2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (22) දින සිය අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනෙකු සඳහා වසර 220 බැගින් වූ සිර දඬුවම නියම කර තිබෙනවා.
එමෙන්ම අදාල දඬුවම ක්‍රියාත්මක අද දිනයේ සිට එම විත්තිකරුවන් 15 දෙනාට අයත් සියලුම නිශ්චල සහ චංචල දේපළ රාජ සන්තක වනු ඇති.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළුව චෝදනා 23,270කට අධික ප්‍රමාණයක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වූ මෙම දීර්ඝ නඩුවේ විත්තිකරුවන් 15 දෙනෙකු කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මෙලෙස වරදකරුවන් බවට තීන්දු කළා.
මෙම තීන්දුව ලබා දුන්නේ, නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි.
නීතිපතිවරයා විසින් එල්ල කර තිබූ සියලුම චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වයට හැකි වී ඇති බවට තීරණය කරමින් මහාධිකරණය විසින් අදාළ විත්තිකරුවන් 15 දෙනා වරදකරුවන් බවට තීන්දු කළා.
ඒ අනුව මෙම නඩුවේ 1 සිට 9 දක්වා වූ විත්තිකරුවන් මෙන්ම 11, 15, 16, 18 සහ 19 යන විත්තිකරුවන් ඔවුන්ට එරෙහිව තිබූ සියලුම චෝදනාවලට වරදකරුවන් වී ඇති බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා.
එමෙන්ම 10 වැනි විත්තිකරුට එල්ල වී තිබූ 16 වැනි චෝදනාවෙන් පමණක් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.
මීට අමතරව, 12, 13, 14, 17, 20, 21, 23, 24 සහ 25 යන විත්තිකරුවන් අදාළ චෝදනාවලින් සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඩුල්ල තීරණය කරනු ලැබුවා.
මෙම අමානුෂික ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර කුඩා දරුවන් ද ඇතුළුව තවත් 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා.
2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දිනයේදී ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් නව දෙනෙකු විසින් කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් සහ කතෝලික දේවස්ථාන තුනක් ඉලක්ක කර මෙම ප්‍රහාරය සිදු කරනු ලැබුවා.
වසර කිහිපයක් මුළුල්ලේ විභාග වූ මෙම නඩුවේදී පැමිණිලිකරුවන් 2,309 දෙනෙකු සිය සාක්ෂි ලබා දී තිබූ අතර, සාක්ෂි විමසීමේ ක්‍රියාවලිය පසුගිය අගෝස්තු 24 වන දින නිමාවට පත් වුණා.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද දින මෙහි අවසන් තීන්දුව ලබාදෙන බවට මීට පෙර නිවේදනය කර තිබුණා.
මේ හේතුවෙන් අද පෙරවරුවේ සිටම අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සුනඛ අංශය, සීසීටීවී ජංගම රථ මෙන්ම ගිලන් රථ ද එහි ස්ථානගත කර තිබෙනු දක්නට ලැබුණා.
නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් අද උදෑසන අධිකරණය වෙත රැගෙන ආ අතර කතෝලික සභාව නියෝජනය කරමින් පියතුමන්ලා ඇතුළු පාර්ශ්ව කිහිපයක්ද අධිකරණ භූමියට පැමිණ සිටියා.
අද පෙරවරු 11.30 ට පමණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ, මෙම දීර්ඝ නඩු තීන්දුවේ අතිශය වැදගත් කරුණු පමණක් විවෘත අධිකරණයේදී ඉදිරිපත් කරන බවයි.
වෙළුම් 9කින් සහ පිටු 8,900කින් සමන්විත අධිචෝදනා පත්‍රයක් විත්තිකරුවන්ට භාර දී ඇති බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2, 1 ඌ සහ 2, 1 ඌ සමඟ කියවිය යුතු 2, 2 යන වගන්ති යටතේ ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීම සහ ජාතීන් අතර අසමගිය ඇති කිරීම යන දඬුවම් ලැබිය හැකි වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා නගා ඇති බවත් සභාපති විනිසුරු නවරත්න මාරසිංහ සඳහන් කළා.
ප්‍රහාරයට පෙර අන්තවාදී දේශන පැවැත්වීම, අවි පුහුණු වැඩමුළු දියත් කිරීම සහ ආරක්ෂිත ස්ථාන පවත්වාගෙන යාම යනාදී කරුණු මෙහිදී විනිසුරු මඩුල්ලේ විශේෂ අවධානයට ලක්වුණා.
කුමන්ත්‍රණයකට සම්බන්ධ වන පුද්ගලයින් එකම ස්ථානයක පේළි ගැසී සිටීම අත්‍යවශ්‍ය නොවන බවත් සෘජුව හෝ වක්‍රව ඊට එකඟ වීම ප්‍රමාණවත් වන අතර ආරම්භයේදී, මැදදී හෝ අවසානයේදී සම්බන්ධ වන ඕනෑම අයෙකු එහි පාර්ශ්වකරුවෙකු විය හැකි බවත් සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා.
ඉන් අනතුරුව එක් එක් විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් වූ විත්තිවාචක සලකා බැලුණු අතර පළමු විත්තිකරු වන මොහොම්මදු ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවී, දෙවැන්නා වන ගෆූර් මාමා, තෙවනුව සිටින හයාතු මොහොම්මදු මිල්හාන්, සිව්වන චූදිත මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, පස්වැන්නා වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්ලා ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකුගේ විත්තිවාචක අධිකරණය විසින් නිශ්ප්‍රභ කරනු ලැබුවා.
ඒ අනුව අදාළ විත්තිකරුවන් වරදකරුවන් බවටත් සෙසු විත්තිකරුවන්ගේ විත්තිවාචක පිළිගනිමින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමටත් අධිකරණය විසින් නියෝග කළා.
