කට්යාල් සහ ගුප්තාට වරෙන්තු ඉල්ලයි! අධිකරණයේ වුණ සම්පූර්ණ කතාව!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දීමේ සිද්ධියට අදාළව ක්‍රිෂ් සමාගමේ හිටපු ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද (24) ඉල්ලා තිබෙනවා.

ඒ අනුව අදාළ ඉන්දීය ජාතිකයින් වන අමිත් කට්ටියාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා වෙත වරෙන්තු නිකුත් කිරීම පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කරගැනීම සඳහා ඔවුන්ට ලබන ඔක්තෝබර් 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළා.

එමෙන්ම මෙම විමර්ශනයට අදාළව දැනට වෙනත් නඩුවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් සටහන් කරගැනීමට අල්ලස් කොමිසමට අවසර ලබා දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.

මේ අතර මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන එළඹෙන ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය අද නියම කර තිබෙනවා.ව්

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අමා විජේසිංහ මෙනවිය කරුණු දැක්වූවා.

ඇය සඳහන් කළේ, කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ පිහිටි ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් සමාගමට කඩිනමින් පවරාදීමට සහාය වීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතාට මෙම රුපියල් මිලියන 70ක මුදල තුටු පඬුරක් ලෙස ලබා දී ඇති බවයි.

අදාළ මුදල හුවමාරු වී ඇත්තේ දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන නිමල් පෙරේරා නමැත්තාගේ බැංකු ගිණුමක් හරහා බවත් ජීවිත තර්ජන හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බව ඔහු දන්වා ඇති බවත් විමර්ශනවලදී තහවුරු ඇති බව අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අමා විජේසිංහ මෙනවිය සඳහන් කළා.

අල්ලස් කොමිසම පවසන්නේ සැකකාර ජානකී සිරිවර්ධන සමාගමේ මූල්‍ය කටයුතු පිළිබඳ මනා අවබෝධයකින් සහ සාවද්‍ය චේතනාවකින් යුතුව මෙම මුදල ලබා දීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම ඉන්දියාවේ වෙසෙන සෙසු අධ්‍යක්ෂවරුන් දෙදෙනාට ඊමේල් සහ ගුවන් තැපෑල හරහා දැනුම්දීම් කළද කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බැවින් මෙලෙස වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බව ඇය පැවසුවා.

මෙය අල්ලස් දීම සහ ගැනීම සම්බන්ධ ඉතා සංකීර්ණ විමර්ශනයක් බව පැවසූ සහකාර නීති අධ්‍යක්ෂවරිය, දූෂණ විරෝධී පනතේ 149 වැනි වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක්ද අධිකරණයට ඉදිරිපත් කළා.

මෙහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල දිසානායක මහතා කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, මෙම රුපියල් මිලියන 70ක මුදල රග්බි ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩකළේ යැයි පවසමින් නීතිපතිවරයා දැනටමත් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බවයි.

එම නඩුවේ සාක්ෂිකාරියක ලෙස ජානකී සිරිවර්ධන නම් කර ඇති පසුබිමක එකම මුදල සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ මෙලෙස වෙනත් චෝදනාවක් එල්ල කිරීම ගැටලුසහගත බව ඔහු තර්ක කළා.

ඊට අමතරව සැකකාරියගේ සැමියා ඊයේ විදේශගත වී ඇති බවත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 16 හැවිරිදි දියණියක් සහ 14 හැවිරිදි පුතෙකු සිටින බැවින් මෙම සුවිශේෂී කරුණු සලකා බලා ඇප ලබාදෙන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කළේ, මෙය මහාධිකරණ නඩුවට හාත්පසින්ම වෙනස් වූ වෙනමම ස්වාධීන පරීක්ෂණයක් බවත් ඊට බලය අල්ලස් කොමිසමට ඇති බවයි.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ, විත්තිය ඉදිරිපත් කළ සුවිශේෂී කරුණු 5න් 3ක්ම මහාධිකරණ නඩුවට අදාළ ඒවා බවයි

සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් එම නඩුවට අගතියක් වේද යන්න පැමිණිල්ල සිතා බැලිය යුතු කරුණක් බවත් මෙම අවස්ථාවේදී ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන බවත් ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.


Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading