ඉන්දියාවේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට නම් මතභේදයට තුඩුදී ඇති ඡන්දහිමි නාමලේඛන විශේෂ ප්රතිශෝධන ක්රියාවලිය හෙවත් SIR වහාම අවලංගු කළ යුතු බවත්, එය සිදු නොකළහොත් සමස්ත ඉන්දියාවම විරෝධතා භූමියක් බවට පත්වනු ඇති බවත් ප්රකට ඉන්දීය රංගන ශිල්පී සහ සමාජ ක්රියාකාරික ප්රකාශ් රාජ් අනතුරු අඟවා තිබේ.
ඔක්තෝබර් 14 වැනිදා ප්රසිද්ධියට පත්වූ මාධ්ය සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර තිබුණේ, ඉන්දියාවේ ඡන්දහිමි නාමලේඛන ප්රතිශෝධනයට එරෙහිව පැවැත්වෙන ජනතා විරෝධතා මර්දනය කිරීම, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සහ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් මාධ්යවේදීන් නැඟූ ප්රශ්නවලට පිළිතුරු දෙමිනි.
“මෙම ප්රජාතන්ත්රවාදය බේරා ගැනීමට නම් SIR අවලංගු කළ යුතුමයි. දැන් අපට තවත් සැකයක් මතුවී තිබෙනවා. එනම් SIR කියන්නේ ඡන්ද ලබාගැනීමේ කුමන්ත්රණයක් පමණක් නොවෙයි. 2024 සහ ඊට පෙර මැතිවරණවලදී මොවුන් කළ ක්රියාවන්හි සාක්ෂි මකාදැමීමේ කුමන්ත්රණයක් ද වන බවට අපට සැකයක් තිබෙනවා. ඒ නිසයි ඔවුන් ආපසු හැරෙන්න අකමැති.”
ප්රකාශ් රාජ් එසේ පැවසීය.
මොකක්ද මේ SIR ක්රියාවලිය?
Special Intensive Revision හෙවත් SIR යනු ඉන්දියාවේ මැතිවරණ කොමිසම විසින් ඡන්දහිමි නාමලේඛන විශේෂයෙන් පරීක්ෂා කර යාවත්කාලීන කිරීමට ක්රියාත්මක කරන ක්රියාවලියකි.
එහි ප්රකාශිත අරමුණ වන්නේ මියගිය පුද්ගලයන්ගේ නම්, එකම පුද්ගලයාගේ අනුපිටපත් ලියාපදිංචි කිරීම්, පදිංචිය වෙනස් කළ පුද්ගලයන්ගේ පැරණි තොරතුරු සහ වෙනත් නුසුදුසු ඇතුළත් කිරීම් ඉවත් කර නිවැරදි ඡන්දහිමි නාමලේඛනයක් සකස් කිරීමය.
එහෙත් 2025 වසරේ ආරම්භ වූ මෙම විශේෂ ප්රතිශෝධන ක්රියාවලිය යටතේ 2026 ඔක්තෝබර් වනවිට ඡන්දහිමි නාමලේඛනවලින් නම් කෝටි 13කට අධික ප්රමාණයක් ඉවත් වී තිබීම හෝ නව ලේඛනවලට ඇතුළත් නොවීම බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය කර තිබේ.
රොයිටර්ස් පුවත් සේවයේ ඔක්තෝබර් 12 වාර්තාවකට අනුව, මෙම සංඛ්යාවට මියගිය බවට වර්ගීකරණය කළ මිලියන 28ක්, පදිංචිය වෙනස් කළ බවට වර්ගීකරණය කළ මිලියන 63ක් සහ සොයාගත නොහැකි බවට වර්ගීකරණය කළ මිලියන 30ක් ඇතුළත්ය.
විරෝධතාකරුවන්ගේ ප්රධාන චෝදනාව වන්නේ මෙම ක්රියාවලිය හරහා නීත්යානුකූල ඡන්දදායකයන් ද විශාල වශයෙන් ඉවත් වී ඇති බවත්, විශේෂයෙන් දුප්පත් ජනතාව, සුළුතර ප්රජාවන්, සංක්රමණික කම්කරුවන් සහ සමාජයේ ආන්තික කණ්ඩායම් වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇති බවත්ය.
විරෝධතාකරුවන් විමසන්නේ ඡන්ද අයිතිය තිබෙන පුරවැසියෙකුට, තමන්ගේ නම ඉවත් කිරීමේ තීරණයකින් පසුව නැවත නැවතත් එම අයිතිය ඔප්පු කිරීමට සිදුවන්නේ ඇයිද යන්නයි.
දිල්ලියේ දැවැන්ත විරෝධතා
මෙම ක්රියාවලියට එරෙහිව ඉන්දියාවේ තරුණ සංවිධාන, ශිෂ්ය සංවිධාන, වෘත්තීය සමිති, සිවිල් සමාජ කණ්ඩායම් සහ විපක්ෂ දේශපාලන පක්ෂ එක්ව දැවැන්ත විරෝධතා ව්යාපාරයක් ආරම්භ කර තිබේ.
එහි ප්රධාන සංවිධායක බලවේගයක් වන්නේ අභිජීත් දිප්කේගේ නායකත්වයෙන් ක්රියාත්මක වන Cockroach Janta Party හෙවත් CJP තරුණ ව්යාපාරයයි.
ඔක්තෝබර් 10 සහ 11 යන දිනවල නවදිල්ලියේ පැවති විරෝධතා මර්දනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ විශාල වශයෙන් යොදවා තිබූ අතර, ඉන්දියන් එක්ස්ප්රස් පුවත්පතට අනුව එම සති අන්තයේදී විරෝධතාකරුවන් 7,500කට අධික පිරිසක් තාවකාලිකව අත්අඩංගුවට ගෙන තිබිණි.
දිල්ලියේ ප්රකට විරෝධතා ස්ථානය වන ජන්තර් මන්තර් තවදුරටත් නිල විරෝධතා ස්ථානයක් නොවන බව පොලිසිය ප්රකාශ කර තිබීම ද විශේෂයෙන් විවේචනයට ලක්විය. මෙය ශ්රී ලංකාවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝඨාගෝගම පිහිටවූ විරෝධතා ස්ථානය පසුව විරෝධතා ස්ථානයක් නොවන බව ප්රකාශ කිරීමට සමානය.
ඔක්තෝබර් 13 වැනිදා එම ප්රදේශයට ඇතුළු වී ඉන්දීය ජාතික ධජය ප්රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වූ CJP නායකයන් වන සෞරව් දාස් සහ ආශුතෝෂ් රංකා අත්අඩංගුවට ගැනිණි.
ඔක්තෝබර් 14 වැනිදා ඔවුන් දෙදෙනා දින පහක අධිකරණ භාරයට පත් කෙරිණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්රකාශ් රාජ් දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කළේය.
“ජාතික කොඩිය අතැතිව සාමකාමී විරෝධතාවක නිරත වූ අයට දින පහක රිමාන්ඩ් භාරයක්. නමුත් පොලු රැගෙන පහර දෙන මිනිසුන්ගේ වීඩියෝ තිබෙනවා. මිනිස්සු පොලිසියට කියනවා ඔවුන්ව අල්ලන්න කියලා. පොලිසිය ඔවුන්ට යන්න කියනවා.”
ඔහු මෙසේද ප්රශ්න කළේය.
“මේ මැරයන්ට නිල ඇඳුම් බෙදා දෙන්නේ කවුද? ජාතික කොඩිය රැගෙන ගියාම අත්අඩංගුවට ගන්නවා. පොල්ලක් අරගෙන යන අයට යන්න දෙනවා. මේ අයට මේ රටේ ප්රජාතන්ත්රවාදය අවශ්ය නැහැ.”
‘මෝදිට කියන්න, මෙලඩි ඔහුව බේරාගන්නේ නෑ!’
මෙම මාධ්ය සාකච්ඡාවේ වඩාත් උද්වේගකර අවස්ථාවක් වූයේ අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සහ ස්වදේශ කටයුතු අමාත්ය අමිත් ෂා වෙත ප්රකාශ් රාජ් එල්ල කළ සෘජු අභියෝගයයි.
“අමිත් ෂා, නරේන්ද්ර මෝදි සහ BJP පක්ෂය මෙය හොඳින් අසාගත යුතුයි. මින් පසු මේ රටේ ජනතාව SIR පදනම මත කිසිම තැනක මැතිවරණ පවත්වන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ඊට ඉඩ දෙන්නේ නැහැ. විශාල ව්යාපාරයක් ඇති වේවි. මේක විහිළුවක් නොවෙයි. මිනිස්සු දැන් අවදි වෙලා ඉන්නේ.”
ඉන් අනතුරුව ඔහු මෝදිගේ ජාත්යන්තර ප්රතිරූපය ද උපහාසයට ලක් කළේය.
“මෝදි ඔබ හෙළුවෙන්! ඔබ දැන් විහිළුවක්. මෝදිට කියන්න මෙලඩි ඔහුව බේරාගන්නේ නැහැ කියලා. මේ රට තුළ පමණක් නොවෙයි, විදේශයන්හි පවා මෙය පැතිර ගිහින්. මුළු ලෝකයම ඔබට සිනාසෙමින් ඉන්නවා. නිව් යෝර්ක් ටයිම්ස් ලියනවා, බීබීසී ලියනවා, සීඑන්එන් ලියනවා. ජපානයත් ලියනවා. ඔවුන් ඔබට සිනාසෙනවා.”
ඔහු සඳහන් කළ ‘මෙලඩි’ (Melodi) යනු නරේන්ද්ර මෝදි සහ ඉතාලි අග්රාමාත්ය ජෝර්ජියා මෙලෝනිගේ නම් එකතු කර සමාජ මාධ්ය තුළ ප්රචලිත වූ යෙදුමකි.
එම ප්රකාශය හරහා ප්රකාශ් රාජ් අවධාරණය කළේ ජාත්යන්තර නායකයන් සමඟ පවතින සමීප සම්බන්ධතා මගින් දේශීය ප්රජාතන්ත්රවාදී අර්බුදයක් මඟහැර යා නොහැකි බවය.
‘ඥානේෂ් කුමාර්ට නීතිමය මුක්තිය දීම නීතිය කැඩීමක් නොවේද?’
ඉන්දියාවේ ප්රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර්ගේ ක්රියාකලාපය ද ප්රකාශ් රාජ්ගේ දැඩි විවේචනයට ලක්විය.
“ඥානේෂ් කුමාර්ට අධිකරණ මුක්තිය ලබා දෙන විට එය නීතිය කඩ කිරීමක් නොවේද? ඉන්දියාවේ අගවිනිසුරුවරයා ඉවත් කර, තමන්ගේම මධ්යම අමාත්ය අමිත් ෂා පත්කරගෙන තීරණය කිරීම නීතිය කඩ කිරීමක් නොවේද? ජීවත්ව ඉන්න මිනිස්සුන්ව මියගොස් ඇති බව SIR පවසනවා. එය නීතිය කඩ කිරීමක් නොවේද?”
ප්රකාශ් රාජ්ගේ විවේචනය වූයේ නීතියේ විධිමත්භාවය පමණක් නොව, එහි සදාචාරාත්මක යුක්තිසහගතභාවය ද ප්රශ්න කළ යුතු බවයි.
“ඔබේ නීතිවලින් අපිව බියගන්වන්න උත්සාහ කරන්න එපා. ඔබ නීත්යානුකූලව නිවැරදියි කියන්න එන්න එපා. සදාචාරාත්මකව ඔබ වැරදියි. ආචාරධර්මීය වශයෙන් ඔබ වැරදියි.”
‘මුළු රටම ජන්තර් මන්තර් එකක් වේවි!’
විරෝධතා සඳහා වෙන්කර තිබූ ජන්තර් මන්තර් ප්රදේශය වසා දැමීමේ තීරණය පිළිබඳව ද ප්රකාශ් රාජ් ආණ්ඩුවට අභියෝග කළේය.
“ඉන්දියාව නැගී සිටියි. සෑම නිවසක්ම, සෑම වීදියක්ම ජන්තර් මන්තර් බවට පත්වේවි. SIR ඉවත් කරන බවට අපි වගබලා ගන්නවා.”
විරෝධතාකරුවන් එක් ස්ථානයකට රැස්වීම වැළැක්වීම මගින් ජනතා විරෝධය අවසන් කළ නොහැකි බව ඔහුගේ අදහස විය.
“මුළු රටම ජන්තර් මන්තර් එකක් වුණොත් ඔවුන් පොලිසිය කොහේ කොහේ යවයිද? ඒක මට කියන්න. රටේ ජනතාව නවත්වන්න තරම් පොලිස් බලකායක් ඔවුන්ට නැහැ.”
දැනටමත් විවිධ ප්රදේශවල ජනතාව විරෝධතාවලට එක්වෙමින් සිටින බවත්, මෙම ව්යාපාරය තවදුරටත් වර්ධනය වන බවත් ප්රකාශ් රාජ් කියා සිටියේය.
ඔහු එය විස්තර කළේ අතු ගංගා එකතු වී මහා ගංගාවක් නිර්මාණය වන ආකාරයටය.
“විශාල ගංගාවක් හැදෙනකොට කුඩා අතු ගංගා එකතු වෙනවා. ලොකු ගඟක් කලින්ම ලොකුවට තියෙන්නේ නැහැ නේද? මිනිස්සු එනවා ඔබට පෙනෙන්නේ නැද්ද? ව්යාපාර බිහිවෙනවා පෙනෙන්නේ නැද්ද? හැමතැනම විරෝධතා සිදුවෙනවා පෙනෙන්නේ නැද්ද? මේක හිමබෝලයක් මෙන් විශාල විය යුතුයි. එය එසේ වෙමින් තිබෙනවා.”
මෙම විරෝධතාවට සම්බන්ධ වෘත්තීය සමිති, ගොවි සංවිධාන, කාන්තා සංවිධාන සහ අනෙකුත් සිවිල් සමාජ කණ්ඩායම්වල පුළුල් සහභාගිත්වය ගැන සඳහන් කළ ඔහු, සම්බන්ධ වී සිටින සංවිධානවල නිශ්චිත සංඛ්යාව තවම සම්පාදනය කර නොමැති බව ද පැවසීය.
‘මේක ක්රිකට් මැච් එකක් නොවෙයි, අපේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්රශ්නයක්’
විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු දේශපාලන නායකයන් මෙම විරෝධතාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් මාධ්යවේදීන් ප්රශ්න කළ අවස්ථාවේදී ද ප්රකාශ් රාජ් සෘජු පිළිතුරක් ලබා දුන්නේය.
මෙම අරගලයේ මූලික ප්රශ්නය කවුරුන් නායකත්වය ලබාදෙන්නේද යන්න නොව, ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බව ඔහු පැවසීය.
“රාහුල් ගාන්ධි හැමෝම එකතු කළා නම්, අද හැමෝම එක්ක ඉන්නවා නම් ඒක හොඳ දෙයක්. හැමෝම මහ පාරේ ඉන්නවා. හැමෝම මහ පාරේ ඉන්නේ මොන ප්රශ්නයටද? ප්රශ්න ඉස්සරහින් තියෙනවා. ප්රශ්නය ගැන කතා කරන්න.”
ඉන් අනතුරුව ඔහු විරෝධතා ව්යාපාරයට මුදල් සපයන්නේ කවුරුන්ද සහ එහි දේශපාලන ප්රතිලාභ ලබන්නේ කවුරුන්ද යන ප්රශ්නවලට උපහාසාත්මක පිළිතුරක් ලබා දුන්නේය.
“මේ බලන්නේ ක්රිකට් මැච් එකක් නොවෙයි. මේක T20 නොවෙයි. කවුද අනුග්රාහකයා? පිච් එක හැදුවේ කවුද? ඇඳුම් දුන්නේ කවුද? ප්රශ්නය වෙලා තියෙන්නේ රටේ ප්රජාතන්ත්රවාදයට සහ ව්යවස්ථාවට ප්රහාරයක් එල්ල වෙනවා. ඊට විරුද්ධවයි අපි සටන් කරන්නේ.”
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම අරගලය කිසිදු දේශපාලන පක්ෂයක මැතිවරණ ජයග්රහණයක් හෝ පරාජයක් පිළිබඳව නොවන බවය.
“මේක කිසිම දේශපාලන පක්ෂයක් ඡන්දය දිනන එකක් හෝ පරදින එකක් ගැන නොවෙයි. අපේ මූලික අයිතිය උදුරා ගනිමින් පවතිනවා.”
‘මැතිවරණ කොමිසමෙන් ප්රශ්න අහනකොට අමිත් ෂා මැදට එන්නේ ඇයි?’
ඉන්දියාවේ මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක් නම්, එම ආයතනය පිළිබඳව ජනතාව නැඟූ ප්රශ්නවලට ආණ්ඩුව වෙනුවෙන් BJP දේශපාලනඥයන් මැදිහත් වන්නේ ඇයිද යන්න ද ප්රකාශ් රාජ් ප්රශ්න කළේය.
“මම අමිත් ෂා මහතාගෙන් අහන්නේ මේකයි. මිනිස්සු ප්රශ්න අහන්නේ මැතිවරණ කොමිසමෙන්. ඔබ ඇයි මැදට එන්නේ? ඇයි හැම BJP කෙනෙක්ම මැදට එන්නේ? ඔබෙන් නොවෙයිනේ අහන්නේ. ඔබ ආණ්ඩුවක්. ආණ්ඩුවක් විදියට හැසිරෙන්න. මේක ස්වාධීන ආයතනයක්.”
මැතිවරණ කොමිසම වෙත ජනතාවගේ ප්රශ්න ඉදිරිපත් කිරීමට ඉඩ සලසනවා වෙනුවට පොලිසිය යොදවා විරෝධතා මර්දනය කිරීම ඔහු විවේචනය කළේය.
“අමිත් ෂා සහ නරේන්ද්ර මෝදි මහත්මයා මොකද කරන්න ඕනේ? මැතිවරණ කොමිසමට කියන්න ඕනේ, මිනිස්සු අහනවා, එන්න අපි කතා කරමු කියලා. නමුත් එහෙම කරන්න අවශ්ය නැහැ. හිරේ දාන්න, ගහන්න, ජන්තර් මන්තර් එකෙන් එළවන්න, විරෝධතාවලින් එළවන්න. ඉතින් මේකෙන් පැහැදිලිව පේනවා අපේ සැකය නිවැරදියි කියලා.”
BJP ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරන පුද්ගලයන්ට විවිධ දේශපාලන ලේබල් ඇලවීමට උත්සාහ කරන බව ද ඔහු චෝදනා කළේය.
“ප්රශ්න ගොඩක් ඇහුවොත් නක්සල්වාදී කියනවා. පාකිස්තානයෙන් සල්ලි එනවා කියනවා. ඇමරිකාවෙන් සල්ලි එනවා කියනවා. දැන් මම දේශද්රෝහියෙක්. මම හින්දු විරෝධියෙක්. ඔවුන්ට ඕනේ කතාවක් ගොඩනගන්න. කරන්න දෙන්න.”
ප්රකාශ් රාජ් කවුද?
ප්රකාශ් රාජ් යනු දකුණු ඉන්දීය සිනමාවේ ප්රකට රංගන ශිල්පියෙකු මෙන්ම චිත්රපට අධ්යක්ෂවරයෙකු සහ නිෂ්පාදකයෙකු ද වේ. කන්නඩ, දෙමළ, තෙළිඟු, මලයාලම් සහ හින්දි සිනමා කෘති රැසකට ඔහු රංගනයෙන් දායක වී තිබේ.
ඉන්දීය ජාතික සිනමා සම්මාන පහක් දිනා ඇති ඔහු, රංගන ක්ෂේත්රයට අමතරව දේශපාලන සහ සමාජ ක්රියාකාරීත්වය හේතුවෙන් ද ප්රසිද්ධියක් ලබා සිටී.
2017 සැප්තැම්බර් 5 වැනිදා මාධ්යවේදිනී ගෞරි ලංකේෂ් නම් සිය මිතුරිය ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ දේශපාලන මැදිහත්වීම වඩාත් කැපී පෙනුණි. ‘#JustAsking’ හෙවත් ‘ප්රශ්න කරනවා පමණයි’ යන සටන් පාඨය ඔස්සේ ඔහු මෝදි ආණ්ඩුවේ ක්රියාකලාපය දිගින් දිගටම ප්රශ්න කළේය.
2026 සැප්තැම්බර් 1 වැනිදා බැංගලෝරයේ පැවති ‘Election Commission Chalo’ විරෝධතා පාගමනේදී ප්රකාශ් රාජ් ද පොලිස් භාරයට ගනු ලැබීය.
දැන් පවතින තත්ත්වය
ඔක්තෝබර් 15 වැනිදා වනවිට ඉන්දියාවේ SIR විරෝධී ව්යාපාරය අවසන් වී නොමැත.
ඔක්තෝබර් 12 වැනිදා රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ දේශපාලනඥයන් සහ විරෝධතාකරුවන් ශ්රේෂ්ඨාධිකරණය දක්වා පාගමනක නිරත වූ අතර, ඡන්දහිමි නාමලේඛනවලින් නම් ඉවත් කිරීම ස්වාධීනව විගණනය කිරීම, අසාධාරණ ලෙස නම් ඉවත් කිරීම වැළැක්වීම සහ SIR ක්රියාවලිය අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම, විරෝධතා ආවරණය කළ මාධ්යවේදීන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ට පහරදුන් බවට එල්ල වූ චෝදනා ද දේශීය හා ජාත්යන්තර මාධ්ය නිදහස් සංවිධානවල විවේචනයට ලක්ව තිබේ.
මේ අතර CJP ව්යාපාරය ඔක්තෝබර් 16 වැනිදා දිල්ලියේ Connaught Place ප්රදේශයේ ජාතික ධජ රැගෙන නව විරෝධතාවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
එහෙත් ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම සිය ස්ථාවරය වෙනස් කර නැත. ඡන්දහිමි නාමලේඛන ප්රතිශෝධනය නීත්යානුකූල සහ අවශ්ය ක්රියාවලියක් බව ඔවුන්ගේ ස්ථාවරය වන අතර, විපක්ෂය දේශපාලන වාසි ලබාගැනීම සඳහා මැතිවරණ ආයතන පිළිබඳ ජනතා විශ්වාසය බිඳදමන බවට BJP නායකයෝ චෝදනා කරති.
ඒ අනුව SIR ක්රියාවලියේ නීත්යානුකූලභාවය, මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය සහ සාමකාමී විරෝධතාවල නිරත වීමේ අයිතිය යන කරුණු ඉන්දියාවේ පුළුල් ප්රජාතන්ත්රවාදී අර්බුදයක කේන්ද්රීය ප්රශ්න බවට පත්ව තිබේ.
‘ඉතිහාසය නිහඬව සිටි අයට සමාව දෙන්නේ නැහැ’
සිය මාධ්ය සාකච්ඡාවේදී ප්රකාශ් රාජ් සියලුම පුරවැසියන්ට සහ නිහඬව සිටින දේශපාලන නායකයන්ට ද අනතුරු ඇඟවීමක් කළේය.
“හෙට ඉතිහාසය ලියැවෙන විට, වැරදි කළ අයට සමාව ලැබිය හැකියි. නමුත් නිහඬව සිටි අයට එය කිසිදා සමාව දෙන්නේ නැහැ. අද අපකීර්තියට පත් නොවේවි. නමුත් ඉතිහාසය ලියන තැන ඔවුන් අපකීර්තියට පත් වේවි.”
අත්අඩංගුවට ගැනීම් සහ මර්දනය මගින් ජනතාව බියගැන්විය හැකි බවට ආණ්ඩුව සිතන්නේ නම් එය වැරදි අවබෝධයක් බව ද ඔහු පැවසීය.
“මිනිසුන්ගෙන් හිරේ යාමේ බිය දැන් පහව යමින් පවතිනවා සහෝදරයා.”
අවසානයේදී ප්රකාශ් රාජ් වත්මන් දේශපාලන තත්ත්වය විස්තර කළේ තවත් ප්රබල ප්රකාශයකිනි.
“එක් දෙයක් තේරුම් ගන්න. හිරේ ඉන්නේ අපි නොවෙයි. ඥානේෂ් කුමාර්, අමිත් ෂා, මෝදි වටා පොලිසිය ඉන්නවා. ඔවුන් ඉන්නේ හිරේ. අපි හිරේ නොවෙයි.”
