඒවා ප්‍රායෝගිකව කර පෙන්වීමයි.
ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන්ට කම්කරු අයිතිවාසිකම් නැහැ.
මෙරට නීතියෙන් ඔවුන්ව බැහැර කර ඇති නිසාම, ඔවුන්ට නිශ්චිත වැඩ කරන වේලාවක්, නීත්‍යානුකූල අවම වැටුපක් හෝ පඩි සහිත නිවාඩු ලබා ගැනීමට ඇති අයිතිය සම්පූර්ණයෙන්ම අහිමි වී ඇත. වඩාත්ම ඛේදනීය තත්ත්වය වන්නේ පවතින EPF සහ ETF පනත්වලින් ගෘහ සේවකයන්ව සිතාමතාම ඉවත් කර තිබීම නිසා, වයසට ගිය විට හෝ හදිසියේ රෝගාතුර වූ විට ඔවුන්ට රැකවරණය සැලසීමට කිසිදු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් රට තුළ නොමැති වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, වසර ගණනාවක් තිස්සේ විවිධ නිවෙස්වල දාසයන් මෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන මෙම ශ්‍රමිකයන්, මහලු වී තවදුරටත් ශ්‍රමය සූරාකෑමට නොහැකි තත්ත්වයට පත් වූ පසු කිසිදු හව්හරණක් නොමැතිව බල්ලන් බළලුන් මෙන් කොළඹ කොටුව හෝ වෙනත් මංසන්ධි අද්දරට ඇද දමන අමිහිරි යථාර්ථයකට මුහුණ දී සිටී.
ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්න රටක් නෙවෙයි.
ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්න රටක් නෙවෙයි. ඩයගමින් ගියපු හිශාලනි සහෝදරිය, රමණි බාල වයස්කාර ගෘහ සේවිකාවක් විදිහට මැරුණා. බදුල්ලෙන් කොළඹ ගියපු R. රාජකුමාරිව හාම්පුතාගේ කීම අහලා වැලිකඩ පොලිසියෙන් ගහලා මැරුවා. කෝ මේ මරණ වලට යුක්තිය?
ගෘහ සේවකයන් සඳහා ශ්‍රී ලංකාවේ කම්කරු නීති මගින් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ යහපත් රැකියා කොන්දේසි තහවුරු කරන තුරු ඔවුන්ගේ රැකියාව රැකියාවක් ලෙස සමාජය පිළිගන්නේ නැහැ. ගෘහ සේවය රැකියාවක් ලෙස මෙරට කම්කරු නීතියෙන් පිළිගන්නා තාක් සමාජය විසින් ගෘහ සේවකයන් රැකියා කරන පිරිසක් බවට වන පිළිගැනීම සහ ගෞරවය දෙන්නේ නැහැ.
වසර ගණනාවක් තිස්සේ ගෘහ සේවක අයිතිවාසිකම් ඉල්ලා හඬ නැඟුවද ඉතිහාසයේ සෑම ආණ්ඩුවක්ම එය මඟහැරියේය. ඊට ප්‍රධානතම හේතුව නම්, එම ආණ්ඩුවල සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ජනාධිපතිවරුන්ගේ නිවෙස්වලද මෙලෙස ගෘහ සේවකයන් සේවය කිරීමයි. තමන්ගේ වාසිය වෙනුවෙන් ඔවුහු ගෘහ සේවකයන් ආරක්ෂා කරන නීති සැකසීම හිතාමතාම පැහැර හැරියහ.
ලංකාවේ කම්කරු අමාත්‍යංශය වෙනස්කොට සැළකීම පවත්වාගෙන යන ආයතනයක්
අනෙක් අතට, ලංකාවේ කම්කරු අමාත්‍යාංශය යනු ව්‍යවස්ථාපිතවම වෙනස්කොට සැලකීම පවත්වාගෙන යන ආයතනයකි. ඊට හොඳම උදාහරණය 2016 අංක 3 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන පනතයි. මෙම පනතට අනුව ගෘහ සේවකයන්ට අවම වැටුප් ගෙවීම අනිවාර්ය නැත! මෙයින් අදහස් කරන්නේ හාම්පුතාට රිසි සේ වැඩ ගෙන තමන්ට කැමති සොච්චම් මුදලක් දීමට හෝ කිසිවක් නොදී සිටීමට නීතිමය අවකාශය සලසා දීමද? මෙවැනි වෙනස්කොට සලකන නීති තවදුරටත් ශිෂ්ට සම්පන්න රටකට ගැළපෙන්නේ නැත.
දැන් කරලා පෙන්නන්න
නැවත රට තුළ කම්කරු නීති සංශෝධනයක් පිළිබඳ සාකච්ඡාවක් මතුවෙමින් පවතී. ගෘහ සේවකයන් සඳහා කම්කරු නීති සකස් කර ගෘහ සේවකයන් සඳහා කම්කරු අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂණය තහවුරු කරන ලෙස කම්කරු අමාත්‍යංශයෙන් ඉල්ලා සිටි විට නියෝජ්‍ය ඇමතිවරයා අවස්ථා ගණනකදීම පැවසුවේ ඒ පිළිබඳව අවධානය යොමු කර ඇති බවය. එසේම කම්කරු නීති සංශෝධන කමිටුවටද යොමු කළ බව පවසා සිටියා. නමුත් ගෘහ සේවකයන් මෙම කතා විශ්වාස කරන්නේ එය යථාර්තයක් වූ විට පමණි. මක් නිසාද එකම පොරොන්දුව නිතරම බොරු වෙද්දී ඔවුන් තව දුරටත් පොරොන්දු විශ්වාස කරන්නේ නැත.
වත්මන් NPP ආණ්ඩුව සැබවින්ම ජනතා හිතවාදී, කම්කරුවන් ගැන හිතන ආණ්ඩුවක් බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ වේදිකාවේ වතුකරයෙන් කොළඹට එන සහෝදරියන් ගැන පැවසුවේ බොරු නොවන බවත් ඔප්පු කිරීමට නම් මෙම කම්කරු නීති සංශෝධනය තුළට ගෘහ සේවකයන් ඇතුළත් කර පෙන්විය යුතුය.
ජූනි 16 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර ගෘහස්ථ සේවක දිනයේදී අප රජයෙන් ඉල්ලා සිටින්නේ එකම දෙයකි. ගෘහ සේවකයන් සඳහා කම්කරු නීති සකස් කරනු! ඔවුන්ද මේ රටේ ආර්ථිකයට දායක වන ශ්‍රමිකයන් ලෙස පිළිගෙන, ඔවුන්ට හිමි සමාජ පිළිගැනීම සහ වෘත්තීය ගරුත්වය වහාම ලබා දෙනු!
ගෘහස්ථ ශ්‍රමිකයන්ගේ කම්කරු අයිතිවාසිකම් සහ යහපත් රැකියා කොන්දේසි තහවුරු කරනු!
ප්‍රොටෙක්ට් සංගමය
