AI තරගකාරීත්වය සහ ණය බර මැද Getty Images බංකොලොත් භාවය ප්‍රකාශ කරයි

ඡායාරූප, වීඩියෝ සහ වෙනත් දෘශ්‍ය අන්තර්ගත සඳහා බලපත්‍ර ලබාදෙන ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Getty Images, කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන රූප හා වීඩියෝ ව්‍යාප්ත වීමත් සමඟ තීව්‍ර වන තරගකාරීත්වය හමුවේ සිය බංකොළොත් භාවය ප්‍රකාශයට පත් කර තිබේ.

ජුනි මාසය අවසන් වන විට සමාගමේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.1ක් පමණ ඉහළ ගොස් ඇත. ඊට සාපේක්ෂව, ඔක්තෝබර් 9 වැනිදා කොටස් වෙළෙඳපොළ අවසන් වන විට සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය පැවත ඇත්තේ ඩොලර් මිලියන 20.74ක පමණය. ඒ අනුව, සමාගමේ ණය ප්‍රමාණය එහි වෙළෙඳපොළ වටිනාකම මෙන් දළ වශයෙන් 100 ගුණයක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, ණය හිමියන් සහ ආයෝජකයන් සමඟ ප්‍රතිසංවිධාන එකඟතාවකට පැමිණීමට Getty Images සමත්ව තිබේ. ඒ අනුව වසර අවසන් වන විට ප්‍රතිසංවිධාන කටයුතු සම්පූර්ණ කර සමාගම පෞද්ගලික හිමිකාරිත්වය යටතට පත් කිරීම Getty Images හි අපේක්ෂාවයි.

ප්‍රතිවාදී Shutterstock සමාගම සමඟ ඒකාබද්ධ වීමට ගෙන තිබූ සැලසුම බිඳවැටීමෙන් අනතුරුව සමාගම මෙම පියවරට එළඹ තිබේ. විශාල ණය බරක් දරමින් සිටින Getty Images හි මූල්‍ය තත්ත්වය, AI මඟින් නිර්මාණය කරන ඡායාරූප හා වීඩියෝ ව්‍යාප්ත වීමත් සමඟ තවදුරටත් පීඩනයට ලක්ව ඇත.

ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය අවසන් වූ පසු Getty පවුලට අනුබද්ධ ආයතන සහ Koch Equity Development සමාගම එක්ව Getty Images හි සියයට සියයක හිමිකාරිත්වය දරනු ඇත. මෙම ආයෝජකයන් නව කොටස් ප්‍රාග්ධනය ලෙස ඩොලර් මිලියන 533ක් දක්වා මුදලක් ආයෝජනය කිරීමට එකඟ වී තිබේ.

ණය හිමියන් ද ණය කොන්දේසි සංශෝධනය කිරීමට එකඟ වී ඇත. ඒ අනුව, ඇප රහිත ණය බැඳුම්කර හිමියන් ඩොලර් මිලියන 270ක ණය මුදලක් අහෝසි කිරීමට නියමිත අතර, ඇප සහිත ණය ලබාදුන් පාර්ශ්ව පොලී පිරිවැය අඩු කරමින් ණය ආපසු ගෙවීමේ කාලසීමා දීර්ඝ කිරීමට එකඟ වී තිබේ. මීට අමතරව, බංකොලොත් ආරක්ෂාව ලබාගැනීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා Koch Equity Development සමාගම ඩොලර් මිලියන 143ක් දක්වා මූල්‍ය පහසුකම් සැපයීමට නියමිතය.

Getty Images යනු 1995 වසරේදී Mark Getty සහ Jonathan Klein විසින් ආරම්භ කරන ලද ලොව ප්‍රමුඛ පෙළේ ඡායාරූප, වීඩියෝ, නිදර්ශන සහ අනෙකුත් දෘශ්‍ය අන්තර්ගත සඳහා බලපත්‍ර ලබාදෙන සමාගමකි. පුවත් ආයතන, වෙළෙඳ ප්‍රචාරණ ආයතන, මාධ්‍ය සමාගම් සහ ව්‍යාපාර ඇතුළු පාරිභෝගිකයන්ට එම අන්තර්ගත නීත්‍යනුකූලව භාවිත කිරීම සඳහා බලපත්‍ර ලබාදීම එහි ප්‍රධාන ආදායම් මාර්ගය වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading