ගෝඨාභය පැය දෙකකට ආසන්න කාලයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රකාශයක් දෙයි

තම හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධයෙන් සිදු කෙරෙන මූල්‍ය අක්‍රමිකතා විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.

අද (09) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපතිවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

දැනට නව ජනතා පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන සුගීෂ්වර බණ්ඩාර, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස මෙන්ම විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද තනතුරු හොබවා ඇත. මෙම චෝදනා සම්බන්ධයෙන් CCIB මගින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති අතර, ඒ යටතේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 220කට අධික රජයේ මුදල් නියමිත අරමුණුවලින් බැහැරව වංචා සහගත ලෙස භාවිත කිරීම සහ එකම කාලසීමාවක් තුළ රාජ්‍ය ආයතන දෙකකින් නීති විරෝධී ලෙස වැටුප් ලබාගනිමින් රජයේ මුදල් අවභාවිත කිරීම යන ප්‍රධාන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව අවධානය යොමු වී තිබේ.

මෙම සිද්ධියට අදාළව ඉකුත් ජූනි 18 වැනිදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගත් අතර, පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

Author

Leave a Reply

Related Posts