2026 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ විශ්ලේෂණයට ලක් කළ කැබිනට් තීරණ 357න් තීරණ 107ක්, එනම් සියයට 30ක්, රජයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයට අදාළ නොවන බව PAFFREL හි තුන්වන ද්විවාර්ෂික මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන අධීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ.
PAFFREL විසින් අදාළ කාලසීමාව තුළ කැබිනට් තීරණ 381ක් ඇගයීමට ලක් කර ඇති අතර, නීතියෙන් නියම කර ඇති වගකීම් යටතේ ගත යුතු තීරණ 24ක් විශ්ලේෂණයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව තීරණ 357ක් මෙම විශ්ලේෂණය සඳහා යොදාගෙන තිබේ.
එම තීරණ 357 අතරින් තීරණ 92ක් (26%) මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයට සෘජුවම අදාළ තීරණ ලෙසත්, තීරණ 81ක් (23%) අදාළ තීරණ ලෙසත්, තීරණ 77ක් (22%) අර්ධ වශයෙන් අදාළ තීරණ ලෙසත් වර්ගීකරණය කර ඇත.
වාර්තාවට අනුව, මෙම කාලසීමාවේදී කැබිනට් තීරණ වැඩි ප්‍රමාණයක් ආර්ථික කළමනාකරණය, යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය හා ඉඩම් සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගෙන තිබේ.
වැඩිම කැබිනට් තීරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මූල්‍ය, සැලසුම් හා ආර්ථික සංවර්ධන අංශය යටතේ වන අතර, එම සංඛ්‍යාව 56කි. එය විශ්ලේෂණයට ලක් කළ සමස්ත තීරණවලින් සියයට 15.7කි.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අංශය යටතේ තීරණ 51ක් වාර්තා වී ඇති අතර, එය සමස්තයෙන් සියයට 14.3කි. මීට අමතරව, කෘෂිකර්මාන්ත, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය යන ක්ෂේත්රවලට අදාළවද සැලකිය යුතු කැබිනට් තීරණ ප්‍රමාණයක් ගෙන තිබේ.
මෙම වාර්තාවට අනුව, 2025 ජූලි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ කැබිනට් තීරණ 457ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, 2026 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ එම සංඛ්‍යාව 381ක් වී තිබේ. ඒ අනුව, පෙර මාස 6ක කාලයට සාපේක්ෂව කැබිනට් තීරණ සංඛ්‍යාව 76කින් හෙවත් සියයට 16.6කින් අඩු වී තිබේ.
