එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සිදුවන මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයකට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ මස 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාත්මක වන පරීක්ෂණයක සැකකරුවෙකු ලෙස නම් කර දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයාව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. අද දින නඩුව කැඳවනු ලැබුවේ ඔහු විසින් සිදුකර තිබූ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහායි.
එහිදී මහේස්ත්‍රාත්වරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, මේ අවස්ථාවේදී සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන්ම අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනත් නඩුවක් ද විභාග වෙමින් පැවතීම ඊට හේතුව ලෙස මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ චෝදනා සහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ චෝදනා අතර යම් ඒකාබද්ධතාවක් පවතින බව අධිකරණය නිරීක්ෂණය කර තිබෙන බවත් අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩුවට අදාළව සැකකරු මේ වන විටත් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පසුබිමක, කොටුව අධිකරණයේ පවතින නඩුවෙන් පමණක් ඇප ලබාදීමක් සිදුකළ නොහැකි බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා අද පැමිණිල්ලට අදාළව නියෝග තුනක් නියම කළා.
ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට යම්කිසි එකඟතාවයක් තිබේද යන්නත්, මූල්‍ය විශුද්ධිකරණයට අදාළ නඩුව සහ අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව යන දෙකම ඒකාබද්ධව විභාග කිරීමට එකඟතාවයක් තිබේද යනුවෙන් සහ අල්ලස් කොමිසම විසින් නාමල් රාජපක්ෂ මහතාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවක් සහිතව ද යනුවෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාට අධිකරණය දැනුම් දුන්නා.
