ඇමරිකානු ඩොලර් මිලියන 50ක විදේශ විනිමය අපතේ යාමක් සිදුවන බවට කෙරෙන ප්‍රකාශය පරීක්ෂා කර බැලිය යුතු බව මෙන්ම අපනයනකරුවන්ට තම පිරිවැය පිළිබඳ ස්ථාවරත්වයක් අවශ්‍ය බවද අවධාරණය කරයි.
කොළඹ වරායේ දැනට පවතින ගාස්තු ක්‍රමවේදය හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 50කට වඩා වැඩි විදේශ විනිමයක් අහිමි විය හැකි බවට කෙරෙන ප්‍රකාශය, බලධාරීන් විසින් මුලින්ම පරීක්ෂා කර බැලිය යුතු බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) ඉල්ලා සිටියි. එම සංගමය පවසා සිටින්නේ අපනයනකරුවන් දැනට විශ්වාසය තබා කටයුතු කරන නීති රීතිවල වෙනසක් සිදු කිරීමට පෙර මෙම පරීක්ෂාව කළ යුතු බවයි.
ලංකා භාණ්ඩ ප්‍රවාහන හා ප්‍රවර්ධන සංගමය (CEYFFA) වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ඉනාම් කෆූර් කොළඹ වරායේ සිදුවන නීතිමය වෙනස්කම් පිළිබඳව පසුගිය ඔක්තෝබර් 31 දින Sunday Island පුවත්පතට අදහස් දක්වමින් විදේශ විනිමය අහිමි විය හැකි බවට සඳහන් කර ඇති බවත් එම ප්‍රකාශය සඳහා කිසිදු නිශ්චිත සංඛ්‍යා ලේඛනයක්, ගණනය කිරීමක් හෝ සාක්ෂියක් වාර්තාව තුළ ඉදිරිපත් කර නොමැති බවත් JAAF පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් JAAF හි ප්‍රධාන ලේකම් යොහාන් ලෝරනස් සඳහන් කර ඇත්තේ “ඇඟලුම් අපනයනකරුවන් සෑම දිනකම භාණ්ඩ නැව්ගත කරන අතර, ඔවුන් තමන්ට ලැබෙන ප්‍රවාහන ගාස්තු පදනම් කරගෙන සිය පිරිවැය සැලසුම් කරනවා. මෙවැනි විශාල මුදලක් පිළිබඳ කෙරෙන ප්‍රකාශයක් ගැන සොයා බැලිය යුතුමයි. නමුත් සාධාරණ වෙළෙඳාමක් තහවුරු කරන සහ අසාධාරණ ගාස්තු අය කිරීම වළක්වන නීති රීති, මෙතෙක් සාක්ෂි මගින් තහවුරු කර නොමැති ප්‍රකාශයක් මත පදනම්ව වෙනස් නොකළ යුතු බව අපගේ මතයයි.” යනුවෙනි.
JAAF සාමාජිකයින්ට මෙයින් සිදු විය හැකි බලපෑම ඉතා ඉහළ ය. 2023 මාර්තු 31 දිනැති අංක 2334/26 දරන ගැසට් නිවේදනය මගින් මූලධර්ම හතරක් පනවා ඇත. භාණ්ඩ ප්‍රවාහනය සඳහා නියමිත ගාස්තුවලට අමතරව සේවා සපයන්නන් විසින් අධික ගාස්තු අය කිරීමෙන් ආනයනකරුවන් සහ අපනයනකරුවන් දෙපාර්ශවයම ආරක්ෂා කිරීම මෙමගින් සිදුවේ. එම මූලධර්ම නම්,
මූලධර්ම 1 – ප්‍රවාහන පිරිවැය ලෙස සම්පූර්ණ ගාස්තුව එකට දැක්විය යුතු අතර, එය ගොඩබිම් පිරිවැය සහ නැව් ගාස්තු ලෙස කොටස්වලට වෙන් නොකළ යුතුය.
මූලධර්ම 2 – ගිවිසුම්ගත පාර්ශවය පමණක් ගාස්තු ගෙවිය යුතුය. එනම්, සේවා සපයන්නාට මුදල් අය කරගත හැක්කේ තමන් සමඟ ගිවිසුම්ගත වූ පාර්ශවයෙන් පමණක් වන අතර, නීතිමය බැඳීමක් නැති තෙවන පාර්ශවයකින් (උදාහරණයක් ලෙස FCA ගිවිසුමකදී අපනයනකරුගෙන්) අය කළ නොහැක.
මූලධර්ම 3 – වරායට ගොඩබාන භාණ්ඩ සඳහා ගාස්තු සටහන් කළ හැක්කේ Freight Pre Paid හෝ Freight Collect ලෙස පමණි. Zero Freight සංකල්පයට ඉඩ නොදේ.
මූලධර්ම 4 – ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමේදී, ප්‍රවාහන ගාස්තුවට අමතරව අය කළ හැක්කේ බෙදා හැරීමේ නියෝග (Delivery Order – DO) ගාස්තුව පමණි. අනෙකුත් සියලුම පිරිවැය ප්‍රවාහන ගාස්තුව ඇතුළත සලකා බැලිය යුතුය.
මෙම ක්‍රමවේදය මගින් භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ට සියලුම පිරිවැය ඇතුළත් තනි ප්‍රවාහන ගාස්තුවක් සහ දේශීයව ගෙවිය යුතු තනි ගාස්තුවක් වන බෙදා හැරීමේ නියෝග ගාස්තුව පමණක් ගෙවීමට අවස්ථාව
ලැබේ. මෙම DO ගාස්තුව වෙළෙඳ නැව් අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කළ යුතුය. ඇතැම් සමාගම් බෙදා හැරීමේ නියෝගයක් නිකුත් කිරීමේ සරල කාර්යය සඳහා දැනටමත් රුපියල් 100,000ක් දක්වා අධික මුදලක් අය කරයි. ජාතික අපනයනකරුවන් ගේ වාණිජ මණ්ඩලය (NCE) පෙන්වා දෙන්නේ 2013 වසරට පෙර ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට වෙන් වෙන් වශයෙන් ගාස්තු 50කට ආසන්න සංඛ්‍යාවකට මුහුණ දීමට සිදු වූ බවයි. ලංකා භාණ්ඩ ප්‍රවාහන හා ප්‍රවර්ධන සංගමය (CEYFFA) නැවතත් එම පැරණි ක්‍රමවේදයටම යාමට දැඩි උත්සාහයක යෙදෙන බව පෙනෙන්නට තිබෙන අතර, NCE ආයතනය එම තත්ත්වයට පත්වීම පිළිබඳව දැඩි ලෙස අනතුරු අඟවා ඇත.
විදේශ විනිමය අපතේ යාමක් සිදුවන බවට කෙරෙන ප්‍රකාශය තුළම පැහැදිලි අඩුවැඩිකම් පවතින බව න්්ත් පෙන්වා දෙයි. වරායේ ගාස්තු නියම කරනු ලබන්නේ නිල ගාස්තු ලේඛනයක් මගින් වන අතර, 2022 ජූනි මාසයේ සිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නෞකා සමාගම්වලින් එම ගාස්තු ඇමරිකානු ඩොලර්වලින් ලබාගන්නා බවට වාර්තා වේ. එම නිසා ශ්‍රී ලංකාවේ වරායකට හෝ පර්යන්ත ක්‍රියාකරුවෙකුට ගෙවනු ලබන මුදල් විදේශ විනිමය ගලා ඒමක් මිස අපතේ යාමක් නොවේ. ප්‍රවාහන ගාස්තුවේ ඉතිරි කොටස හිමිවන්නේ ම ුහුදෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් නෞකා සමාගමට
වන අතර, එය සෑම ජාත්‍යන්තර නැව්ගත කිරීමකදීම විදේශයන්හිදී උපයනු ලබන මුදලකි. එබැවින් විදේශීය ප්‍රවාහන සමාගමකට කරනු ලබන නීත්‍යානුකූල ගෙවීමක්, නිරායාසයෙන්ම නීති විරෝධී ලෙස රටින් පිටතට මුදල් ගලායාමක් ලෙස සැලකිය නොහැකිය. පරිමාණය පිළිබඳ සරල ගණනය කිරීමක් මගින් මෙහි ඇති විස්තර වැදගත් වන්නේ ඇයිදැයි පැහැදිලි වේ. 2025 ජනවාරි සහ ඔක්තෝබර් මාස අතර කාලය තුළ කොළඹ වරාය මගින් ආනයන සහ අපනයන බහාලුම් (TEUs)මිලියන 1.10ක් පමණ හසුරුවා ඇත. එබැවින්, මෙම සමස්ත බහාලුම් ප්‍රමාණය මත ඇමරිකානු ඩොලර් මිලියන 50ක පාඩුවක් බෙදී ගියේ නම්, එය එක් බහාලුමකට දළ වශයෙන් ඩොලර් 38ක් සහ 45ක් අතර මුදලක් වේ. මෙම ගණිතමය විග්‍රහය මගින් පමණක් කිසිවක් ඔප්පු නොවන නමුත්, විශ්වාසදායක තක්සේරුවක් කළ හැක්කේ සත්‍ය ගනුදෙනු දත්ත පදනම් කරගනිමින් පමණක් බව මෙයින් පැහැදිලි වේ.
JAAF මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත්කර ඇත. ඒ මුදල් අහිමි වන්නේ කාටද?, එම මුදල් ලැබෙන්නේ කාටද?, මේ සඳහා සම්බන්ධ වන ගනුදෙනු මොනවාද?, මීට ඇති නීතිමය පදනම කුමක්ද?,මෙම මුදල ගණනය කළේ කෙසේද? යන්නයි.
එමෙන්ම, ලංකා භාණ්ඩ ප්‍රවාහන හා ප්‍රවර්ධන සංගමයෙන් මේ සඳහා ඇති මූලික සාක්ෂි ඉල්ලා සිටින ලෙසත්, ඒ පිළිබඳව නිල පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන ලෙසත් ඔවුහු වෙළඳ නැව් අධ්යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනවලින් ඉල්ලා සිටිති. සියලුම පාර්ශවකරුවන් ඇතුළත් වන සාකච්ඡාමය යාන්ත්‍රණයක් සැකසිය යුතු බවට CEYFFA කළ ඉල්ලීමට JAAF සහාය දක්වන අතර, එහිදී අපනයනකරුවන්ටද අනිවාර්යයෙන්ම අවස්ථාවක් ලැබිය යුතු බව ඔවුහු විශ්වාස කරති.
වැඩි දුරටත් අදහස් දැක්වූ යොහාන් ලෝරනස් “අලාභයක් හෝ පාඩුවක් ඇත්නම්, අපි එය සොයාගෙන නිවැරදි කළ යුතුයි. එවැනි පාඩුවක් සිදු නොවන්නේ නම්, මහජනතාවට ඒ බවද දැනුම් දිය යුතුයි. ජාත්‍යන්තරව තරඟ කිරීම සඳහා අපගේ සාමාජිකයින්ට ස්ථාවර සහ විනිවිදභාවයකින් යුත් පිරිවැයක් අවශ්‍ය වන අතර, සාක්ෂි මත පදනම්ව කටයුතු කිරීමෙන් එය හොඳින්ම ආරක්ෂා කරගත හැකියි.” යනුවෙන් පවසා තිබේ.
