හෙළ ඇපරල් අධ්‍යක්ෂවරුන් පස්දෙනෙක්ට වාණිජ මහාධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්!

හෙළ ඇපරල් සමාගම් සමූහය වසා දැමීමේ තීරණය හමුවේ එහි අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකුට විදේශගතවීම වළක්වමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය කොළඹ වාණිජ මහාධිකරණය විසින් තහවුරු කර තිබේ.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු චමත් මදනායක මහතා ඔක්තෝබර් 13 වැනිදා මෙම නියෝගය ලබාදී ඇත්තේ, හෙළ ක්ලෝතින් සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ගොනුකර තිබූ විරෝධතා ප්‍රතික්ෂේප කරමිනි.

කෙසේ වෙතත්, අධිකරණයේ පූර්ව අවසරය ලබාගෙන, අධිකරණය පනවන කොන්දේසිවලට යටත්ව නිශ්චිත කාලසීමාවක් සඳහා විදේශගතවීමට අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සලසමින් මීට පෙර පැනවූ තහනම සංශෝධනය කිරීමටද විනිසුරුවරයා පියවර ගෙන ඇත.

මෙලෙස විදේශ ගමන් තහනමට ලක්ව සිටින්නේ හෙළ ක්ලෝතින් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන,

  1. පානදුර ලියනගේ දිලංක ජිනදාස
  2. ඇල්බට් රාසකන්ත රාසායියා
  3. ගයාන් ප්‍රියංක ගුණවර්ධන
  4. රංජිත් සනත් පෙරේරා අමරතුංග
  5. අරුණ ද සිල්වා මුතුමුණි

යන පස්දෙනාය.

බැංකුවෙන් බරපතළ චෝදනා

මෙම නඩු කටයුතු ආරම්භ වී ඇත්තේ හෙළ ක්ලෝතින් සමාගම ඈවර කිරීමට ගත් තීරණයෙන් පසුව, ලංකා කොමර්ෂල් බැංකුව විසින් 2007 අංක 7 දරන සමාගම් පනතේ 374, 375 සහ 376 වගන්ති යටතේ අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුවය.

සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් සමාගමට ලැබිය යුතු මුදල් අයථා ලෙස භාවිත කළ බවට සහ බැංකුවට ලැබිය යුතු අපනයන ආදායම් වෙනත් මාර්ගවලට යොමු කළ බවට බැංකුව චෝදනා කර තිබේ.

හෙළ ක්ලෝතින් සමාගමට අපනයන නිෂ්පාදන කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක් දක්වා ණය පහසුකම් ලබාදී තිබූ බව කොමර්ෂල් බැංකුව අධිකරණයට දැනුම් දී ඇත.

විදේශීය ඇණවුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට සහ භාණ්ඩ අපනයනය කිරීමට පෙර නිෂ්පාදන වියදම් දැරීමට මෙම ණය ලබාදී තිබුණේ, අපනයන ආදායම් අදාළ බැංකුව හරහා මෙරටට ගෙන්වා ගැනීමේ කොන්දේසිය මතය.

එහෙත් සමාගමේ අධ්‍යක්ෂවරුන් එම ණය ආපසු ගෙවීමට අසමත් වී ඇති බවත්, අපනයන ආදායම් බැංකුව හරහා ලබා නොගෙන අපනයන ගනුදෙනු පිළිබඳ තොරතුරු වසන් කර ඇති බවත් බැංකුව චෝදනා කර තිබේ.

එසේම හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් සමාගම සිය ණයහිමියන්ගේ අනුමැතියකින් තොරව ඇතැම් අනුබද්ධ සමාගම් විකිණීමට කටයුතු කර ඇති බවටද බැංකුව චෝදනා කර ඇත.

මෙහිදී විශේෂයෙන්ම අවධානයට ලක්ව ඇත්තේ එමරල්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමට අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක ගනුදෙනුවකි.

බැංකුවේ චෝදනාව වන්නේ එම ගනුදෙනුවෙන් ලැබුණු බව කියන මුදල් අධ්‍යක්ෂවරුන් විසින් වංචනිකව අයථා පරිහරණය කර ඇති බවත්, සමාගම් ඈවර කිරීම සඳහා ඉදිරිපත් කළ පෙත්සම්වල එම මුදල් පිළිබඳ නිසි හෙළිදරව් කිරීමක් සිදුකර නොමැති බවත්ය.

සමාගමේ වත්කම්, බැරකම්, අපනයන ආදායම් සහ ආයෝජන පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි නොකර සමාගම ඈවර කිරීමට උත්සාහ කර ඇති බවද බැංකුව කියා සිටී.

අධ්‍යක්ෂවරුන් පෞද්ගලිකව වගකිව යුතු බවට ඉල්ලීමක්

සමාගමක් ඈවර කිරීමේදී එහි අධ්‍යක්ෂවරුන් විසින් වංචනික ක්‍රියා සිදුකර තිබේ නම් හෝ සමාගමේ මුදල් අයථා ලෙස පරිහරණය කර තිබේ නම්, ඔවුන් පෞද්ගලිකව වගකීමට යටත් කිරීමට සමාගම් පනත යටතේ ප්‍රතිපාදන පවතී.

ඒ අනුව, හෙළ ක්ලෝතින් සමාගම කොමර්ෂල් බැංකුවට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරුන් පෞද්ගලිකව වගකිව යුතු බවට නියෝගයක් ලබාගැනීම බැංකුවේ අපේක්ෂාව වී තිබේ.

මෙම සිද්ධියට අදාළව කොමර්ෂල් බැංකුව පමණක් නොව තවත් බැංකු කිහිපයක්ද අධිකරණයට මැදිහත් වී ඇත.

DFCC බැංකුවද ඒ හා සමාන ඉල්ලීමක් ගොනුකර ඇති අතර, හැටන් නැෂනල් බැංකුව සහ ජාතික සංවර්ධන බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙහිදී අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරු තර්ක කළේ සිවිල් අධිකරණ බලය ක්‍රියාත්මක කරන වාණිජ මහාධිකරණයකට පුද්ගලයෙකුගේ විදේශ ගමන් තහනම් කිරීමට බලයක් නොමැති බවය.

එවැනි නියෝගයක් ලබාදිය හැක්කේ අපරාධ අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණයකින් පමණක් බවත්, සමාගම් පනතේ අදාළ වගන්ති මඟින් එවැනි බලයක් ලබාදී නොමැති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

එම තර්ක ප්‍රතික්ෂේප කළ විනිසුරු චමත් මදනායක මහතා සමාගම් පනතේ 310, 313 සහ 521 වගන්ති ඇතුළු නෛතික ප්‍රතිපාදන අනුව, අවශ්‍ය අවස්ථාවලදී එවැනි නියෝග ලබාදීමට වාණිජ මහාධිකරණයට බලය පවතින බව තීරණය කර තිබේ.

අධ්‍යක්ෂවරුන්ගේ විදේශ ගමන් සීමා කිරීමේ අරමුණ විය යුත්තේ අපරාධ විමර්ශනයක් සඳහා ඔවුන් රඳවා තබාගැනීම නොව, සමාගමේ වත්කම්, බැරකම්, ගිණුම් සහ අනෙකුත් තොරතුරු පිළිබඳ අධිකරණ විමර්ශනයට ඔවුන් සහභාගි කරවා ගැනීම බව විනිසුරුවරයා අවධාරණය කර ඇත.

හෙළ ඇපරල් වසා දැමීමේ පසුබිම

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් අපනයන ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වූ හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් සමාගමේ මූල්‍ය අර්බුදය 2026 අගෝස්තු මාසය වනවිට සමාගම් ඈවර කිරීමේ අධිකරණ ක්‍රියාවලියක් දක්වා වර්ධනය වී තිබුණි.

2025 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂයට අදාළ ගිණුම් පිළිබඳ ස්වාධීන විගණකවරයාට විගණන මතයක් ලබාදීමට නොහැකි වීමෙන් පසුව, සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ අවධානයට ලක්ව තිබුණි.

2025 දෙසැම්බර් 12 වැනිදා සිට සමාගමේ කොටස් විශේෂ නිරීක්ෂණ ලැයිස්තුවකට ඇතුළත් කර තිබූ අතර, එම විගණන ගැටලුව නිරාකරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් 2026 ජුනි 18 වැනිදා සිට සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවනු ලැබීය.

සමාගමේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැංකු සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් අවශ්‍ය ප්‍රාග්ධනය සහ ණයහිමියන්ගේ අනුමැතිය ලබාගැනීමේ ගැටලු මතු වී තිබුණි.

මෙම තත්ත්වය හමුවේ 2026 අගෝස්තු 4 වැනිදා හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ මණ්ඩලය සමාගම ඈවර කිරීමට තීරණය කළේය.

අගෝස්තු 5 වැනිදා එම සමාගම සහ එහි අනුබද්ධ සමාගම් වන හෙළ ක්ලෝතින් සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් සමාගම් ඈවර කිරීමට අදාළ පෙත්සම් වාණිජ මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම්දී තිබුණේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, නව ආයෝජකයන් සොයා ගැනීම සහ සමාගමේ වත්කම් විකිණීම ඇතුළු විකල්ප ක්‍රියාමාර්ග සලකා බැලුවද, ණය ගෙවීමේ හැකියාව නැවත ස්ථාපිත කර ගැනීමට නොහැකි වූ බවය.

ඩොලර් මිලියන 8ක ගනුදෙනුව සිදුවුණේ කෙසේද?

හෙළ සමාගමේ මූල්‍ය අර්බුදය හමුවේ එහි වත්කම් විකිණීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ වී තිබුණි.

2026 මාර්තු මාසයේදී හෙළ ක්ලෝතින් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 9කටත්, හෙළ බ්‍රෑන්ඩ්ස් ව්‍යාපාරයට අදාළ කොටස් ඩොලර් මිලියන 8කටත් විකිණීමේ යෝජනා ඉදිරිපත් කර තිබුණි.

පසුව අප්‍රේල් 14 වැනිදා අත්සන් කළ ගිවිසුමක් අනුව, හෙළ සමාගම් සමූහයට අයත්ව තිබූ බ්‍රිතාන්‍යයේ Focus Brands Limited සමාගමේ කොටස් ඩොලර් මිලියන 8ක මුළු ගනුදෙනු වටිනාකමකට විකිණීම සිදු විය.

එම කොටස් මිලදීගත් ආයෝජකයන් වූයේ එමරල්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කොටස්හිමියන් වන මොහොමඩ් සලීම් සුහුරුදීන් සහ මොහොමඩ් සාලිහු ෆසීල්දීන් යන දෙදෙනාය.

කෙසේ වෙතත්, 2026 ජුනි මාසයේදී හෙළ සමාගම සිදුකළ හෙළිදරව් කිරීමකට අනුව, ඩොලර් මිලියන 8ක සමස්ත ගනුදෙනු වටිනාකමෙන් විවිධ ගැළපීම් සහ වගකීම් අඩු කිරීමෙන් පසු ඉතිරි වන මුදල් ප්‍රමාණය ඩොලර් 484,000ක් පමණක් බව සඳහන් කර තිබුණි.

ඊට කර්මාන්තශාලා භාරගැනීමේදී සේවකයන්ගේ පාරිතෝෂික සහ විශ්‍රාම ප්‍රතිලාභ සම්බන්ධ වගකීම් ඇතුළු ගැළපීම්ද අදාළ වී තිබුණි.

මෙම පසුබිම තුළ ඩොලර් මිලියන 8ක ගනුදෙනුව සහ එම මුදල් භාවිත කළ ආකාරය පිළිබඳ බැංකුව මතුකර ඇති චෝදනා වර්තමාන අධිකරණ ක්‍රියාවලියේ වැදගත් ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

සේවකයන් 3,674 දෙනෙකුට සිදුවූයේ කුමක්ද?

හෙළ ඇපරල් සමාගම් සමූහය ඈවර කිරීමට තීරණය කිරීමෙන් පසුව එහි සේවකයන් දහස් ගණනකගේ රැකියා පිළිබඳ අවිනිශ්චිතතාවක් මතුව තිබුණි.

එහෙත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2026 අගෝස්තු මාසයේදී නිවේදනය කළේ හෙළ ක්ලෝතින් සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් සමාගම්වල සේවය කළ සේවකයන් 3,674 දෙනෙකු එමරල්ඩ් ක්ලෝතින් සමාගම වෙත මාරු කර ඇති බැවින් ඔවුන්ගේ රැකියා ආරක්ෂා වී ඇති බවය.

මෙම සේවක මාරුව අදියර දෙකකින් සිදුකර තිබුණි.

2026 මැයි 1 වැනිදා සිට පලාපත්වල, තිහාරිය සහ ප්‍රධාන කාර්යාලයට අනුබද්ධ සේවකයන් 2,504 දෙනෙකු එමරල්ඩ් ක්ලෝතින් වෙත මාරුකර ඇත.

ඉන්පසුව ජුනි 1 වැනිදා සිට නාඋල, උකුවෙල සහ ප්‍රධාන කාර්යාලයට අදාළ තවත් සේවකයන් 1,170 දෙනෙකු එම සමාගම වෙත අනුයුක්ත කර තිබේ.

මෙසේ මාරුකර ඇති සමස්ත සේවක පිරිසට විධායක නිලධාරීන් 251ක්, කාර්යාල සහ පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයන් 393ක් සහ අනෙකුත් සේවකයන් 3,030ක් ඇතුළත් වේ.

ආයෝජන මණ්ඩලය සඳහන් කළේ මෙම සේවකයන්ගේ පෙර සේවා කාලයේ අඛණ්ඩතාව සහ අදාළ සේවා කොන්දේසි පවත්වාගෙන යමින් එමරල්ඩ් ක්ලෝතින් සමාගම ඔවුන්ගේ සේවා නියුක්තිය භාරගෙන ඇති බවය.

එසේම මෙම ක්‍රියාවලිය සමාගම් ඈවර කිරීමේ පෙත්සම් ගොනු කිරීමට පෙර අවසන් කර ඇති බවත්, සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තම කාර්මික සම්බන්ධතා අංශය ඔස්සේ අධීක්ෂණය සිදුකළ බවත් ආයෝජන මණ්ඩලය දැනුම් දී තිබුණි.

කෙන්යාවේ ක්‍රියාත්මක වූ Hela Intimates EPZ Limited සමාගමේ සේවකයන් 3,000කට අධික පිරිසකගේ හිඟ වැටුප්, සමාජ ආරක්ෂණ අරමුදල් සඳහා ගෙවිය යුතු දායක මුදල් සහ සේවය අවසන් කිරීමේදී ගෙවිය යුතු ප්‍රතිලාභ පිළිබඳ ගැටලු මතුව ඇති බව 2026 අගෝස්තු මාසයේදී වාර්තා විය.

නයිරෝබි සෙනෙට් සභික එඩ්වින් සිෆූනා මෙම ගැටලුව කෙන්යානු සෙනෙට් සභාවට ඉදිරිපත් කරමින්, අදාළ සේවකයන්ගේ හිඟ වැටුප් සහ ව්‍යවස්ථාපිත දායක මුදල් නොගෙවීම පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා තිබුණි.

සැප්තැම්බර් 25 වැනිදා මුල් නියෝගය

කොමර්ෂල් බැංකුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශිවාන් කුරේ මහතා සැප්තැම්බර් 25 වැනිදා අධිකරණයට කරුණු දක්වමින් හෙළ ක්ලෝතින් සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් සමාගම්වලට ලබාදී තිබූ ණය පිළිබඳ විස්තර ඉදිරිපත් කර තිබුණි.

ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් සමාගමටද ඩොලර් මිලියන 3ක අපනයන පූර්ව මූල්‍ය පහසුකමක් ලබාදී තිබූ බවත්, සමාගම් දෙක එකිනෙකාගේ ණය සඳහා ඇපකර ලබාදී තිබූ බවත් අධිකරණයට දැනුම් දී තිබේ.

සමාගම් ඈවර නොකරන බවට මව් සමාගම විසින් බැංකුවට සහතික කිරීමේ ලිපිද ලබාදී තිබූ බව නීතිඥවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව සැප්තැම්බර් 25 වැනිදා අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අතුරු නියෝග කිහිපයක් නිකුත් කළ අධිකරණය විදේශ ගමන් තහනමක්ද පනවා තිබුණි.

එම නියෝගයට එරෙහිව අධ්‍යක්ෂවරුන් ඉදිරිපත් කළ අධිකරණ බලය පිළිබඳ විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් ඔක්තෝබර් 13 වැනිදා ලබාදුන් නව නියෝගයෙන් විදේශ ගමන් තහනම පවත්වාගෙන යාමට තීරණය වී තිබේ.

මේ අනුව, සමාගම ඈවර කිරීමේ ක්‍රියාවලිය හුදෙක් ව්‍යාපාරික අසාර්ථකත්වයක ප්‍රතිඵලයක්ද, නැතහොත් ණයහිමියන්ට අයත් මුදල් සහ සමාගමේ වත්කම් සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ට පෞද්ගලික වගකීමක් පැවරිය යුතු තත්ත්වයක්ද යන්න ඉදිරි අධිකරණ විමර්ශනයේදී තීරණය වීමට නියමිතය.

සමාගමේ එහි දහස් ගණනක සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ නෛතික හිමිකම්ද මෙම සිදුවීමේ ප්‍රධාන අවධානයට ලක්ව ඇති කරුණු වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading