නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය ව්‍යාපෘතියක් සඳහා කඩිනමින් පවරා ගැනීමට සහාය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දීමේ චෝදනාව මත ක්‍රිෂ් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මියව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.
අදාළ සමාගම වෙනුවෙන් එම භූමිය ලබාගැනීමේ කටයුතුවලට අවශ්‍ය දේශපාලන සහාය ලබාගැනීම උදෙසා ඇය විසින් මෙම දැවැන්ත මුදල මන්ත්‍රීවරයාට ලබා දී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළා.
අල්ලස් කොමිසම සඳහන් කරන්නේ අදාළ රුපියල් මිලියන 70ක මුදල ඇය විසින් අවස්ථා තුනකදී නාමල් රාජපක්ෂ මහතා වෙත අල්ලස් වශයෙන් ලබා දී ඇති බවයි.
අත්අඩංගුවට පත් සැකකාරිය අද (24) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට පාදක වූ ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන් අතර අමිත් කට්යාල්, රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා, අයිශ්වර්යා සෝනි සමඟ ජානකී සිරිවර්ධනගේ නමද සඳහන් වනවා.
එම සමාගමට කොළඹ කොටුවේ සාප්පු සංකීර්ණ, කාර්යාල, හෝටල් සහ නිවාස ඇතුළත් විශාල මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කර තිබුණා.
රිෂ් ගොඩනැගිල්ල යනුවෙන් වර්තමානයේ හදුන්වන්නේ එම ගොඩනැගිල්ල වනවා.
පසුව ඇය ද වන් ට්‍රාන්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය සහ අධ්‍යක්ෂවරිය ලෙසද ප්‍රසිද්ධියේ හඳුන්වා දී තිබෙනවා.
කුප්‍රකට ක්‍රිෂ් ව්‍යාපෘතිය නමින් හැදින්වූ දැවැන්ත දේපළ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂවරිය ලෙස ඇය කටයුතු කළා.
එම ව්‍යාපෘතිය වෙනුවෙන් අල්ලස් ලබා දීම ඇයට එල්ල වී ඇති චෝදනාව වනවා.
මෙම ක්‍රිෂ් සමාගම, මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් විසින් ලබාදුන් බව කියන තවත් රුපියල් මිලියන 70ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙරද කතාබහකට ලක්වුණා.
අදාළ මුදල අවභාවිත කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මීට පෙරද අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා.
අල්ලස් කොමිසමෙන් අද දින අත්අඩංගුවට පත් ජානකී සිරිවර්ධන යනු මෑතකදී මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන්ද ප්‍රධාන සැකකාරියක වූ තැනැත්තියක්.
ධනවත් ව්‍යාපාරිකයින් රවටා බිලියන ගණනක මුදල් වංචා කිරීමට තිළිණි ප්‍රියමාලිට ආධාර අනුබල දීමේ චෝදනාව මත මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද ඇයව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
