පවතින දැඩි මූල්‍ය අර්බුදය සහ ද්‍රවශීලතා ගැටලු හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත ප්‍රමුඛ පෙළේ බහුජාතික ඇඟලුම් සමාගමක් වන හෙලා ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Hela Apparel Holdings PLC) මෙන්ම එහි ප්‍රධාන අනුබද්ධිත හෙලා ක්ලෝතින් (පුද්ගලික) සමාගම සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් (පුද්ගලික) සමාගම වසා දැමීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.
සමාගමේ මූල්‍ය තත්ත්වය, වත්කම්, බැරකම් සහ මෙහෙයුම් පිළිබඳව සිදු කළ දීර්ඝ සමාලෝචනයකින් පසු, පවතින ණය වගකීම් තවදුරටත් ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් මෙම පියවර ගත් බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාව මූලස්ථානය කරගනිමින් ඇඟලුම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියක් අත්කරගෙන සිටි හෙලා ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ලොව ප්‍රමුඛතම බහුජාතික ඇඟලුම් නිෂ්පාදන ජාලයක් ලෙස සිය ආධිපත්‍යය තහවුරු කරගෙන සිටි ආයතනයකි.
2007 අංක 7 දරන සමාගම් පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව අධිකරණ නියෝගයක් මඟින් සමාගම ඈවර කර වසා දැමීම සඳහා වන අයදුම්පතක් 2026 අගෝස්තු 05 වන දින බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. මීට පෙර අවස්ථාවලදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සහ උපායමාර්ගික ආයෝජන වැනි විකල්ප ක්‍රියාමාර්ග රැසක් අත්හදා බැලුවද, ඒවා අසාර්ථක වීම හෝ වාණිජමය වශයෙන් පවත්වාගෙන යා නොහැකි වීම හේතුවෙන් ණය හිමියන්, සේවකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ට සිදුවන හානිය අවම කරගැනීම සඳහා මෙම තීරණය ගත් බව අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
හෙලා ඇපරල් සමාගම යටඇඳුම්, ළමා ඇඳුම් මෙන්ම ක්‍රීඩා සහ අනියම් ඇඳුම් නිෂ්පාදනයෙහි විශේෂඥතාවක් දක්වමින් global ප්‍රසාදයක් දිනා සිටින Calvin Klein, Tommy Hilfiger, Michael Kors, NEXT සහ Tesco වැනි ප්‍රමුඛ පෙළේ විලාසිතා සන්නාමයන්හි ප්‍රධාන නිෂ්පාදන හවුල්කරුවෙකු ලෙස කටයුතු කළ අතර, VF Corporation සහ Focus Brands යටතේ පවතින Ellesse සහ Nautica වැනි ක්‍රීඩා හා ජීවන රටා සන්නාමයන් සඳහා ද නිෂ්පාදන සපයනු ලැබීය.
හෙලා ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ප්‍රධාන අනුබද්ධිත සමාගමක් හෙලා ක්ලෝතින් (පුද්ගලික) සමාගමේ සේවකයන් කණ්ඩායමක් Emerald clothing pvt ltd නම් නව සමාගමකට බඳවාගෙන ඇතැයි වාර්තා වේ. හෙලා ක්ලෝතින් (පුද්ගලික) සමාගමේ සේවක කණ්ඩායමක් වාණිජ හා කාර්මික සේවක සංගමයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති අතර එම වෘත්තීය සමිතියේ මැදහත් වීම මත අසාධාරණ ලෙස සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට ආයතනය ගත් උත්සාහය ව්‍යවර්ථ වී ඇත.
මේ සම්බන්ධයෙන් What News වාණිජ හා කාර්මික සේවක සංගමයෙන් විමසීමේදී එම සංගමය ප්‍රකාශ කළේ ”හෙලා ක්ලෝතින් (පුද්ගලික) සමාගම” වසා දැමීමට ගත් තීරණයත් සමග සේවකයන්ට ගෙවිය යුතු වන්දි මුදල් සහ අනෙකුත් සමාජ ආරක්ෂණ මුදල් ලබා දීමට සිදු වන බැවින් සේවකයන්ට ඉල්ලා අස්වීම් ලිපි ලබා දෙන ලෙස පවසා ඇති බවයි. සංගමය මැදිහත් වීමෙන් එය නවත්වා ඇති අතර සේවකයන් පසුව බැඳුනු Emerald clothing pvt ltd සමග කම්කරු දෙපාර්තමේන්තුවේ මැදහත් වීමෙන් 12(1) සම්මුතිකට එළඹ තිබේ.
කම්කරු නීතියට අනුව 12(1) වගන්තිය යටතේ වන ගිවිසුමක් (Section 12(1) agreement) යනු, කාර්මික ආරවුල් පනතේ 12(1) වගන්තිය ප්‍රකාරව පවතින අභිමතයන්ට අනුකූලව සේවායෝජක (හෝ සේවායෝජක සංවිධානය) සහ සේවකයින් (හෝ වෘත්තීය සමිතිය) අතර අත්සන් කරනු ලබන සමථ සංදේශයකි.
Emerald Clothing Pvt. Ltd සහ සේවකයන් අතර මෙම ගිවිසුමක් අත්සන් කර ඇති අතර එමගින් සේවකයින්ගේ සම්පූර්ණ සේවා කාලය ගණනය කිරීමේදී හෙලා ක්ලෝතින් (පුද්ගලික) සමාගමෙහි සේවකයා කාලයද සමග ගණනය කිරීම, ඒ අනුව පාරිතෝෂික සහ අනෙකුත් සමාජ ආරක්ෂණ ගණනය කිරීම, නිවාඩු ඇතුළු කාරණා කිහිපයකට එකඟතාවයට පැමිණ තිබේ.
එසේම හෙලා ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී තවත් ප්‍රධාන අනුබද්ධිත සමාගමක් වන ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් (පුද්ගලික) සමාගමේ සේවකයන්ට සිදු වුයේ කුමක්ද යන්න පිළිබඳවද සොයා බැලිය යුතු බව වාණිජ හා කාර්මික සේවක සංගමය ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධානතම පංගුවක් වන ඇඟලුම් කර්මාන්තය වර්තමානයේ දැඩි අභියෝගාත්මක පරිච්ඡේදයකට මුහුණ දී සිටියි. ගෝලීය ආර්ථික අවපාතය, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ ද්‍රවශීලතා අර්බුද හේතුවෙන් දිවයිනේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සමාගම් පවා වසා දැමීමට හෝ මෙහෙයුම් සීමා කිරීමට සිදුවීම මේ වන විට රට තුළ දක්නට ලැබෙන බරපතල ප්‍රවණතාවකි. මෙම කර්මාන්තශාලා හදිසියේ වසා දැමීම හේතුවෙන් දහස් සංඛ්‍යාත නියුක්තිකයන්ගේ රැකියා අහිමි වී ඇති අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත සමාජ-ආර්ථික රාමුවටම දැවැන්ත බලපෑමක් එල්ල කරමින් තිබේ.
මෙම අර්බුදයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ග්‍රාමීය සහ වතුකර ප්‍රදේශවලින් පැමිණ ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කළ ශ්‍රමිකයින් වෙතය. ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක බලකායෙන් විශාල ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ ග්‍රාමීය පසුබිමකින් පැමිණි යෞවන යෞවනියන් සහ කාන්තාවන්ය. ඔවුන්ගේ මාසික වේතනය සහ අතිකාල දීමනා (OT) මත මුළු පවුලේම යැපීම සිදුවූ අතර, හදිසියේ රැකියා අහිමි වීමත් සමඟ එම පවුල්වල ජීවනෝපාය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇත. රැකියා සුරක්ෂිතතාව අහිමි වීම නිසා ඔවුන්ගේ දෛනික ආහාර වේල, දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය අවශ්‍යතා පවා ඉටුකර ගැනීමට නොහැකි ශෝචනීය තත්ත්වයක් ගොඩනැඟී තිබේ.
එමෙන්ම මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ සමස්ත විරැකියා අනුපාතය ඉහළ නැංවීමට සෘජුවම බලපා ඇත. ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වන සේවකයින්ට කෙටි කාලයකින් වෙනත් විකල්ප රැකියාවක් සොයා ගැනීම අතිශය අපහසු වී ඇත්තේ රටේ අනෙකුත් ක්ෂේත්‍රයන් හිද පවතින ආර්ථික පසුබෑම හේතුවෙනි. මෙලෙස ශ්‍රම බලකායේ සැලකිය යුතු පිරිසක් එකවර විරැකියාවට ලක්වීම තුළින් එකතු වන ආදායම් අහිමි වීම, ප්‍රදේශීය මට්ටමින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බිඳවැටීමට ද හේතු වී ඇත.
අවසාන වශයෙන් ගත් කල, ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමීම හුදෙක් එක් ක්ෂේත්‍රයක බිඳවැටීමක් පමණක් නොව, රටේ ග්‍රාමීය ආර්ථිකය හා සමාජයීය ස්ථාවරත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන මානුෂීය හා ආර්ථික අර්බුදයකි. එබැවින්, විරැකියාවට ලක්වන ශ්‍රමිකයින් උදෙසා සුදුසු සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම, ඔවුන් වෙනත් ක්ෂේත්‍ර වෙත යොමු කිරීමට අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා දීම සහ පවතින කර්මාන්ත සුරක්ෂිත කර ගැනීම සඳහා රජය හා අදාළ පාර්ශවයන් වහා උපායමාර්ගික පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.
