“අපිත් හොඳට කන බොන මිනිස්සු…” රන්ජන් ජයලාල් තෑගි අල්ලස් ඉල්ලයි…

ජාතික ජන බලවේගයට බලය හිමි කඩුවෙල නගර සභාවේ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් විසින් රැස්වීමක් අමතමින් සිදු කරන ලද ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. ඔහු එහිදී සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ.

දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් අතීතයේ දී ජීවිත පවා කැප කරමින් කැපකිරීම් කළ බවත්, ඒ අනුව තමන් ඇතුළු පිරිස දුක් විඳින අවසන් මහජන නියෝජිතයන් විය යුතු බවත් නගරාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියි.

මේ බලය ගන්න අපිට සිහිනයක් තිබ්බා. ඒ සිහිනය අපි ජීවිතේ පවා කැප කළා. බොහෝ දේවල් කැප කළා. තාමත් මම විශ්වාස කරනවා මේ දුක් විඳින අවසන් නගරාධිපතිවරු විය යුතුයි. මේ දුක් විඳින අවසන් ඇමතිවරු, මන්ත්‍රීවරු විය යුතුයි. මොකද අපි දුක් විඳින්න ඕනේ නැහැ.

එමෙන්ම, වත්මන් පාලනය පැමිණීමත් සමඟ උත්සව සමයේ දී නගර සභාව වෙත පෞද්ගලික ආයතනවලින් ලැබෙන ත්‍යාග පාර්සල් ලැබීම නතර වී ඇති බවත්, “මොවුන් කන බොන අය නොවේ” යනුවෙන් සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. එසේම රාජ්‍ය ආයතන මට්ටමින් දෙසැම්බර් මාසයේ දී සේවකයන්ට යමක් ලබා දෙන්නේ නම්, තමන්ගේ නිෂ්පාදනවලින් කොටසක් හෝ ලබා දෙන ලෙස ඉල්ලා සිටින නගරාධිපතිවරයා, තමන් ද “හොඳට කන බොන මිනිසුන්” බවත්, ආයතනික මට්ටමින් මෙවැනි ගැටලු නිරාකරණය කරගනිමින් ඉදිරියට යන බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඔබ නගර සභාවේ ගත්තත්, දැන් අපි බලය ආවට පස්සේ, නගර සභාවට පෞද්ගලික ආයතනවල දෙසැම්බර් මාසේ එනවනේ තෑගි පාර්සල්. දැන් ඒවා එන්නේ නැහැ. මේ ඉන්නේ කන බොන අය නෙමෙයි. පොඩ්ඩක් ඇත්තන් ගමට මොනවද කළේ කියලා අහනවා. රාජ්‍ය ආයතන වලත් ඒ ගැටලුව තියෙනවා. ඉතින් අපි ඒවත් ලිහා ගනිමින් අපි මේ ගමන යන්නේ.

ඉතින් ඒ නිසා අපි ගොඩක් රාජ්‍ය ආයතනවල එක දෙසැම්බර් මාසේ නගර සභාවේ සේවකයින්ට මොනවා හරි දෙනවා නම් තමන් නිෂ්පාදන කොටසක්, ඒක දෙන්න. අපිත් හොඳට කන බොන මිනිස්සු.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රකාශයන් සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතාගේ මෙම කතාව අතර පවතින පරස්පරතාව පිළිබඳව සමාජය තුළ සහ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

ජාතික ජන බලවේගය බලයට පැමිණියේ කැපකිරීම් මත පදනම් වූ, මහජන ධනය සූරා නොකන සහ දීමනා/වරප්‍රසාද අවම කරමින් ජනතාවට සේවය කරන අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන බවට වූ පොරොන්දුව පිටය. නමුත් “අපි දුක් විඳින්න ඕනේ නැහැ” අපිත් හොඳට කන බොන මිනිස්සු… යනුවෙන් මහජන නියෝජිතයන්ගේ සුඛවිහරණය සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම එම ප්‍රතිපත්තිමය පදනමට පටහැනි බව බොහෝ දෙනා පවසයි.

පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනවලින් උත්සව සමයේ තෑගි පාර්සල් හෝ නිෂ්පාදන කොටස් නගර සභාවට ලබා දෙන ලෙස සෘජුව හෝ වක්‍රව ඉල්ලා සිටීම, පැරණි දේශපාලන ක්‍රමයේ පැවති “තුටුපඬුරු ලබාගැනීමේ” හෝ “අල්ලස් සංස්කෘතියේ” ආකෘතියම නැවත අනුමත කිරීමක් ලෙස පැවසිය හැකිය. මෙලෙස රාජ්‍ය සේවයේ හෝ පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයෙකු ව්‍යාපාරික ස්ථානවලින් වරප්‍රසාද/තෑගි අපේක්ෂා කිරීම සදාචාරාත්මක මෙන්ම නීතිමය වශයෙන් ද ගැටලුසහගත වේ.

අතීතයේ සිටම අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් සහ නගරාධිපතිවරුන් විශාල වරප්‍රසාද, නිල රථ සහ ජනතා බදු මුදලින් නඩත්තු වූ පසුබිමක, ඔවුන් “දුක් වින්ද පිරිසක්” ලෙස හැඳින්වීම රන්ජන් ජයලාල්ගෙන් කටින් පිට වීම අනුව NPPය මැතිවරණයට පෙර පුනරුච්චාරණය කළ කතා සම්බන්ධයෙන් නැවත නැවතත් සිතා බැලිය යුතු බව පෙනේ.

Author

Leave a Reply

Related Posts