ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී (PickMe) සමාගම 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සිය ස්වාධීන රියදුරන් සහ වෙළෙඳ පාර්ශ්වකරුවන්ගේ ජාලය හරහා රුපියල් බිලියන 22 ක ආදායමක් උපදවා දී ඇති බව ඊයේ නිවේදනය කළේය.
මෙය පෙර වසරට සාපේක්ෂව 50% ක වර්ධනයකි.
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඇති වූ තාවකාලික ඉන්ධන සැපයුම් බාධා කිරීම් මධ්‍යයේ වුවද ශක්තිමත් මෙහෙයුම් වේගයක් පවත්වා ගනිමින්, මෙම වේදිකාව අදාළ කාර්තුව තුළ රුපියල් මිලියන 773 ක මුදලක් ජාතික බදු වශයෙන් ලබා දී ඇත.
පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 1.8 ට සාපේක්ෂව, සමාගම මෙම කාර්තුව සඳහා රුපියල් බිලියන 2.5 ක ආදායමක් වාර්තා කළේය. මෙය 40% ක වැඩිවීමකි. ඉන්ධන සීමා කිරීම් සහ කාර්තුව තුළ අත්විඳි මෙහෙයුම් අභියෝග මධ්‍යයේ වුවද, PickMe හි වෙළඳපල පරිසර පද්ධතියේ අඛණ්ඩ ව්‍යාප්තිය පිළිබිඹු කරමින්, සාමාන්‍ය මාසික සුවිශේෂී පාරිභෝගිකයින්ගේ (unique consumers) 40% ක වාර්ෂික වර්ධනයක් (මෙම කාර්තුව තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය) ආදායම් වර්ධනය සඳහා හේතු විය.
මෙම වර්ධනය වේදිකාවේ මුළු ගමන් වාර සහ බෙදාහැරීම් සංඛ්‍යාවේ (platform movements) 43% ක වාර්ෂික වැඩිවීමක් බවට පරිවර්තනය විය. මේ අතර, වේදිකාව හරහා පහසුකම් සපයන ලද ගමන් සහ බෙදාහැරීම්වල මුළු වටිනාකම වන දළ ගනුදෙනු වටිනාකම (GTV), පෙර වසරේ අනුරූප කාර්තුවේ පැවති රුපියල් බිලියන 17 සිට රුපියල් බිලියන 25.3 දක්වා 48% කින් වාර්ෂිකව වර්ධනය වී ඇත.
මෙම වටිනාකමින් 85% කට වඩා වැඩි ප්‍රමාණයක් සෘජුවම PickMe හි ස්වාධීන රියදුරන් සහ වෙළඳ ජාලය වෙත ගලා ගිය අතර, එය ශ්‍රී ලංකාව පුරා ජීවනෝපායන් නිර්මාණය කිරීම, ව්‍යවසායකත්වයට සහාය වීම සහ ඩිජිටල් වාණිජ්‍යය සක්‍රීය කිරීම සඳහා වේදිකාවේ වැඩෙන කාර්යභාරය ඉස්මතු කරයි.
ආර්ථිකයට අර්ථවත් වටිනාකමක්ලු
PickMe හි සභාපති අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ, මෙම ප්‍රතිඵල මගින් වේදිකාවේ අඛණ්ඩ ව්‍යාප්තිය හරහා නිර්මාණය වූ පුළුල් ආර්ථික වටිනාකම පිළිබිඹු වන බවයි.
“මෙම ප්‍රතිඵල ව්‍යාපාරික වර්ධනයට වඩා බොහෝ දේ නියෝජනය කරයි. PickMe හරහා පහසුකම් සලසන සෑම ගනුදෙනුවක්ම රියදුරන්ට ආදායමක්, වෙළෙන්දන්ට ව්‍යාපාරයක් සහ පාරිභෝගිකයින්ට වැඩි පහසුවක් නිර්මාණය කරන අතර, එය රට පුරා අර්ථවත් ආර්ථික වටිනාකමක් ජනනය කරයි. සැබෑ වැදගත්කම රැඳී ඇත්තේ එතැනයි: එනම් වේදිකාව උපයාගත් දේ තුළ නොව, එය අන් අයට උපයා ගැනීමට සැලසූ දේ තුළයි. මෙම වෙළඳපොළ වර්ධනය වන විට, එම දායකත්වය පවත්වා ගැනීම සහ පුළුල් කිරීම අප දරන වගකීමකි.”
වාර්ෂික වර්ධනය ශක්තිමත්ව පැවතියද, සෘතුමය ඉල්ලුම හේතුවෙන් ඓතිහාසික වශයෙන් PickMe හි ප්‍රබලතම කාර්තුව වන 2025/26 මූල්‍ය වර්ෂයේ අතිශය සාර්ථක සිව්වන කාර්තුවට සාපේක්ෂව මෙම කාර්තුවේ ක්‍රියාකාරිත්වය තරමක් මධ්‍යස්ථ වී ඇති බව සමාගම සඳහන් කළේය.
ප්‍රධාන වශයෙන් ඉන්ධන සැපයුම් සීමා කිරීම් සහ කෝටා ආශ්‍රිත බාධා කිරීම් හේතුවෙන් රියදුරන්ගේ ලබා ගැනීමේ හැකියාවට තාවකාලිකව බලපෑම් එල්ල වූ බැවින් ශුද්ධ ආදායම 1% කින් අඩාල විය. ඉහළ ඉන්ධන මිල ගණන් පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාවට ද බලපෑම් කළ අතර, එය කාර්තුව තුළ ගමන් වාර සංඛ්‍යාව අඩුවීමට හේතු විය. එසේ වුවද, පෙර කාර්තුවට සාපේක්ෂව සාමාන්‍ය මාසික සුවිශේෂී පාරිභෝගිකයින් සංඛ්‍යාව 3% කින් අඛණ්ඩව වර්ධනය වූ අතර, තාවකාලික වෙළඳපල බාධාවන් මධ්‍යයේ වුවද පාරිභෝගික නියැලීමේ (customer engagement) ඔරොත්තු දීමේ හැකියාව එයින් පෙන්නුම් කරයි.
නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා පැවසුවේ, PickMe හි දිගුකාලීන අවධානය යොමු වී ඇත්තේ හුදෙක් වේදිකාව වර්ධනය කිරීම වෙනුවට එහි වෙළඳපල පුරා නිර්මාණය වන වටිනාකම පුළුල් කිරීම කෙරෙහි බවයි.
“වේදිකාවේ වර්ධනය වන සෑම කාර්තුවක්ම අපගේ රියදුරන්ට වැඩි ඉපැයීමේ අවස්ථා, වෙළෙන්දන්ට වැඩි ව්‍යාපාර සහ මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින්ට වැඩි පහසුවක් බවට පරිවර්තනය වේ. අපගේ ආයෝජන උපායමාර්ගය මෙහෙයවනු ලබන්නේ එම ගුණාකාර බලපෑමයි (multiplier effect). සැපයුම් පාර්ශ්වයේ විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම, තාක්ෂණය සඳහා ආයෝජනය කිරීම සහ අපගේ ප්‍රාදේශීය පැවැත්ම පුළුල් කිරීම අපි අඛණ්ඩව සිදු කරන්නෙමු. ඒ හරහා වේදිකාව මගින් නිර්මාණය කරන වටිනාකම රට පුරා සිටින තවත් බොහෝ ජනතාවකට සහ ප්‍රජාවන්ට ළඟා වනු ඇත.”
පසුගිය මූල්‍ය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදයේ රුපියල් මිලියන 437 ක්ව පැවති කාර්තුවේ ශුද්ධ ලාභය 45% කින් රුපියල් මිලියන 631 දක්වා වර්ධනය විය. වෙළඳපල පරිමාවන් අඩුවීම, ඉහළ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ දායකත්ව පිරිවැය (subscription costs) මෙන්ම මුදල් අවප්‍රමාණය වීමේ බලපෑම පිළිබිඹු කරමින්, 2025/26 මුල්‍ය වර්ෂයේ වාර්තාගත සිව්වන කාර්තුවට සාපේක්ෂව ශුද්ධ ලාභය 10% කින් මධ්‍යස්ථ විය. තාවකාලික බාහිර බාධා කිරීම් මධ්‍යයේ වුවද සිය මෙහෙයුම් ආකෘතියේ ඇති ඔරොත්තු දීමේ හැකියාව මෙම ප්‍රතිඵලය මගින් පෙන්නුම් කරන බව සමාගම ප්‍රකාශ කළේය.
PickMe ප්‍රකාශ කළේ මිලියන ගණනක් පාරිභෝගිකයින්, වර්ධනය වන ස්වාධීන රියදුරන් සහ වෙළඳ ජාලයක් සමඟ සම්බන්ධ කරමින්, එය හුදු ප්‍රවාහන වේදිකාවකින් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් වෙළඳපොළක් බවට පරිණාමය වී ඇති බවයි. මහා පරිමාණයෙන් ප්‍රවාහනය, බෙදාහැරීම් සහ ඩිජිටල් වාණිජ්‍යයට පහසුකම් සැලසීම හරහා, ජීවනෝපායන්, කුඩා ව්‍යාපාර සහ රටේ අඛණ්ඩ ඩිජිටල් පරිවර්තනයට සහාය වන අතරම, සැලකිය යුතු ආර්ථික වටිනාකමක් අඛණ්ඩව උත්පාදනය කිරීමට මෙම වේදිකාව කටයුතු කරයි.
